කොරෝනා කියන්නේ පපුවට, පෙනහළු වලට විතරක් ඇටෑක් කරන දෙයක් නෙමෙයි. කොරෝනා වලින් වැළකෙන්නට ගත් ක්‍රියාමාර්ග නිසා අපේ මුළු ජීවන රටාවම වෙනස්කම් වලට භාජනය වුණා. ලංකාවේ ජනතාවටත් සෞඛ්‍ය ගැටළුව වගේම ආර්ථික ගැටළුවත් සැරට දැනෙන්නට ගත්තා. ඉතින් කොරෝනා කාලේ මිල වැඩි වුණු දේවල් කිහිපයක් ගැන අපි දැන් ටිකක් සොයා බලමු.
1. කහ
කහ ගන්නවා කියලා සාමාන්‍යයෙන් කාරණා දෙකක් අඟවනවා. එකක් තමයි සිරුරේ කිසියම් තැනක් කසා ගැනීම. අනෙක කහ නැමැති කුළු බඩුව මිලදී ගැනීම. කොරෝනා නිසා කහ මිලදී ගන්න නැති වුණා. කහ ආනයනය කිරීම තහනම් වුණා. දකුණු ඉන්දියාවෙන් නිතර නිතර ආපු කහ ලංකාවට එන එක හිටි අඩියේම නැවතුණා. ඉතින් ලංකාවේ කහ හිඟ වුණා. කහ ග්‍රෑම් පනහක් රුපියල් 250ට 300ට මිල නියම වුණා. ඉන්දියාවෙන් අනවසරයෙන් ගෙන්නූ කහ තොග පොලිසියෙන් අල්වාගෙන, උසාවි කටයුතු වලින් පස්සේ ඒවා ගිනි තැබූ බවත් වාර්තා වුණා. ඒ වගේම ලංකාවේ කහ ගොවීන් දිරිමත් වෙලා හරි හරියට කහ වගාකරන බවත් රජයට හිතවත් වාර්තා වලින් කියවුණා.
2. මෝටර් බයිසිකල් සහ ස්කූටර්
මෝටර් බයිසිකල්, ස්කූටර් විකුණන කඩයක් ලංකාවේ ඕනෑම ටවුමක දැකගන්න පුළුවන් පොදු දෙයක් වුණා. පොදු ප්‍රවාහනයේ දුබලතා නිසා ගමන් බිමන් යන්නට පොඩි මිනිහාට මෝටර් බයිසිකල් එක ලොකු උදව්වක් වුණා. ඒත් වාහන ආනයන තහනම නිසා මෝටර් බයිසිකල් හිටි අඩියේම ඉවර වෙන්න ගත්තා. මෝටර් බයිසිකල් මිල අහස උසට නැග්ගා. කොරෝනා වලට කලින් 2019 දී ලක්ෂ 3ට විතර තිබ්බට, දැන් භාවිතා කළ මට්ටමේ මෝටර් සයිකලයක් වුණත් මිලදී ගන්න වෙලා තියෙන්නේ ලක්ෂ 4.5ක් වගේ අධික මිලකට. මෝටර් සයිකල් විකුණන්න ඇරපු කඩ ඒජන්තයෝ ඒවා අත හැරලා වෙනත් ව්‍යාපාර වලට තමුන්ගේ අවධානය යොමු කරලා කියලාත් වාර්තා පළ වුණා.
3. ටයිල්
ටයිල් වලටත් රටින් එන්නට ඉඩ ලැබුණේ නැහැ කොරෝනා වලින් පස්සේ. ටයිල් කර්මාන්තය ලංකාවේ ටයිල් නිපදවන අයට නතු වුණා. ලංකා ටයිල් සහ රොසෙල් සමාගම් වලට දිගින් දිගටම වැඩ වැඩි වුණා. රටින් ටයිල් ගෙනත් විකුණූ නාවල රාජගිරිය පැත්තේ කඩවලටත් කස්ටමර්ලා අඩු වුණා. එහෙන් මෙහෙන් ඉතිරි වෙලා තියෙන ටයිල් වුණත් දැන් ලොකු මිලක් ගෙවලා තමයි ගන්න වෙලා තියෙන්නේ. ටයිල් වගේ දෙයක් හොරාට ගේන්නත් අමාරු දෙයක් නිසා ගෙවල් දොරවල් හදන උදවියට ලොකු අපහසුතාවයකට පත් වෙන්න සිද්ද වුණා.
4. කෘෂි රසායන සහ පොහොර වර්ග
කොරෝනා පැතිරුණ මුල් කාලේ නම් පෝර වර්ග, ඇට වර්ග හොයාගන්න බැරිව ගොවියන් අපහසුතාවයට පත් වුණා. දැන් දැන් නම් ටික ටික තොග ලැබෙමින් පවතිනවා. එ් වුණත් ගොවීන්ට කොරෝනා නිසා පෝර හිඟ කාලයකට මුහුණ දෙන්නට සිද්ද වුණා. කුකුළන් සහ සතුන් ඇතිකරන අයටත් කුකුළු කෑම, සත්ව ආහාර ආදිය පිටරටින් සැපයුම් නොලැබුණ දුෂ්කර කාලයකට මුහුණ දෙන්නට සිද්ද වුණා කොරෝනා නිසා.
5. පොල්
පොල් නම් මිල ඉහළ ගිය හේතුවක් හිතාගන්නට බැහැ. ඒත් රුපියල් අසූවට විතර තිබුණ පොල් ගෙඩිය දැන් කොරෝනා කාලේදි රුපියල් එකසිය ගාණට මිල වුණා. පොල් තෙල් වගේ පොල් ආශ්රිත දේත් මිල අධික වුණා. සාමාන්‍ය දුප්පත් ජනතාව පොල් ගෙඩියක් ගෙනගොස් දිනයේ වේල් තුනටම පාවිච්චි කරන තත්ත්වයට ආවා. පොල් කියන්නේ විසඳන්න අමාරු ප්‍රශ්නයක්. පොල් රටින් ගෙන එන්න පුළුවන් වුණත් ලංකාවේ තිබෙන පොල් වලට වඩා වෙනත් රටවල පොල් වර්ග වෙනස් නිසා එයත් ගැටළුවක්. වරක් පොල් කේරළයෙන් ගෙනත් ලංකාවේ පොල් වලට ලෙඩක් බෝවෙන අවදානමක් ආවා. ඒ නිසා කේරළයෙන් පොල් ගෙන ඒම කියන්නෙත් අවදානම් වැඩක්. කෙසේ වෙතත් රජයෙන් වෙනත් පාම් තෙල් සහ උයන්න ගන්න තෙල් වර්ග වලට එකතුකර තිබෙන බදු මුදල් ටිකක් හරි අඩු කරන්න පුළුවන් නම් පොල් තෙල් වලින් උයන පිරිසට හරි යම් සහනයක් ලැබේවි.
6. ලැප්ටොප්
ලැප්ටොප්, ටැබ්ලට් සහ ෆෝන් වලට කොරෝනා බලපෑවා. AMD සමාගමේ ප්‍රොසෙසර් වඩා ජනප්‍රිය වෙලා, ඉන්ටෙල් සමාගම අභිබවා ගියත්, කොරෝනා තත්ත්වය සහ වෙනත් හේතු නිසා වෙළඳපොලට අවශ්‍ය ප්‍රොසෙසර් ප්‍රමාණය සපයන්න AMD සමාගමට නොහැකි වුණා. ලංකාවේ ගත්තා වුණත් නිදහස් කරගැනීමේ ගැටළු සහ ජාත්‍යන්තර වෙළඳපොලේ හිඟතාවයන් නිසා ලැප්ටොප් මිලදී ගන්න අයට තිබෙන තෝරාගැනීම් අඩු වුණා. ලොව පුරා ගෙදර සිට ඉගෙනගන්නා, වැඩකරන පිරිස කොරෝනා නිසා වැඩි වුණා. ඒ එක්ක ගෙදර ඉඳන් වැඩකරන අයට අත්‍යාවශ්‍ය වෙන ස්මාට්ෆෝන්, ලැප්ටොප් සහ ටැබ්ලට් ආදියට ඉල්ලුම වැඩි වුණා. කොරෝනා සමය නිසා නිෂ්පාදන ධාරිතාවය වැඩිකරන්නත් අපහසුතා තිබෙනවා. ඒ නිසා මේ මල්ටිමීඩියා ඉලෙක්ට්‍රොනික්ස් බඩුත් වෙළඳපොලේ හිඟ වුණා.
7. යාන වාහන
කොරෝනා ලොක්ඩවුන් සමයත් එක්ක මහජන ගැවසීම් අඩු කරන්නට වුණා. ඒ එක්ක පොදු ප්‍රවාහන මාධ්‍යයන් භාවිතයට වඩා තමුන්ගේම වාහනයක් ගන්නට පුළුවන් නම් හොඳය කියන අදහස වාහන නැති බොහෝ අයට පහළ වුණා. ඒත් ලක් රජයෙන් වාහන ගෙන්වීම නැවැත්වුවා. වාහන පාට්ස් පවා ගෙන්වීම තහනම් වුණා. ලංකාවේ වාහන එකලස් කිරීමට, නිෂ්පාදනය දියුණු කරන්නට සහ දිරිමත් කරන්න තමයි මේ රටින් වාහන ගෙන්වීම් අඩුකරනවා කියන්නේ. කෙසේ වෙතත් වාහනයේ සාමාන්‍ය මිලටත් වඩා බදු මිලක් ගෙවලා තමයි නවත්වන්න කලිනුත් ලංකාවේ අය වාහන ගෙන්නුවේ. ඒ තරම් අධි මිලටත් අවශ්‍යතාවයට වාහනයක් මිලදී ගන්න නැති වීම ගැන සමහර ජනතාව නම් ඉන්නේ කනස්සල්ලෙන්.
වාහනයක් මිලදී ගන්නට පිටරටට ඩොලර් බර ගාණක් ඇදී ගියත්, වාහනයක් සමගම රජයට ඒ හා සමාන හෝ ඊටත් වැඩියෙන් බදු මුදලක් එකතු වුණා. ඒ වගේම කහ වැනි දිනකට ග්‍රෑම් පහ හයක් නිවසකට උවමනා වෙන කුළුබඩුවක් නැවැත්වීමෙන් කොපමණ ආර්ථික වාසියක් ආණ්ඩුව එයින් බලාපොරොත්තු වනවාද යන්නත් ගැටළුවක්. මේ විදිහේ යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් තිබුණත් කොරෝනා හේතුවෙන් ඇතිවෙලා තියෙන තත්ත්වයට මොනාහරි විසඳුම් කිහිපයක් රජය විසින් කරන්නට තියෙනවා. ඉතින් මේ තත්ත්වය ඉක්මනින්ම නැතිවෙලා ගිහින් අපිට කොරෝනාවට පෙර තිබූ නිදහස් ලෝකය ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.
Leave a Reply