කර කර ගාලා සද්දෙට කන්න පුළුවන් ස්නැක්ස් 7ක් මේ විදිහට හදාගන්න

හැමවෙලේම මොනාහරි හප හප ඉන්න ආස අයට සද්දෙට හපලා කන්න ස්නැක් ටිකක් ගෙනාවා. ටී ටයිම් එකට, ට්‍රිප් එකක් යනකොට වගේ කන්න මේවා නියමයි. මේ ලේසි රෙසිපි නම් අනිවා ඔයාලා ට්‍රයි කරයි කියලා හිතනවා.

 

1. ක්‍රිස්පි බත් වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පිස ගත් බත් කෝප්ප 2 ක්
  2. හාල්පිටි මේස හැඳි 2 ක්
  3. මුදවපු කිරි තේ හැඳි 3 ක්
  4. බේකින් පවුඩර් තේ හැඳි 2 ක්
  5. රස අනුව ලුණු
  6. හීනීයට කපාගත් කරපිංචා 
  7. චොප්කරගත් ළූණු
  8. චොප්කරගත් අමුමිරිස්
  9. මිරිස් කුඩු ස්වල්පයක්

 

  • බත් ටික වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කරගන්න. හොඳින් බ්ලෙන්ඩ් කර ගත් බත් ටික බඳුනකට දමා ඒකට හාල් පිටි හා කපා ගත් සියල්ලම, මුදවපු කිරි, මිරිස් කුඩු, ලුණු කුඩු, බේකින් පවුඩර් ටික දමා හොඳින් මික්ස් කර ගන්න. මේ වඩේ මිශ්‍රණය විනාඩි 30 ක් විතර තියන්න. 
  • විනාඩි තිහකට පස්සෙ මිශ්‍රණයෙන් පොඩි බෝල සදා ගන්න. 
  • අතේ වතුර ටිකක් ගා ගෙන උළුදු වඩේ ෂේප් එකට හදලා ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකම් අඩු ගින්දරේ බැදගන්න.

 

2. මඤ්ඤොක්කා බයිට්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. මඤ්ඤොක්කා ග්‍රෑම් 500
  2. ලුණු කුඩු
  3. මිරිස් කුඩු

 

  • මඤ්ඤොක්කා සිහින්ව පෙති කපාගන්න. මේ ටික රෙදි කෑල්ලක ඔතලා පොට්ටනියක් බැඳලා විනාඩි 2 ක් විතර උතුරන වතුරේ තම්බා ගන්න. 
  • ලිපෙන් බාපු ගමන්ම සීතල වතුරට දාලා විනාඩි 20 ක් තියන්න. පිරිසිදු වියළි රෙද්දකින් මඤ්ඤොක්කා වල තෙත ගතිය ඉවත් කරගන්න. 
  • මේ ටික ගැඹුරු තෙලේ දමා රන්වන් පැහැවන තුරු බැදගන්න. උණුවෙන්ම ලුණු කුඩු හා මිරිස් කුඩු දාගන්න. 
  • ක්‍රිස්පි ගතියට එන්න නම් මඤ්ඤොක්කා ඉතාම සිහින්ව පෙති කපාගන්න ඕන. මේකට පීලර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්.

 

3. ස්පයිසි බයිට්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි කෝප්ප 1/2
  2. යීස්ට් තේ හැඳි 1/4
  3. ලුණු කුඩු
  4. කහකුඩු ස්වල්පයක් 
  5. වතුර
  6. කරපිංචා ස්වල්පයක්

 

  • පාන්පිටි, යීස්ට්, ලුණු කුඩු, කහකුඩු, වතුර දමා හොඳින් අනාගන්න. පැයක් විතර පිපෙන්න වහල තියන්න.  
  • පිටි ඉස ගත් ලෑල්ලක් අරගෙන පිටි මිශ්‍රණය හොඳින් තුනී කරගෙන කැමති හැඩයකට කපා ගන්න. 
  • දැන් මද ගින්නේ ගැඹුරු තෙලේ බැදගන්න. කරපිංචා ටිකත් බැදලා කලවම් කරලා ඒකටම මිරිස් කුඩු, ලුණු කුඩු රස අනුව දාලා මික්ස් කර ගන්න. 

 

4. දෙල් පොතු බයිට්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. දෙල් පොතු ග්‍රෑම් 100
  2. ලුණු කුඩු
  3. කරපිංචා ස්වල්පයක්
  4. පෙති කපාගත් ළූණු
  5. සුදුළූණු බික් 4-5
  6. අමුමිරිස් කරල් 2
  7. කෑලිමිරිස් තේ හැඳි 2
  8. තෙල් ස්වල්පයක්

 

  • දෙල් පොතු අතුල්ලලා හොඳින් සෝදාගෙන ලුණු කුඩු ටිකක අතගාලා විනාඩි 15ක් තියන්න. ඊළඟට ගැඹුරු තෙලේ බැදගන්න. 
  • වෙනම භාජනේක ළූණු, සුදුළූණු, අමුමිරිස්, කෑලි මිරිස්, කරපිංචා ටික හොඳට තෙම්පරාදු කරගන්න. ඒකට දෙල් පොතු ටිකට දාලා කලවම් කරගෙන කෑමට ගන්න. 

 

5. කඩල පරිප්පු බයිට්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කඩල පරිප්පු ග්‍රෑම් 200
  2. රටකජු ග්‍රෑම් 50
  3. කරපිංචා ස්වල්පයක්
  4. ලුණු කුඩු
  5. මිරිස් කුඩු

 

  • කඩල පරිප්පු පැය 4 ක් විතර පෙඟෙන්න තියන්න. වතුර බේරෙන්න තියල රෙද්දක් උඩ තුනී කර වතුර ටික වේලා ගන්න. 
  • හොඳින් වතුර වේලුනාට පස්සේ ගැඹුරු තෙලේ බැදගන්න. බදින කොට තෙල් එකේ පෙණ ආවට බය වෙන්න එපා. හොඳින් බැඳුණු ගමන්ම ලිපෙන් බාගන්න. 
  • ඊළඟට රටකජු හා කරපිංචා වෙන වෙනම බැදගන්න. 
  • බැදගත් සේරම තෙල් බේරෙන්න තියලා ලුණු කුඩු හා මිරිස් කුඩු දමා හොඳින් මික්ස් කර ගන්න. 

 

6. ටී ටයිම් ස්නැක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි කොප්ප 1/2
  2. ලුණු කුඩු තේ හැඳි 1/4
  3. පොඩියට කපාගත් කරපිංචා ස්වල්පයක්
  4. මිරිස් කුඩු
  5. තෙල් තේ හැඳි  3

 

  • භාජනයකට පාන්පිටි, ලුණු කුඩු, කරපිංචා, තෙල් දාලා හොඳින් මිශ්‍ර කරගන්න. ටිකෙන් ටික වතුර දමා නැවත හොඳින් අනාගන්න. අතේ ඇලෙන්නැති සොෆ්ට් ඩෝ එකක් හදාගෙන විනාඩි 10 ක් විතර වහල තියන්න.  
  • ඩෝ එක නැවත අනාගන්න. ලෑල්ලකට පිටි ටිකක් ඉසා ගෙන ඩෝ එක තියල හොඳට තුනී කරන්න.  
  • කැමති හැඩයකට කෑලි කපා ගන්න. දික් අතට කැපුවම බදින්න ලේසියි. දැන් ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තුරු බැදගන්න. තෙල් ඉවත් කරලා උණුවෙන්ම මිරිස් කුඩු දාල මික්ස් කරගන්න.

 

7. පාස්ටා බයිට්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාස්ටා ග්‍රෑම් 200
  2. පාන්පිටි ග්‍රෑම් 50
  3. කොන්ෆ්ලාර් ග්‍රෑම් 50
  4. මිරිස් කුඩු
  5. ලුණු කුඩු

 

  • පාස්ටා තම්බලා අරන් ඇල්වතුරින් සෝදන්න. ඇලෙන ගතිය යන්න ටිකක් තෙත හිඳෙන්න තියලා පාන්පිටි, කොන්ෆ්ලර් අරන් ඒකට පාස්ටා ටික දාලා කලවම් කරන්න. 
  • දැන් තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට ටික ටික පාස්ටා දාලා රන්වන් පැහැවන තුරු බැදගන්න. 
  • බැදගත් පාස්ටා වලට මිරිස් කුඩු, ලුණු කුඩු දමා හොඳින් මිශ්‍ර කර ගන්න. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *