සුරතල් මත්ස්‍ය ලොවේ වලිකාරයෝ

මාළු ඇතිකරන එක අපි ගොඩක් දෙනෙක්ගේ විනෝදාංශයක්. ඉතින් මේ මාළු ඇතිකරන එකත් පටන් ගත්තා වගේ නෙමෙයි, දිගටම කරගෙන යන්න ගියාම ගැටළු ගොඩයි. ඔන්න ලස්සනට ඇක්වේරියම් එකේ පීන පීන ඉන්න මාළු ජෝඩුවක් අපේ ටැංකියෙත් හැදුන නම් එල කියලා අපි අලුත් මාළු ජෝඩුවක් ගෙනත් අපේ ටැංකියට දානවා. අනේ ටික දවසකින් එක්කෝ අර මාළු අනෙක් මාළුන්ව කනවා. නැතිනම් අපේ ටැංකියේ ඉන්න මාළු අර අලුත් උන්ට ඇටෑක් කරනවා. ඉතින් මාළු ලෝකයෙත් ඒ විදිහේ අනිකාව නොරුස්සන, තමන්ගේ පැටවුන් පවා නොරුස්සන, හිරිහැර කරන තිරිසන් මාළු එමට ඉන්නවා. අපි එවැනි මාළු වර්ග කීපයක් ගැන විස්තර දැනගමු.

 

1. Veil Angelfish (Pterophyllum scalare)

වේල් ඒන්ජල් ෆිෂ් කියන මේ මාළුවා අයිති වෙන්නේ අපි හැමෝම දන්න ඒන්ජල් කියන කුලකයට. සාමාන්‍ය ඒන්ජල් මාළුන් ඔහේ දියමත පැතලි මාළුවෙක් වගේ හිටියාට මූ නම් අහිංසක නැහැ. මේ මාළුවා අඟල් හයක් පමණ දිගට හැදෙන අතර සුදු කළු සහ කහපාට වරල් වලින් යුක්ත වෙනවා. මේ මාළු ජාතිය කණ්ඩායමම එකට ජීවත් වෙන්නේ. ඒත් දවසක් එනවා එකෙක්ට මූලග්ගාය හැදුනා වගේ අනෙක් උන්ට දිගට හරහට ඇටෑක් කරන්න පටන් ගන්න. අන්න එතකොට ඒ මාළුවාව තෝරල වෙන් කරන්න ඕනි. ඒ වගේම මේ මාළුන්ගේ පැටවුන් දාන මාළුත් ආරක්ෂා කරගන්න අපි වගබලා ගන්නට ඕනි. 

2. Convict Cichlid

මේ සිච්ලිඩ් කියන මාළු වර්ගයා පෙනුමෙන් හරි අහිංසක වගේ වුණාට මුන්ගේ ගොඩක් වර්ගවල මාළුන් අනෙක් මාළුන්ට ඇටෑක් කරනවා. මුන් සාමාන්‍ය කොරලි වගේ රිදී සහ කළු පාටින් වගේම රෝස පාටිනුත් දකින්නට ඉන්නවා. මේ කණ්ඩායමක් ඉන්නකොට සාමකාමීව  හිටියත්, අලුතින් වතුරකට ගෙනත් දැම්මාම ඒ වතුරේ ඉන්න ලොකු කුඩා මාළු හැමෝටම වෙලාව අරගෙන ඇටෑක් කරනවා. කොටින්ම ජෝඩුවක් ගෙනත් දැම්මත් අනෙකාටත් ඇටෑක් කරන ජාතියක් තමයි මේ මාළු. ටැංකියේ ඉන්න අනෙක් මාළුන්ගේ වරල් සහ ඇස් වලට හානි කරන මේ මාළු වෙන් කරලා ඇතිකරන්නට වගබලාගන්න ඕනි.

 

3. Oscar (Astronotus ocellatus)

ඔස්කා කියන්නේ ලස්සන පෙනුම තියෙන මාළු යාළුවෙක්. මේ මාළුවගේ විවිධ වර්ග රාශියක් ටැංකිවල ඉන්නවා. සීබ්‍රා, ටයිගර්, ලෙමන් සහ රතු පාටවලින් ඔස්කාල ඉන්නවා. ඔවුන් ඔවුන් එකට ඉද්දි ලොකු අවුලක් නැතත් අලුතින් තව මාළු ඉන්න තැනකට දැම්මහම මෙයාලගේ දැඟලීම වැඩි වෙනවා. මේ මාළු ටිකක් ලොකුවට හැදෙනවා. හොඳට පෝෂණය තියෙනවා නම් අඩියකටත් වැඩිය විශාලයට මේ සතා හැදෙනවා. මේ මාළු සීත රටවලදි වතුර උණුසුම් කරන්න දාන හීටර් වලටත් ඇටෑක් කරන සුන්දර මාළු විශේෂයක් බවත් සඳහන් වෙනවා.

4. Bucktooth Tetra (Exodon paradoxus)

මොවුන් ටෙට්‍රා කියලා හැඳින්නුවාට වෙනත් ටෙට්‍රලාට වැඩිය වෙනස් වර්ගයක් විදිහට තමයි දැක්වෙන්නේ. මුන්ගේ තියෙන උල් හැඩැති ඉදිරිපස කොටස පාවිච්චි කරලා මෙයාලා අනෙක් සතුන්ට සහ මාළුන්ට ඇටෑක් කරනවා. මේ මාළු මෙයාලගේම ජාතියේ අනික් උන් එක්ක එකට තියන්න පුළුවන්. මේ මාළුවා අඟල් තුනක් විතර තමයි උපරිම දිග වෙන්නේ. දීප්තිමත් ලෝහමය රිදී පාටත්, කහපාට වරලුත් මොවුන් හඳුනාගන්න පහසු කරනවා.

5. Piranha

පිරානා කියන්නේ ජනප්‍රිය දරුණු මාළුවෙක්. මේ පිරානා වර්ග 20කට වඩා සුරතල් මසුන් විදිහට ලොව පුරා ඇතිකරන්නට ඉන්නවා. පිරානා මාළුන්ගේ නිජබිම දකුණු ඇමරිකාව. දකුණු ඇමරිකාවේ අමසන් නදියේ සිටි පිරානා මාළුන් මිනිසුන්ට පවා ඇටෑක් කරපු අවස්ථා වාර්තා වෙලා තියෙනවා. මේ පිරානා මාළු ඇතිකරනවා නම් උන්ව නිසිලෙස පෝෂණය කරන්නට ඕනි. පෝෂණය මදි වුණාම තමයි බඩගින්නට උන් වෙනත් මාළුන්ට ඇටෑක් කරන්නේ. පිරානා මාළුන්ගේ කෑම විදිහටත් කුඩා මාළු ආදිය ලබා දෙනවා. ඒ වගේම පිරානාවන් ඇට වර්ග, එළවළු ආදියත් ආහාරයට ගන්නා සර්ව භක්ෂක සතෙක්.

6. Arowana (Silver & Asian)

විශාල ටැංකියක ආඳෙක් වගේ දිගට දිගේ ඉන්න අරවානා වංගුවක් ගනිද්දි කෝච්චියක් වංගුව ගන්නවා වගේ ලස්සනයි. මේ මාළු බොහොම වටින නිසා ලොකු තැන්වල, ලොකු ටැංකිවල මුන් ඇතිකරනව ලංකාවෙදිත්. අරවානා ජාති දෙකයි. රිදී පාට අරවානා සහ ආසියානු අරවානා. රිදී අරවානා කිලෝ හතර හමාරක් විතර බරට අඩි තුනක් විතර දිගට විශාලයට හැදෙනවා. මේ මාළු කැට් ෆිෂ්, ඒන්ජල් ඔස්කා, ග්‍රීන් ටෙරර්ස් සහ පැටර් සිච්ලිඩ් වර්ග එක්ක එක ටැංකියේ ඇතිකරන්නට පුළුවන්. මේ මාළුත් පිරානා වගේ නිතර බඩ පුරවන්න ඕනි අනෙක් මාළු එක්ක ටැංකියේ එකට ඉන්නවා නම්. නැත්තං ඉතින් අරවානට බඩගිනි වැඩි වුණාම ටැංකියේ ඉන්න පොඩි මාළුවෙක් දෙන්නෙක් අතුරුදන් වෙලා ඉන්නට බැරි නැහැ.

7. Rainbow Shark

ශාක් කියලා හැදින්නුවට මේ මාළුවා අඟල් හයක් විතර පොඩි එකෙක්. තායිලන්තය නිජබිම කරගත් මේ මාළුවා නිවර්තන වතුරේ හොඳට හැදෙන මාළුවෙක්. මේ මාළුවා ලොකු වෙද්දි එයාල මායිම් වෙන් කරගන්න එකිනෙකා ඇටෑක් කරගන්න ස්වරූපයක් පෙන්නුම් කරනවා. ඒත් මුන් ගොඩක් විශාලයට වැඩෙන්නේ නැති නිසා ටිකක් ලොකු මාළු එක්ක මුන්ව ඇතිකරන්න ලොකු අපහසුවක් නැහැ. ගුරාමි, රේන්බෝ ෆිෂ්, ඩනියොන්ස් බාර්බ්ස් වගේ වර්ග එක්ක රේන්බෝ ශාක් එක ටැංකියේ තියන්න පුළුවන් අවුලක් නැතුව.

මේ මාළුන් කලහකාරි වුණාට මේ මාළුන් ලොව පුරා විසිතුරු මත්ස්‍ය ලෝලීන් විසින් ඇතිදැඩි කරනවා. උන්ව වෙන්කරලා, නිසි කලට පෝෂණය ලබා දීලා ඒ එකට ඉන්න පුළුවන් සත්තු එකට දාලා ඇති කළොත් මේ ටිකක් කළබල සතුන් වුණත් අවුලක් නැතුව එකට දාන්නට පුළුවන්. ඉතින් මේ මාළු මාළු අතර පවා යම් යම් සීමා මායිම් වලට, ආහාර වලට රණ්ඩු දබර වෙනවා. ඒත් මාළු ඇතිකරන අපි ටිකක් අවබෝධයෙන් මාළු ඇති කළොත් වලි නැති සාමකාමී මාළු ටංකියක් අපිට හදාගන්නට පුළුවන් වෙනවා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *