පෝර්ක් නැත්නම් ඌරු මස් කියන්නෙ හුඟ දෙනෙක් කන්න ආස උනත් හරියට හදාගන්න දන්නෙ නැති මස් වර්ගයක්. ගොඩක් වෙලාවට වරදින්නෙ මේ මස පිසගන්න ඕන කාලය. ඒ නිසා අපි අද මේ කියන්න හදන්නෙ පෝර්ක් නැත්නම් ඌරු මස් හරිම විදියට පිසගන්න ගතවෙන කාලය ගැන. පෝර්ක් වල විවිධ කොටස් පිසගන්න විවිධ කාලයන් ගත වෙනවා. මේ කාල වෙලාවන් දැනගෙන ඉව්වොත් පෝර්ක් වල නියම රස නියම විදියට විඳින්න ඔබට පුළුවන්. පමණට වඩා කාලයක් පිසගන්න පෝර්ක් නිකන් රබර් වගේ. ඒ නිසා කාලය අඩුවෙනුත් නැතුව වැඩියෙනුත් නැතුව ගාණට පෝර්ක් හදාගන්න ඕන. පෝර්ක් වල කොටස් කීපයක් තියෙනවා. පෝර්ක් ස්ටේක්, පෝර්ක් රිබ්ස්, පෝර්ක් චොප්ස්, පෝර්ක් ජොයින්ට්ස් කියන නම් වලින් එන කොටස් පිසීමේදී ගතවන කාලය පිසගන්නා ක්‍රමය අනුවත් වෙනස් වෙනව.
1. මුලින්ම මස් තෝරගන්න හැටි බලමු
අපි උඩින් කිව්ව වගේ පෝර්ක් ඔයාල කැමති විදියට කැමති කොටසකින් ගන්න පුළුවන්. හැබැයි මේ මස ගන්න කොට අලුත් මස්ද කියල බලලයි ගන්න ඕන. පෝර්ක් වල නියම පැහැය රෝස පැහැයට හුරු රතු පැහැයේ ඉඳන් දම් පාටට ළඟ රතු පැහැය දක්වා වෙනස් වෙනවා. පාට අඩු මස සුදුමැළි මස් එතරම්ම අලුත් මස් නෙවෙයි. මස් කොටසේ තැනින් තැන ඇති සුදු පාට කොටස් වැඩි නම් ඒ කොටස් වල තෙල් කෑලි වැඩියි. මේක තමන්ගේ කැමැත්ත අනුව තෝරාගන්න පුළුවන්. සුදු පාට තෙල් කොටස් වැඩි මස රසයෙන් වැඩියි වගේම පිස ගන්නකොට මසේ වියළි බවක් ඇති වෙන්නෙ නෑ.
2. පෝර්ක් රිබ්ස්
BBQ පාටි වල ජනප්‍රියම අංගයක් මේ. පෝර්ක් රිබ්ස් එන්නෙ කට්ටත් සමඟයි. හුඟක් වෙලාවට සෙන්ටිමීටර 2ත් 3ත් අතර ඝනකමකින් තමා පෝර්ක් රිබ්ස් කපන්නෙ. මේ කියන්නෙ එහෙම ප්‍රමාණයේ පෝර්ක් රිබ්ස් පිසගන්න යන කාලය ගැන.
කරියක් සඳහා – පෝර්ක් රිබ්ස් වලින් කරියක් හදනවා නම් අඩු ගින්දරේ විනාඩි 40ත් 50ත් අතර කාලයක් ගත වෙනව.
පෑන් ෆ්‍රයි – එක පැත්තක් විනාඩි 10ත් 15ත් අතර අඩු ගින්දරේ පෑන් ෆ්‍රයි කරගන්න ඕන.
ග්‍රිල් කිරීම – ග්‍රිල් කරනකොට එක පැත්තක් විනාඩි 12ක් 15ක් විතර කාලයක් ග්‍රිල් කරගන්න ඕනෙ.
බේක් කිරීම – විනාඩි 25ක් 30ක් සෙල්සියස් 200ක උෂ්ණත්වයෙන් බේක් කරගන්න. විනාඩි 15ක් ගෙවුනට පස්සෙ අනෙක් පැත්ත හරවගන්න.
රෝස්ට් කිරීම – සෙල්සියස් 160ට විනාඩි 40ත් 50ත් අතර කාලයක් රෝස්ට් කරගන්න ගත වෙනවා.
3. පෝර්ක් ස්ටේක්
පෝර්ක් ස්ටේක් එක විවිධ ඝණකම් වලින් ලබාගන්න පුළුවන්. මේ කියන්නෙ සාමාන්‍ය අඟල් 3/4ක (සෙන්ටිමීටර් 2) පමණ මහතකින් යුත් ග්‍රෑම් 500ක ස්ටේක් එකක් සඳහා ගතවන කාලය ගැන.
කරියක් සඳහා – ස්ටේක් කොටසකින් කරියක් පිසිනවා නම් නියම රසට සහ පදමට පිස ගැනීමට විනාඩි 50ක විතර කාලයක් ගත වෙනව. ගන්න ස්ටේක් කොටසේ තෙල් කොටස් අඩු නම් වැඩි වෙලාවකුත් තෙල් කොටස් වැඩි නම් අඩු වෙලාවකුත් ගත වෙනව.
පෑන් ෆ්‍රයි කිරීම – අඩු තෙල් ප්‍රමාණයක් යොදා පෑන් ෆ්‍රයි කරනවා නම් එක පැත්තක් විනාඩි 8ක් 10ක් අතර කාලයක් අඩු ගින්දරේ ෆ්‍රයි කරගන්න ඕනෙ. තෙල් කොටස් වැඩි ස්ටේක් එකක් නම් අමතර තෙල් පාවිච්චි නොකරම පෑන් ෆ්‍රයි කරන්න පුළුවන්.
ග්‍රිල් කිරීම – පෝර්ක් ස්ටේක් එකක් ග්‍රිල් කරනවා නම් එක පැත්තක් විනාඩි 8ක් 12ක් අතර කාලයක් ග්‍රිල් කරගන්න ඕනෙ.
බේක් කිරීම – විනාඩි 30ක් සෙල්සියස් 180ක උෂ්ණත්වයෙන් බේක් කරගන්න ඕන. විනාඩි 15ක් ගතවුණාම අනෙක් පැත්ත හරවගන්න.
රෝස්ට් කිරීම – සෙල්සියස් 170ට විනාඩි 25ත් 40ත් අතර කාලයක් රෝස්ට් කරගන්න ගත වෙනවා.
4. පෝර්ක් ජොයින්ට්ස්
පෝර්ක් ජොයින්ට්ස් වර්ග කීපයකින් එනවා. ලෙග්, ෂෝල්ඩර්, බෙලි, ලොයින් වශයෙන්. මේ කොටස් බේක්/රෝස්ට් කරනවා හෝ කරියක් ලෙස පිසිනවා හැර පෑන් ෆ්‍රයි හෝ ග්‍රිල් කරන්න සාමාන්‍යයෙන් ගන්නෙ නෑ.
කරියක් සඳහා – ග්‍රෑම් 500ක පෝර්ක් ජොයින්ට්ස් වලින් කරියක් හදනවා නම් අඩු ගින්දරේ විනාඩි 50ත් පැයත් අතර කාලයක් යනවා.
බේක් කිරීම – හොඳින් පිස ගන්න නම් සෙල්සියස් 180ක උෂ්ණත්වයෙන් යුත් අවන් එකක විනාඩි 35ක කාලයක් බේක් කරගන්න ඕනෙ.
රෝස්ට් කරගැනීම – සෙල්සියස් 180ට විනාඩි 35ත් 40ත් අතර කාලයක් රෝස්ට් කරගන්න ඕනෙ.
5. පෝර්ක් චොප්ස්
පෝර්ක් චොප්ස් එක එක ඝණකම් වලින් ලබාගන්න පුළුවන්. මේ කියන්නෙ සාමාන්‍ය අඟල් 3/4ක (සෙන්ටිමීටර් 2) පමණ මහතකින් යුත් ග්‍රෑම් 500ක පෝර්ක් චොප් එකක් සකස් කරද්දී ගතවන කාලය ගැන.
කරියක් සඳහා – කපපු පෝර්ක් චොප්ස් වලින් කරියක් හදනවා නම් අඩු ගින්දරේ විනාඩි 40ත් 50ත් අතර කාලයක් ගත වෙනව.
පෑන් ෆ්‍රයි කිරීම – එක පැත්තක් විනාඩි 6ත් 8ත් අතර අඩු ගින්දරේ පෑන් ෆ්‍රයි කරගන්න ඕනෙ.
ග්‍රිල් කිරීම – ග්‍රිල් කරනකොට එක පැත්තක් විනාඩි 8ක 10ක පමණ කාලයක් ග්‍රිල් කරගන්න ඕනෙ.
බේක් කිරීම – විනාඩි 30ක් සෙල්සියස් 180ක උෂ්ණත්වයකින් බේක් කරගන්න. විනාඩි 15ක් ගතවුණාට පස්සෙ අනෙක් පැත්ත හරවගන්න.
රෝස්ට් කිරීම – සෙල්සියස් 170ට විනාඩි 35ත් 40ත් අතර කාලයක් රෝස්ට් කරගන්න ගතවෙනවා.
Leave a Reply