බබාගේ ඇඟට පවුඩර් භාවිතා කරනවානම් පිළිපදින්න ඕන උපදෙස්

පුංචි බබාලා ගැන කතා කරනකොට අපිට ඉස්සෙල්ලම මතකෙට එන්නෙ එයාලගෙ ලඟින් එන නහයට හරිම සනීප සියුම් සුවඳ. ඒ සුවඳයි, ඉස්සර චූටි බබෙක් දැක්ක ගමන්ම පේන සුදුපාටට මුහුණ පුරා තියෙන පෙනුමයි ඉතින් එන්නෙ බේබි පවුඩර් වලින්. ඉස්සර ඉඳලම බබාල නාවපු ගමන්ම, ගමනක් යන්න කලින් වගේම දාඩිය බිබිලි වලට වගේ නොයෙකුත් හේතු වලට අම්මල පවුඩර් දාන්න පුරුදු වෙලා ඉන්නවනෙ. බබාල ගැන කතා කරද්දි නොවැරදීම මතකෙට එන මේ පවුඩර් කියන ජාතිය දැන් ඉස්සර තරම්ම අම්මල අතරේ ප්‍රසිද්ධ නැහැ. ඒකට හේතුව තමයි මේ පවුඩර් පුංචි බබාලට සුදුසු නැහැ කියලා වෛද්‍ය මතයන් සමාජගත වෙලා තියෙන එක. ඉතින් මේ කතාවේ කිසිම වරදක් නම් නැහැ. පවුඩර් කියන්නෙ ඇත්තටම අත්‍යාවශ්‍යම දෙයක් නෙමෙයි. අපි පුරුද්දට බබාලට පාවිච්චි කළාට මේ පවුඩර් වල අහිතකර ප්‍රතිඵල කිහිපයක්ම තියෙනවා. ඉතින් අපි හිතුව ඒ අහිතකර ප්‍රතිඵල සහ ඒ ප්‍රතිඵල වැළැක්වෙන විදිහට හරියට පවුඩර් භාවිතා කරන්න ඕන කොහොමද කියන කාරණය ගැන ටිකක් කතා කරන්න. පරණ පුරුද්දට වගේම තමන්ගේ කැමැත්ත නිසා බබාට පවුඩර් දාන්න ඕනමයි කියල හිතන අම්ම කෙනෙක් ඉන්නවනම් ඔන්න මේ උපදෙස් කියවලා ඒවාට අනුව හරි විදිහට පවුඩර් භාවිතා කරන්න පුළුවන්.

 

1. හොඳ පවුඩර් වර්ගයක් තෝරාගන්න

ඉස්සෙල්ලාම කරන්න ඕන හොඳම පවුඩර් වර්ගයක් තෝරාගන්න එක. වෙළඳපලේ එක එක නම් වලින්, එක එක සුවඳ වර්ග වලින් නොයෙකුත් පවුඩර් වර්ග තිබුණට මේවයේ ගුණාත්මක භාවය සහ අන්තර්ගතය ගැන හොයල බලල තමයි හොඳ වර්ගයක් තෝරගන්න ඕන. ඉස්සෙල්ලාම පවුඩර් ලේබලය හොඳින් කියවලා, අන්තර්ජාලයේ තියෙන කරුණු කියවල වගේම සැකයක් තියෙනවනම් අදාළ නිෂ්පාදන ආයතනයට කතාකරලත් තොරතුරු දැනගන්න පුළුවන්. 

පුංචි බබාලගෙ හම අපේ සමට වඩා සෑහෙන්න සංවේදීයි. මේ සංවේදී හමට ගැලපෙන, ඩයි වර්ග, phthalates, parabens හෝ වෙනත් රසායනික ද්‍රව්‍යයන් අඩංගු නොවෙන පවුඩර් වර්ගයක් තමයි තෝරාගන්න ඕන. ඒ වගේම හමට අහිතකර, පිළිකාකාරක ඇස්බැස්ටෝස් අඩංගු නොවෙනවද කියලත් අනිවාර්යයෙන්ම සොයා බලන්න ඕන.

 

2. මුහුණට පවුඩර් ගාන්න එපා! 

අපි පුරුද්දක් හැටියට පොඩි ළමයින්ගේ වගේම ලොකු අයගෙත් පවුඩර් ගාන්නෙ මුහුණට. ඒක හරිම වැරදි පුරුද්දක්. වෛද්‍යවරු කියන විදිහට පවුඩර් ආඝ්‍රහණය වීම නිසා පෙනහළු ආශ්‍රිතව දරුණු ශ්වසන ආබාධ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දිගුකාලීන ඇදුම රෝග තත්ත්වයන් පවා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා පව්ඩර් ආලේප කරන්න ඕනමනම් ශරීරයේ වෙනත් සුදුසු තැන්වල අලේප කළාට මුහුණට නම් පව්ඩර් ආලේප කරන්න එපා.

 

3. පවුඩර් ගාන හරිම විදිහ

පව්ඩර් කිව්වම අපිටනම් ඉස්සෙලාම මතකෙට එන්නෙ අපි පුංචි කාලේ අම්මලා ළඟ තිබුණ පවුඩර් මල. ඉස්සර ඔය ප්‍රසිද්ධ වෙළඳ දැන්වීම් එහෙමත් තිබුණේ පව්ඩර් මලෙන් බබාගේ ඇඟ පුරා හරිම ලස්සනට පවුඩර් ගානවා. හැබැයි ඉතින් මේකත් අර කලින් කියපු විදිහට පවුඩර් අධිකව ආග්‍රහණය වෙලා, ශ්වසන පද්ධතියට ඇතුළත් වෙලා, පසුකාලීනව ගැටළු ඇතිවෙන්න පුළුවන් වැඩක්. 

පවුඩර් ගාන්න ඕන මෙන්න මෙහෙමයි. අම්මගේ අත්දෙකට පවුඩර් දාගෙන බබාගෙන් ඈතට වෙන්න අත්දෙක තියාගෙන අත්දෙකේ පව්ඩර් හොඳින් තවරාගන්න. ඊළඟට ඒ අත්දෙකෙන් බබාගේ ඇඟේ අවශ්‍ය තැන්වල පවුඩර් ආලේප කරන්න. එතකොට අනවශ්‍ය විදිහට තට්ටු තට්ටු ගෑවෙන එක වෙන්නෙත් නැහැ.

 

4. වියළි හම මත පවුඩර්

අනිත් ලොකුම වරද තමයි බබාව නාවපු ගමන් තෙතමනය රැඳුණු හම මත පවුඩර් ආලේප කරන එක. ඒකෙන් වෙන්නෙ අනවශ්‍ය විදිහට පවුඩර් කැටිති රැඳිලා හමේ ආසාදන තත්ත්වයන් ඇතිකරන එක. ඒ නිසා බබාව හේදුවට පස්සෙ වියළි ටවල් එකකින් හොඳින්ම තෙත මාත්තු කරලා සීතල ගතියත් හමෙන් ඉවත් උනාට පස්සේ තමයි පවුඩර් ආලේප කරන්න ඕන. වේලෙනකන් ඉන්නම බැරි හදිස්සි ගමනක්නම් පවුඩර් නොගා යන එක තමයි හොඳ.

 

5. ඩයපර් රෑෂ් සඳහා

අපි පුරුද්දක් විදිහට කරන තවත් වරදක් තමයි ඩයපර් රෑෂ්, එහෙමත් නැත්තම් නැපි රෑෂ් වලට පවුඩර් භාවිතා කරන එක. හැබැයි මේ ඩයපර් රෑෂ් වලට පවුඩර් භාවිතා කරන එකේ වෙන වෙන සෞඛ්‍ය අවදානම් තියෙන්න පුළුවන්. හොඳ ඩයපර් වර්ගයක් තෝරාගැනීම, හරි විදිහට ඇන්දවීම, හරි වෙලාවල් වලට ඩයපර්ස් මාරු කිරීම වගේ සරල කාරණා වලින් වගේම ඩයපර්ස් භාවිතයට පෙර ඩයපර් රෑෂ් ක්‍රීම් එකක් භාවිතා කිරීමෙන් මේ රෑෂ් ඇතිවෙන එක වළක්වාගන්නට පුළුවන් ලේසියෙන්ම.

 

6. ලිංගික ප්‍රදේශයට පවුඩර්

කලිනුත් කිව්ව වගේ රෑෂ් එනවට ලිංගික ප්‍රදේශයේ පවුඩර් ආලේප කිරීම අවදානම්. වෛද්‍යවරු කියන විදිහට ගැහැණු දරුවන්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ පවුඩර් ආලේප කිරීමෙන් පසුකාලීනව ගැබ්ගෙල ආශ්‍රිත පිළිකා තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. මේ කරුණ සායනිකව 100%ක්ම තහවුරු කරලා නැති වුණත් පොඩි දරුවෙක් ගැන නිකරුනේ අවදානම් නොගෙන ඒ ආශ්‍රිත ප්‍රදේශ වල පවුඩර් නොගාම හිටියනම් හරිනේ. 

 

7. පවුඩර් ගාන්න සුදුසු තැන්

සාමාන්‍යයෙන් පවුඩර් ආලේප කරන්න ඕන සිරුරේ දහදිය එකතුවෙන, නැවෙන තැන් වලට. ඒ කියන්නෙ බෙල්ල යට, කිහිල්ල, අතේ වැලමිට ඇතුළු පැත්ත, දණහිස පිටුපස වගේ තැන්වල. කලින් කියපු විදිහට අත් දෙකට පවුඩර් අරගෙන සියුම්ව මේ තැන්වල ආලේප කරන්න. වැඩිපුර හිටපු කැටිති එහෙම තියෙනවනම් නැපි එකකින් පිහදලා අයින් කරන්න. ප්‍රධානවම මේ නැමුම් ආශ්‍රිත හම වියළිව තබාගන්න මිසක් බබාව සුවඳ ගහන්න කියලා මුළු ඇඟේම පවුඩර් ආලේප කරන්න එපා. පුංචි බබාලා කොහොමත් සුවඳයි. නිකන් රසායන ද්‍රව්‍ය අඩංගු සුවඳ වර්ග වලින් අමුතුවෙන් එයාලව සුවඳ කරන්න ඕන නැහැ. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *