සේපාල ඒකනායක මෝඩයෙක්ද වීරයෙක්ද?

1982 අවුරුද්දේ මුළු ලෝකයේම  ජනමාධ්‍ය වල ලාංකිකයෙක්ගේ නම සිරස්තලවලම සඳහන් වුණා. හැබැයි ඒ ලාංකිකයා තමන්ගේ මවුබිමට ගෙනාවේ ගෞරවයක් ද එහෙම නැත්නම් අපකීර්තියක් ද කියන එක ගැන විවිධ අය විවිධ අදහස් පළ කරනවා. සමහර අයට සේපාල ඒකනායක නම් ලාංකිකයා වීරයෙක් වෙද්දි සමහර අයට ආවේගශීලී මෝඩයෙක්. අපි අද කතා කරන්න යන්නේ ඒ සුවිශේෂී පුද්ගලයා ගැන.

 

1. සේපාලගේ ගම රට 

පවුලේ මද්දුමයා විදිහට සේපාල ඉපදිලා තියෙන්නෙ මාතර හක්මන කරතොට කියන ගමේ. කුඩා කාලයේදීම ඔහුගේ මව මිය යනවා. ඉන්පස්සෙ ඔහුගේ පියා දෙවෙනි කසාදයක් කර ගන්නා අතර මේ නිසා සේපාලට බාල සහෝදර සහෝදරියන් කීපදෙනෙක්ම ලැබෙනවා. සාමාන්‍ය පෙළ විභාගය දක්වා පාසල් අධ්‍යාපනය ලැබුවත් සේපාල පොතපතේ අධ්‍යාපනයට වැඩි කැමැත්තක් දක්වපු අයෙක් නම් නෙමෙයි. සේපාලගේ ඉරණම ලියවිලා තිබ්බේ වෙනස්ම විදියකට.

 

2. කරදිය වළල්ලෙන් එහාට

සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ  තමන්ගෙ ගම අත ඇරල මාතරට එන සේපාල තමන්ගේ වැඩි කාලයක් ගත කරන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. මේ කාලෙදි අහම්බෙන් වගේ සේපාලට ජර්මනියට යන්න අවස්ථාවක් ලැබෙනවා. ජර්මනියට යන්න අවශ්‍ය වෙන ගුවන් ටිකට් පතට අවශ්‍ය මුදලත් සේපාලට ලබාදෙන්නේ සේපාලගේ යාළුවෙක්. හැබැයි ජර්මනියට යද්දි සේපාලගේ හිතේ තමන් මොකක්ද කරන්නේ යන්නේ කියන එක ගැන අදහසක් තිබ්බෙ නැහැ. අවුරුදු තුනක් විතර ජර්මනියේ ගත කරලා සේපාල ඊළඟට යන්නේ ඉතාලියට.

 

3. අන්නා සහ ෆ්‍රී

ඉතාලියේදී සේපාලට අන්නා ඇල්ද්‍රොවන්දි නම් තරුණියක් මුණගැහෙනවා. ඉක්මනින් එකිනෙකා හා සමීප වන ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. ඔවුන්ගේ කැදැල්ලට එකතුවන අමුත්තා ෆ්‍රී .අන්නා සමග විවාහ වීමත් එක්ක සේපාලට ඉතාලියේ පුරවැසිභාවය ලැබෙනවා. නමුත් මේ අදාළ අවසර පත්‍රය වාර්ෂිකව යාවත්කාලීන කළ යුතු වෙනවා. එක්තරා අවස්ථාවක තානාපති කාර්‍යාලයට ගිහිල්ලා තමන්ගේ අවසර පත්‍රය අලුත් කරන්න උත්සාහ කරද්දී තම කාර්යාලයේ සේපාලගේ පරණ අවසරපත්‍ර නැති බවත්,  නැවතත් කොළඹට ගොස් අදාළ අවසර පත්‍රය ලබා ගත යුතුයි කියලා දැනුම් දෙනවා.

 

4. ලංකාවේදී සිදුවූ නොසිතූ දෙය 

මේ නිසා සේපාල, අන්නා සහ ෆ්‍රී එක්ක ලංකාවට එනවා. තමන්ගෙ වැඩ කටයුත්ත කරන්න කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට එන සේපාලට එක්තරා තානාපති නිලධාරියෙක්ගෙන් දිගින් දිගටම මදිපුංචිකම් සිද්ධ වෙනවා. නමුත් මේ සියල්ල ඉවසමින් මුල් අවස්ථාවේ පින්සෙන්ඩු වෙමිනුත් පසුව තර්ජනය කරමිනුත් තම කටයුත්ත කරගැනීමට සේපාල උත්සාහ කරනවා. මේ අතරතුරේදී සේපාලට නොදන්වා අන්නා විසින් ෆ්‍රීව රැගෙන ඉතාලිය බලා යනවා.

 

5. සේපාලට එල්ල කළ අභියෝගය

 

සිද්ධ වූ දේ නිසා අතිශයින්ම කඩාවැටුණු සේපාල නැවතත් තානාපති කාර්යාලයට ගිහින් තම අවසර පත්‍රය ඉල්ලනවා. “පුළුවන් නම් අරන් පෙන්නපන්” අර තානාපති කාර්යාලයේ නිලධාරියා එසේ උත්තර දෙනවා. කෝපයෙන් පුපුරන සේපාල, “සති දෙකකින් මම ඒක ගන්නවා බලාගෙන හිටපන්” කියලා උත්තර දෙනවා.

 

6. ලොවම හෙල්ලුම් කෑ ප්‍රවෘත්තිය

 

තානාපති කාර්යාලයෙන් පිට වෙද්දී කොහෙන්දෝ ඉඳලා ගුවන් යානයක් හයිජැක් කළ යුතුයි කියන අදහස සේපාලගේ ඔළුවට එනවා. ඒ අනුව 1982 ජූනි 30 වෙනිදා දිල්ලියේ ගුවන්තොටුපළින් ජපානය බලා යන අලිතාලියා ගුවන් යානයකට සේපාල ගොඩවෙනවා. යානය ගුවන් ගත වීමෙන් අනතුරුව සේපාල ගුවන් සේවිකාවක් ලවා ගුවන් නියමුවාට ලිපියක් යවනවා. ඒ ලිපියේ තමන්ට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච සියළුම ගැටළු ඇතුළත් කරලා තියෙනවා. මේ නිසා සාමකාමීව යටත් වන ලෙස ඔහුට දැනුම් දීමක් කරනවා. මුල් අවස්ථාවේදී සේපාලගේ ඉල්ලීමට එකඟ නොවුණත්, සේපාල සතුව පුපුරණද්‍රව්‍ය පවතින බව දැන ගැනීමෙන් පසුව ගුවන් යානය බැංකොක් වෙත ගොඩබස්වනු ලබනවා. ගුවන් යානයේ මගීන් සියළු දෙනා අදාළ ගුවන් තොටුපළේ දී නිදහස් කරන සේපාල, කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට කතා කරලා තමන්ට මදි පුංචිකම කරපු අදාළ නිලධාරියාට අනතුරු අඟවනවා. ගුවන්යානයේ බලය සේපාල සතු බව දැනගත් ඉතාලිය රජය ඔහුගේ ඉල්ලීම පරිදි අන්නා සහ ෆ්‍රී වගේම ඩොලර් ලක්ෂ 3ක් එවනවා.

 

7. සේපාලට ලංකාවෙන් ලැබුණු පිළිගැනීම සහ පසුකාලීන ජීවිතය 

යළිත් ලංකාවට පැමිණෙන සේපාලව සාමාන්‍ය ජනතාව අතර වීරයෙකු සේ පිළිගැනුනත්, පාර්ලිමේන්තුව විසින් අතීතයට බලපාන පරිදි නීති සම්මත කොට සේපාලව ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කරනවා. නමුත් ඔහු අභියාචනාවක් මගින් එම කාලය වසර 5ක් දක්වා අඩු කර ගන්නවා. සිර ගත කළ කාලය තුළදී අන්නා ඔහුගෙන් දික්කසාද වන අතර නිදහස් වීමෙන් පසුව සේපාල නව විවාහයකට එළඹෙනවා. පස්සෙ කාලෙක තමන්ගේ තාත්තා ගැන දැනගන්න ෆ්‍රී ඉතාලියේ ඉඳන් තාත්තව බලන්න ලංකාවට එනවා.

 

මේ තමයි සේපාල ඒකනායකගේ කතාව. ඔබ හිතන විදිහට ඔහු මෝඩයෙක්ද? වීරයෙක්ද? ඔබේ අදහස් කමෙන්ට් එකකින් කියන ගමන් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *