ජාලය ලොකු කර මුදල් උපයන ලේසි ක්‍රම

නිතර කෑමට එකම තැනකට යන තරුණයෙකු ඒ කුඩා ආපනශාලාවේ වැඩ කළ රූමත් තරුණිය සමග මිතුරු වුණා. ඔහු ඉන් පසු කෙමෙන් කෙමෙන් ඇගේ දුරකතන අංකයද ඉල්ලා ගත්තා. ඒ වනවිටත් පෙම් හබයක පැටලී හිටි නිසා ගෑණු ළමයාගෙන් එච්චරම ඕකේ එකක් තිබුණේ නැහැ. ඒත් දවසක් හිටි අඩියේම “අයියේහ් පොඩි සම්මන්ත්‍රණයක් තියනවා සර-C එකේ ඔයාට එන්න පුළුවන්ද? ඔයා බය වෙන්න එපා කිසි වැරදි දෙයක් නෙමෙයි” කියලා ආරාධනාවක් ආවා. ගෑණු ළමයෙකුගෙන් හෝටලයකට එන්න කියන ඉල්ලීම ගැන දෙවරක් හිතන්න තරුණයා පෙළඹුණේ නැහැ. ඉතින් ගිහින් කිසිත් නොදන්නා සම්මන්ත්‍රණයට වාඩිවුනාම එක එක මාදිලියේ අය ඇවිත් ජීවිතය සාර්ථක කරගත් ආකාරය ගැන කියන්නට වුණා. ඔවුන් යම් කිසි වෙළඳ ක්‍රමයක් නිසා ලාභ ලබා ඉක්මනින්ම දියුණු වූ බවත් ඔවුන් කිව්වා. 

 

1. කොහොමද වැඩේ මාට්ටු වුණේ? 

ඒ ජාලගත ක්‍රමය, එහෙම නැතිනම් නෙට්වර්ක් මාකටින් ක්‍රමවේදය හරහා සම්බන්ධ වන අය මුලින්ම සූර්ය පැනලයක් සහ ලයිට් කිහිපයක් මිලදී ගන්නට ඕනි. ඉන් පසු එය තවත් කිහිප දෙනෙකුට අලෙවි කරන්නට ඕනි. අලෙවි කරද්දි අර සමාගම හරහා අලෙවි කරන්න ඕනි. ඒකෙන් විශාල ලාභයක් ලබාගන්න පුළුවන්. මේ විදිහට කියද්දි ඔවුන් රූපසටහන් පවා අඳිමින් මෙය පිරමීඩ ක්‍රමයක් නොවන බවට දිවුරා කිව්වා. වංචාවක් නොවන බව පුන පුනා කීමත් එය ඉක්මනින් පෝසත් වෙන ක්‍රමයකුත් වීම නිසා බුද්ධිමත් අය මේ ගැන සැක පහළ කරනවා. ඒත් එසේ නොවන අය මේ උගුලේ අහුවෙනවා. 

 

2. කොහොමද අඳුනාගන්නේ? 

මේ ජාලගත ක්‍රමය පිරමීඩ් ආකෘතිය බව කිසිවිටෙක ඒ විකුණන අය කියන්නේ නැහැ. මොකද පිරමීඩ් ක්‍රමයට මුදල් උපයන ක්‍රම ලංකාවේ තහනම්. ඒත් ආකෘතිය දෙස හොඳ විමසිල්ලෙන් බැලූ විට ඔබට අලුත් සාමාජිකයින් කිහිප දෙනෙකුට මේ අයිතමය හෝ බඩු සැට් එක විකුණන්න තියෙනවා නම් සහ ඒ අයටත් තවත් අයට විකුණන්න තියෙනවා නම් ඒක අයිති වෙන්නේ පිරමීඩ ආකෘතියට තමයි. රූපලාවණ්‍ය කට්ටල, ශක්තිජනක පෝෂණ අතිරේක, සූර්ය පැනල, බල්බ්, රෙදි, කාසි වගේ ගොඩක් දේවල් හරහා මේ පිරමීඩ් ජාවාරම දැනුත් සමාජයේ ජයටම කෙරෙනවා. 

 

3. නීතිමය තත්ත්වය 

ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන හැමෝටම තියෙන්නේ සැකයක්. නීති හොඳට තිබුනත් ඒවා ක්‍රියාත්මක වන යාන්ත්‍රණ වල දෝෂ තියෙනවා. ඒ වගේම මේ පිරමීඩ් ක්‍රම වල ඉහළම ඉන්න අය ලොකු ලාභයක් මේ පිරමීඩ් ක්‍රම නිසා ලබනවා. නීතිය ක්‍රියාත්මක කරන අංශ වලටත් මේ පිරමීඩ නියාමනය කරන අංශ වලටත් ඒ ලාභ හොර පාරෙන් යොමු වෙනවා. එතකොට පැමිණිලි ලැබුණත් ඒ ගැන පරීක්ෂණ කෙරෙන්නේ උදාසීනව. ඒත් ලංකාවේ කිහිප වරක්ම මේ පිරමීඩ් ජාවාරම් ක්‍රියාත්මක කරලා මුදල් ගරාගත් උදවිය සිටිනවා. 

 

4. මේවා වෙනත් විකුණුම් වලින් වෙනස් වෙන්නේ කොහොමද? 

අපි සාමාන්‍ය ජීවිතය ගත්තොත් ගෙදරට ඇවිල්ලා බඩු විකුණන අය ඉන්නවා. තව දුරකතන සම්බන්ධතා, රක්ෂණ ඔප්පු ආදී දේවලුත් අපි පිටුපසින් ඇවිත් අපට බලෙන්ම වගේ ඇඟ ගහනවා. ඒත් ඒ හැම දෙයකදිම අපි ගෙවන මුදලට වටිනා යමක් අපිට අයිති වෙනවා. ඒත් මේ නෙට්වර්ක් මාකටින් රෙද්ද අස්සේ හැංගිලා කරන පිරමීඩ් ජාවාරම් වලදි අපිට හමුවන්නේ නොවටිනා බඩුවක්. මුලින් විස්තර කර ඇති සූර්යකෝෂ කට්ටලය එවකට පිටකොටුවේ රුපියල් හත් අට දාහක් තරම් අඩු මුදලකට හොයාගන්න පුළුවන් ලාභ බඩුවක් වුණා. ඒත් එය ජාලගත ව්‍යාපාර නඩේ විකුණන්නේ රුපියල් හැත්තෑ දාහක්, අසූදාහක් තරම් අධික මිලකට. මුලින් වැඩි ගාණක් කියලා හිත සැනසෙන්න රුපියල් දහ පහළොස් දාහක් අඩුකරන වෙලාවනුත් මේ ජාලගත විකුණුම් කියන මගඩි වල තියෙනවා. 

 

5. මේ සඳහා සම්බන්ධ කරගන්නා උපක්‍රම 

සාමාන්‍ය ක්‍රමය වගේ හැම තැනම මේ අය තමුන්ගේ හෝල් සේල් මාකටින් වැඩ කරන්නේ නැහැ. හොඳටම දන්න යාළුවන්ගෙන් තමයි පටන් ගන්නේ. අපේ කන්ටැක් එකක් යාළුවෙක් හරහා ලබාගන්න ඔවුන්, නඩයක්, කණ්ඩායමක් වශයෙන් අපේ නිවසට, නවාතැනට හෝ වැඩකරන තැනට එනවා. නැතිනම් මුලින්ම කියා තියෙන විදිහට හෝටලයක, පොදු තැනක තියෙන සම්මන්ත්‍රණයකට හෝ ක්ලාස් එකකට  එන්න කියනවා. ඒ තැන්වලදි හොඳ ආකර්ෂණීය දෙසුම් වලින් මොළ හෝදන ඔවුන් කොහොම හෝ මේ මගඩි නාටකයකට තවත් පිරිස සම්බන්ධ කරගන්න බලනවා. 

 

6. කොහෙන්ද මිනිස්සුන්ට මුදල්? 

සාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙක්ට මුදල් හම්බකරන්න ලේසි ක්‍රම තියෙන්න විදිහක් නැති බවත් මේ ආකාරයෙන් ජාල කරන කියන විටම ඒවා වංචාවන් බවත් අවබෝධ වෙනවා. ඒත් එසේ නැති නූගත් සහ පහළ මට්ටම් වල පිරිස් වලට මේ ගැන ලොකු ටච් එකක් නැහැ. ඔවුන් කණකර උගස් තියලා, ඉඩම් කඩම් තියලා මුදල් අරගෙන මේ මුදල් ගෙවනවා. ඒ වගේම යම් සමාජයේ උසස් අයෙක් මේවාට වැරදිලා හෝ අහු වුණත් ඒ කිසිවෙකුත් තමුන් ඇන්දුන බව, අහුවුණ බව පිළිගන්නේ නැහැ. කලකදි ඒක පිළිගන්න සිද්ධ වුනත් ලැජ්ජාවට තවත් කාටවත් කියන්නෙත් නැහැ. දැනටම ලෝන් කිහිපයක් ගහගෙන අමාරුවෙන් ගෙනියන ජීවිතයට තවත් අවාසනාවන්ත පිරමීඩයක් කඩා පාත්වුනාම ඒ දුප්පත් ජනතාව අසරණ වෙනවා. ඒත් බොහෝ අය අඩු තරමේ පොලිස් පැමිණිල්ලක් වත් මේ සම්බන්ධයෙන් දාන්න පෙළඹෙන්නේ නැහැ. 

 

7. කොහොමද හොයාගන්නේ?

හොයාගන්න ක්‍රමයක් අපි අද හරියට කිව්වොත් හෙට ඒ ක්‍රමය අස්සෙනුත් රිංගලා පිරමීඩ්කාරයෝ ඔබව සොයාගෙන එනවා. සරලවම අපිට බඩුවක් මිලදී ගත්තාම ඒ බඩුව නැවත විකුණලා ලොකු ලාබ හොයන්න පුළුවන් කියනවා නම් ඒක පිරමීඩ්. අපි මුළු ලංකාවේම ජනගහණය මිලියන විස්සක් කියලා හිතමු. මේ මිලියන විස්සම පිරමීඩ් ජාවාරමකට සම්බන්ධ වෙලා බඩුවක් මිලදී ගත්තත් එයින් සාර්ථක වෙලා ලොකු කොමිස් කුට්ටිය ලබාගන්න පුළුවන් පිරිස ඉතාම සීමිතයි. කපුටන් කෑමක් ලැබුණාම මුලින්ම උන් කන්නත් කලින් සද්දේ දාලා වටේ අයට දන්වනවා. ඒ වගේ අපිට තව අයට බඩුවක් විකුණලා සල්ලි හොයන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් මුලින්ම ඒ බඩුව අපි මිලදී ගන්නට කලියෙන් ඒක අපෙන් මිලදී ගන්න ටක්කෙටම කැමති අය ඉන්නවාද, ඒ ක්‍රමයේ ඇති වාසිය ගැන අනික් අය දන්නවාද කියලා හොයලා බලන එකත් හොඳ ක්‍රමයක්. 

 

නෙට්වර්ක් මාකටින්. ඉන්ටනෙට් මනී, ෆන්ඩ් ෂෙයාරින් වගේ විවිධ බර වචන වලින් ඇතැම්විට අන්තර්ජාලයත් සම්බන්ධ කරගෙන නවතම මාදිලියේ පිරමීඩ් ජාවාරම් එනවා. අපිට මුදල් ලැබෙන්න නම් අපි යම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට වැදගත් වෙන ලෙස අපි සේවාවක් සලසන්න ඕනි. නැතිනම් බඩුවක් විකුණන්න ඕනි. එසේ නැතිව හුදෙක් විකිණීමෙන්, නැවත විකිණීමෙන් පමණක් කොමිස් ලැබීම කියන්නේ දිගු කාලීනව පවතින දෙයක් නෙමෙයි. ඔබ දන්නා අය දැනටම මෙයට හසු වෙලා ඇති. ඔබ හසුවෙලා නැතිනම් අඩු ගාණේ ඔබට මේ ආකාරයේ ඉක්මනින් පෝසත් වෙන්න පුළුවන් ක්‍රම ගැන දැනුවත් කරන අයෙක් එකවරක් හෝ හමු වෙලා ඇති. ඉතින් යාළුවෝ තවත් දැනුවත් කරන්න ඔයාලත් මේක ෂෙයාර් කරගෙන යන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *