සීරියස් ලව් එකක ඉන්න දෙන්නෙක්ට තමන්ගේ මූල්‍ය කටයුතු පවත්වාගෙන යන්න ටිප්ස්!

දැන් ඔය ලව් එකක් පටන් ගන්නකොට සහ පටන් ගත්තු අලුත නම් ගෝලීයකරණය, පුද්ගලික මූල්‍ය කළමනාකරණය, ධනවාදයේ බලපෑම වගේ කතන්දර හිතන්නෙ හෝ කතා කරන්නෙ නෑනේ. ඒ කාලේ “පැංචා බත් කෑවද?”, “සුදු අම්මිට නිදිමතද”, “මගෙ කොණ්ඩ කුරුල්ලගෙ ඔළුව අතගාන්නද?”, “අපි අර ඈත පේන කන්දේ මුදුනට නැගල මේම මේම තුරුල් වෙලා ඉමුද?” වගේ කතන්දර තමයි ඇහෙන්නේ. හැබැයි ඉතින් ඔය යොවුන් සිහින ලෝකේ හැමදාමත් තනිවෙලා ඉන්න බැහැනේ. අඩු තරමෙන් ලව් එක සීරියස් අතට හැරිලා නියම තාලේ ආදර සම්බන්ධයක් වෙනකොට වත් පොඩ්ඩක් තමන්ගේ ජීවිතේ කටයුතු ගැන දෙන්නටම සීරියස් වෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් දෙන්නගේම පුද්ගලික මූල්‍යකරණය. සරලවම අපි ගමුකෝ ආදායම් සහ වියදම් කියලා. ඉතින් ඇත්තටම ලව් රිලේෂන්ෂිප් එකක ඉන්න දෙන්නෙක්ට ඔය ෆයිනෑන්ස් ගැන මොනවද හිතන්න තියෙන්නේ? ආන්න ඒ ගැන උපදෙස් කීපයක් තමයි අපි මේ ලබාදෙන්න හදන්නේ!

 

1. අවංක ආදායම, අවංක වියදම

ගොඩක් වෙලාවට ගොඩක් හේතු නිසා ලව් කරන කෙනාට තමන්ගේ හරි ආදායම නොකිය ඉන්න කෙනෙක් උත්සාහ කරන්න පුළුවන්. විශේෂයෙන්ම පිරිමියෙක්. ඇත්තටම පිරිමියෙක්ගෙන් පඩිය අහන්න එපාය, ගෑණියෙක්ගෙන් වයස අහන්න එපාය කියලා කියමනක් තියෙනව තමයි. හැබැයි ඕක අදාළ වෙන්නේ සාමාන්‍යයෙන් මුණගැහෙන අයට මිසක් කොල්ලටයි කෙල්ලටයි නෙවෙයිනේ. අන්න ඒ නිසා ආදර සම්බන්ධතාවයක් ස්ථාවර වුණාට පස්සේ දෙන්නට දෙන්නා හම්බුකරන ප්‍රමාණය දෙන්නම දැනගෙන ඉන්න එක හොඳයි. ආයෙ ලොකු සීන් පෙන්නන්න වැඩියෙන් ආදායම පෙන්නනවත්, දත ගලවන්න හිතාගෙන අඩුවෙන් ආදායම පෙන්නන්නවත් යන්න හොඳ නෑ.

ඒ වගේම තමයි වියදම ගැන වුනත්. දෙන්නට දෙන්නා අවංකවම තමන්ට මාසෙකට යන වියදම ගණනය කරන එකත්, ඒක තමන්ගේ පාට්නර්ට හෙළිදරවු කරන එකත් හොඳයි. ඒ ඇයි කියලා ඉස්සරහට කියවගෙන යනකොට වැටහෙයි.

 

2. ණය තුරුස් ගැන විනිවිද වෙන්න, හැබැයි බර නොපටවන්න

මෙන්න මේකත් ඔය ආදායම් වියදම් ගැන අවංක වෙන කතන්දරේම කොටසක්. සමහර වෙලාවට අපිට නන්නත්තාර වෙන විදියේ ණය තුරුස් ඇදගෙන යන්න වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ලව් කරන කෙල්ලට හෝ කොල්ලට වුනත් එහෙම දේවල් ගැන කියන්න අපි ලැජ්ජයිනේ. හැබැයි අපි කියන්නේ ලැජ්ජ වෙන්න එපා කියලා තමයි. කියලා තියන්න. ඒවා කිව්වටත් පස්සේ දාලා යනව නම් ඉතින් කරන්න දෙයක් නෑ. ඒ කියන්නේ එතන සොලිඩ් ලව් එකක් නෑ කියන එක. ඒත් ඒවා ගැන දැනුවත් කරලා තිබ්බහම පුළුවන් ඒවා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න සහ ඒවත් ඇතුළත් කරලා අනාගතේ ප්ලෑන් කරන්න.

හැබැයි එකක්. මේ ණය තුරුස් ගැන කියන්න ඕන හවුලේ ගෙවන්න නෙවෙයි. මේ ණය තුරුස් ඇතිවෙලා තියෙන්නේ දෙන්නටම අදාළ කාරණයකට නෙවෙයි නම්, ගත්ත කෙනා ණය ටික තමන්ගේ අනික් ආදායම් වියදම් එක්ක බැලන්ස් කරන එක තමයි හොඳ දේ.

 

3. ඔයා මේක කරන්ඩ, මම අරක කරන්නම්!

අපි කසාදයක් එහෙම කරගත්තහමත් මූල්‍ය කටයුතු ගැන කතන්දරේදී වැඩ බෙදාගන්නවනේ. දැන් සම්බන්ධතාවයක ඉන්න කාලෙදිත් ඇත්තටම මේක මේ විදියටම කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කපල් එකක් විදියට දෙන්නට දෙන්නා සම්බන්ධ වෙන වියදම් තියෙනවනේ. අන්න ඒවා බෙදාහදා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි කියමු දෙන්නම මාසෙකට සැරයක් ට්‍රිප් එකක් යනවා කියලා. අන්න එතකොට ඕන නම් ට්‍රිප් එකේ සමස්ත වියදම් දෙන්නට සමව බෙදා ගන්න පුළුවන්. නැත්නම් දෙන්නගේ ආර්ථික මට්ටම් වලට සාපේක්ෂව වියදම් බෙදාගන්නත් පුළුවන්. ඒ කියන්නේ වැඩියෙන් හම්බු කරන කෙනාට වැඩි වැයක් සහ අඩුවෙන් හම්බුකරන කෙනාට අඩු වැයක් වැටෙන විදියට. ඒක ඉතින් දෙන්නා කතා කරලා තීරණය කරගන්න ඕන දෙයක්. හැබැයි ඊට වඩා හොඳම සහ ගැටළු අඩුම ක්‍රමය තමයි විවිධ වියදම් බෙදාගන්න එක. ඒ කියන්නේ ඔයා වාහනේට තෙල් ගහලා මගදී අමතරව එන වියදම් දරන්න, මම හොටෙල් එකේ වියදම් දරන්නම් වගේ එකඟතාවයකට එන එක. 

ඇත්තටම කොල්ලා තමයි හැමදේටම සල්ලි ගෙවන්න ඕන වගේ මහත්මයින්ගේ පුරුදු තියෙන එක නරක නෑ, කොල්ලාට වර්තමානයට සහ අනාගතේට අවුලක් නොවී ඒක හැමදාම දරන්න පුළුවනි නම්. එහෙම නැතිනම් මේ ආර්ථික තත්ත්වය යටතේ බෙදාහදාගන්න එක තමයි හොඳ. 

 

4. ජීවන රටාවන් ඕන නම් වෙනස් කරගමු

දැන් අපි කියමු පවතින ආර්ථික තත්ත්වයත් එක්ක ඔය මාසිකව ට්‍රිප් යෑම, සතියකට වතාවක් හොඳ තැනකින් කෑම වගේ දේවල් දරන්න ටිකක් අමාරුයි කියලා. ආන්න එතකොට දෙන්නත් එක්ක පොඩ්ඩක් වාඩි වෙලා ආර්ථික තීන්දු තීරණ ගන්න ඕන තමන්ගේ ජීවන රටාව ගැන. විශේෂයෙන්ම මතක තියාගන්න, ලව් කරනවා කියන්නේ අනික් කපල්ස් කරන දේවල් කරන එක, එහෙම කරලා ෆේස්බුක් දාන එව්වා තමනුත් කරන්න නහින එක නෙවෙයි කියන එක. පටන් ගත්තු ෆුල් ලව් පිස්සුවෙන් ඉන්න කාලේ කොහොම වුණත්, දෙන්නා සීරියස් සම්බන්ධයක ඉන්නවා නම්, අනාගතේ ගැනත් හිතන්න වෙනවා. එතකොට හොඳ අනාගතයක් වෙනුවෙන් අද දවසේ පොඩි කට්ටක් සමහර විට කන්න වෙනවා.

 

5. අනාගතේට බජට් එකක්!

දෙන්නත් එක්ක කසාද බඳිනවා හෝ එකට ජීවත් වෙනවා කියන තැනටම සීරියස් නම්, දෙන්නත් එක්ක අනාගතේට බජට් එකක් හදාගන්න එකත් හොඳ දෙයක්. හැබැයි හොඳින් මතක තියාගන්න, සිහින ලෝකවල ඉඳලා මේක කරන්න බෑ. අපි බැඳලා කොහොමහරි ලොකු වාහනයක් ගමු, කොහෙන් හරි ඉඩම් කෑල්ලක් අරගෙන තට්ටු දෙකට ගෙයක් ගහමු, පෙඩිග්‍රී බල්ලො පස් දෙනෙක් හදමු වගේ කතා සුන්දර වුනාට, ඒවා තමන්ට කරන්න පුළුවන්ද බැරිද කියන එක හිතන්න ඕන. සමහර වෙලාවට තව අවුරුදු පහක් හෝ දහයක් යනකොට ඕවා කරන්න පුළුවන් ශක්තිය ලැබෙන්න පුළුවන්. හැබැයි මේ අනාගත බජට් එක ඇත්තටම හදන්න ඕන ලඟ අනාගතේ ගැන හිතලා.

උදාහරණයක් විදියට කිවුවොත් කසාදයක් බඳිනවා නම්, ඒකට ඇත්තටම දරන්න පුළුවන් වියදම, ඒ වියදම හොයාගන්න විදිය, ඒකට ඉතුරු කරන්න පුළුවන් කොහොමද වගේ කරුණු කාරණා තමයි මේ අනාගත බජට් එකට එන්න ඕන. හැබැයි කසාදෙට සම්පූර්ණ සතේට එනකල් දාලා හරියන්නෙ නෑ. ඇනෙක්ස් එකක් හරි අරගෙන ජීවත් වෙන්නත් සල්ලි යනවා. අන්න ඒ දෙන්නත් එක්ක එකට ඉන්නකොට දරන්න වෙන වියදම් එහෙමත් මේ අනාගත බජට් එකට එන්න ඕන.

 

6. ගිෆ්ට් පොලිසි!

මේක ඉතින් අපි දෙන්නට දෙන්නා තෑගි දීගන්න එපා කියලා කියන දෙයක් නෙවෙයි. තෑගි දෙන්න. හැබැයි දෙන්නම තමන්ගේ ආර්ථික මට්ටම ගැනත් සවිඥාණික වෙලා තෑගි ගැන හිතන්න. උදාහරණයක් විදියට ගත්තොත්, ගෑණු ළමයට ඉතාම මිල අධික තෑග්ගක් ගන්න කියලා තමන්ගේ ඉතුරුම් හැමදේම හූරන එක ඥාණවන්ත තීරණයක් නෙවෙයි, දෙන්නගෙම පැත්තෙන්. ඒ තෑග්ග ආයෝජනයක් නම් කමක් නෑ. එහෙම නැතිනම් ඒක තේරුමක් ඇති දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා දෙන්නට දෙන්නා තෑගි දීමෙදී වගේම තෑගි බලාපොරොත්තු වීමෙදීත් දෙන්නගේම ආර්ථික මට්ටම් ගැන සවිඥාණික වෙන්න ඕන. අන්න එතකොට හිත් රිදෙන අවස්ථා ඇතිවෙන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, තාමත් රුපියල් විසිදාහක පඩියක් ගන්න කොල්ලෙක්ගෙන් කෙල්ල රත්තරන් මාලයක් ඉල්ලන එක හොඳ මදිනේ? අනික් පැත්තටත් ඒක එහෙමමයි.

 

7. ඩෙන්ටිස්ට් වෙන්න එපා

මේ කාරණාව නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ කියන්නේ දත ගැලවීම. කෙල්ල හරි කොල්ලා හරි තමන්ගේ පාට්නර්ගෙන් දත ගලවනවා නම්, ඇත්තටම එතන ජෙනුයින් සම්බන්ධතාවයක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්නේ. අන්න ඒ නිසා අනවශ්‍ය දත් ගැලවීම් කිරීමෙනුත්, ඒ දත් ගැලවීම් වලට අහුවීමෙනුත් වළකින්න කියන එක තමයි දෙන්න තියෙන උපදෙස. ආදරේ වෙනුවෙන් තෑගි බෝග දීම එකක්. හැබැයි කොල්ලට හරි කෙල්ලට හරි හීංදාඩිය දාන දඩ දැමීම කියන එක ආදරේ නෙවෙයි.

 

8. තුන්වෙනි එකවුන්ට් එකක්

දෙන්නා සාමාන්‍යයෙන් ගනුදෙනු කරන, සැලරි වැටෙන එකවුන්ට්ස් හවුලේ පාවිච්චි නොකරන එක තමයි හොඳම කාරණාව. විශේෂයෙන්ම දෙන්නගේ පුද්ගලික අවකාශයේ පැවැත්මට ඒක ලොකු දෙයක්. අර අපි පළවෙනියටම කියපු අවංක භාවය ගැන කාරණාවත් තියෙන නිසා, එහෙම පුද්ගලික ගිණුම් පවත්වා ගන්න එක ගැටළුවක් වෙන්නෙ නෑ.

හැබැයි ඉතින් ඊට අමතරව දෙන්නටම ෂෙයාර් කරපු තුන්වෙනි බැංකු ගිණුමක් තියෙන එකත් නරක අදහසක් නෙවෙයි. එක්කෝ ඒකට දෙන්නගේ මාසේ හවුලේ කරන ට්‍රිප් යෑම් වගේ වැඩවලට අදාළ මුදල් හදල් ඔය තුන්වෙනි එකවුන්‍ට් එකේ තැන්පත් කරන්න පුළුවන්. එහෙම නැතිනම් අපි අර උඩින් කියලා තියෙන්නේ අනාගත බජට් එකක් ගැන. ආන්න ඒකට අදාළ ඉතුරුම් එහෙමත් ඔය තුන්වෙනි හවුල් එකවුන්ට් එකේ තියාගන්න පුළුවන්. 

 

9. සපෝට්‍ එක තමා නෝනා මාත්තයා ඕන කරන්නේ!

ආදර සම්බන්ධතාවයක් ඇතුළේ ඉන්න දෙන්නෙක්ගේ ආර්ථික ශක්තීන් එක හා සමාන නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට ආර්ථික ශක්තිය වැඩි කෙනාට වුනත් වගකීම් වැඩි නිසා, එයාගේ අතේ ඉතුරු වෙන්නේ ආර්ථික ශක්තිය සාපේක්ෂව අඩු කෙනාට වඩා අඩු ආදායමක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ලව් එක කියන්නේ ඔය හැමදේම දෙන්නත් එක්ක බැලන්ස් කරගෙන, දෙන්නත් එක්කම ගේම ගහන එක තමයි. අන්න එතනදී වැදගත් වෙන දෙයක් තමයි දෙන්නට දෙන්නා එකිනෙකාට අනාගතය වෙනුවෙන් ලබාදෙන සපෝට් එක. ඒකට දෙන්නට දෙන්නගේ වැරදි මුදල් භාවිතා කිරීමේ චර්යාවන්, අනවශ්‍ය වියදම්, වැරදි ජීවන රටාවන් එහෙම තියෙනවා නම් ඒවා පෙන්වලා දෙන එක, අනෙකාට තමන්ගේ වෘත්තියේ ඉහළට යන්න උදවු කරන එක, මෝරල් සපෝට් එක දෙන එක වගේ දේවල් තමයි ඔය සපෝට් එකට අයිති වෙන්නේ. කොටින්ම කිවුවොත් අපි දෙන්නා එක ටීම් එකක් විදියට මේ ගේම ගහමු කියන තැන තමයි දෙන්නම ඉන්න ඕන! 

 

අන්තිමට තව දෙයක් කියන්න ඕන. මේ විදියට ආදර සම්බන්ධයක ඉන්න කාලේ ඉඳලම දෙන්නට දෙන්නා හොඳ සහයෝගයක් වෙන සහයෝගී මූල්‍ය ප්‍රතිපත්ති හදාගත්තොත්, කසාද ජීවිතේකට හෝ ලිවින් ටුගෙදර ජීවිතේකට ගියත් ජීවිතේ අමාරුවක් වෙන්නෙ නෑ! දෙන්නත් එක්ක එකට ජීවත් වෙන්න ගත්තහම අමුතුවෙන් ෆයිනෑන්ස් දෙන්නම බැලන්ස් කරගන්න ක්‍රම සහ විධි හිතන්න දඟලන්න ඕනැත් නෑ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *