ලංකාවේ අපේ රටේ දේශපාලනය කියන්නේ බොහෝ වෙලාවට පවුලක වගේම පරම්පරා වල උරුමයක්. නමුත් වෙනත් රටවල සාපේක්ෂව මේ තත්ත්වය බොහෝදුරට වෙනස් ස්වභාවයක් ගන්නවා. බොහෝ වෙලාවට පරම්පරා කිහිපයකට කලින් ඒ රටෙහි පදිංචිය සදහා පැමිණි පුද්ගලයන්ට වුණත් රටේ ඉහළම පදවි තානාන්තර වලට යන්න කිසිදු ගැටළුවක් ඇති වන්නේ නැහැ. අපි අද කතා කරන්න යන්නේ ඒ රටවල තිබෙන එම නිදහසින් ප්රතිලාභ ලබාගන්න සමත් වෙලා, ඒ රටවල දේශපාලනය තුළ ඉහළටම යන්න සමත් වෙච්ච ලාංකික සම්භවයක් සහිත පිරිස් පිළිබඳව.
1. නෙරන්ජන් දේවාදිත්‍ය
ලංකාවේ බොහෝ පිරිසක් අද වෙනකොට නොදන්නවා වුණාට ලංකාවේ ඉපදිලා බ්‍රිතාන්‍යයේ හැදිලා වැඩුණු නෙරන්ජන් දෙවාදිත්‍ය එංගලන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කළා. පසුව ඔහු නියෝජනය කළ කොන්සවේටිව් පක්ෂය යුරෝපා පාර්ලිමේන්තුවේ තම එක් නියෝජිතයෙකු ලෙස ඔහුව පත් කරනු ලැබුවා. යුධ සමය තුළදී ලංකාව වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඔහු විසින් ඉෂ්ට කරනු ලැබීම පිළිබඳව ලාංකිකයන් විදිහට අපි කෘතඥ විය යුතුයි.
2. රනිල් ජයවර්ධන
වර්තමානයේ එංගලන්තයේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව අමාත්‍ය ධූරය හොබවන රනිල් ජයවර්ධන සිංහල පියෙකුට සහ ඉන්දීය සම්භවයක් සහිත මවකට දාව එංගලන්තයේ උපන් අයෙක්. ඔහුගේ පියාගේ පාර්ශ්වයේ යම් තාක් දුරකට ලංකාවේ දේශපාලන පසුබිමක් ද පවතිනවා. මුල් කාලයේ දේශපාලනයට එළඹීමේදී ඇතැම් විරුද්ධවාදීන් ඔහුගේ සම්භවය පවා ප්‍රශ්න කරනු ලැබුවා. මේ සියළු අභියෝග ජය ගනිමින් ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල දිගු ගමනක් යෑමට සමත්ව තිබෙනවා.
3. කරීමා මරික්කාර්
එංගලන්තයේ නාගරික බල ප්‍රදේශයක් තුළ පළමු මුස්ලිම් නගරාධිපතිවරිය වීමේ ගෞරවය ලබා ගත්තේ කරීමා මරික්කාර් මැතිනිය විසිනුයි. එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක රජයේ ජනප්‍රිය ඇමතිවරයෙකුව සිටි මරික්කාර් මැතිතුමාගේ මිණිබිරියක වන ඇය ලංකාවේ ඉගෙන ගත් අයෙක්. සිය දිවුරුම් දීමේ අවස්ථාව සඳහා ඔසරියකින් සැරසුණු ඇය එම කටයුතු සිදු කරන ලද්දේ මඟුල් බෙර, සක් හඬ මධ්‍යයේයි.
4. වනූෂී වෝල්ටර්ස්
ලේබර් පක්ෂය නියෝජනය කරමින් නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වුණු වනූෂී වෝල්ටර්ස් මෙරට සුප්‍රකට සරවනමුත්තු – පොන්නම්බලම් පවුලේ සාමාජිකාවක්. ඇය සිය මංගල කතාව ආරම්භ කරන ලද්දේ ආයූබෝවන්, වනක්කම් ලෙස වන අතර එහිදී ඇය සිය මව්බිම පිළිබඳව අභිමානයෙන් කතා කොට තිබුණා.
5. රෝහිණී කොසොග්ලු
ඇමරිකාවේ පළමු ආසියානු සම්භවයක් සහිත කළු ජාතික උප ජනාධිපතිනිය වන කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරන රෝහිණී ලංකාවේ සිට එරටට සංක්‍රමණය වූ යුවළකගේ දරුවෙක්. දේශපාලනය කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූ ඇය ඩිමොක්රටික් පක්ෂය තුළ කෙටි කාලයක් තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වුණා. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණ සටනේදී පක්ෂය සහ කමලා හැරිස් වෙනුවෙන් අරමුදල් සම්පාදනය, අධාරකරුවන් කළමනාකරණය කිරීම ආදී කටයුතු රාශියක් කිරීමට ඇය නායකත්වය ලබාදුන්නා.
6. ඩේවිඩ් ඩී. ක්‍රෙට්සර්
ශ්‍රී ලංකාවේ උපත ලැබූ බර්ගර් සම්භවයක් සහිත ඩේවිඩ් ඩී. ක්‍රෙට්සර් සිය මූලික අධ්‍යාපනය ශ්‍රී ලංකාවෙන් ලබා සිය පවුලේ සාමාජිකයන් සමඟ ඔස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වුණා. උසස් අධ්‍යාපනය එරට දී ලබා ගැනීමෙන් අනතුරුව එරට සුප්‍රකට සෞඛ්‍ය විශේෂඥයකු වීමේ හැකියාව ඔහු ලබා ගත්තා. වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස පත්වීම් ලැබූ ඔහු දේශපාලන පරිසරය තුළත් ඉන් පිටතදීත් ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත් වුණා.
7. ජූඩ් පෙරේරා
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ව්‍යවස්ථාදායක සභාවේ සහිකයෙක් විදිහට 2002 සිට 2018 කාලය තුළ ජූඩ් කටයුතු කළා. ඔහුත් ශ්‍රී ලංකාවේ උපත ලැබූ අයෙක් වන අතර යාපනය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක්. තොරතුරු තාක්ෂණය පිළිබඳව විශේෂඥයෙකු ලෙස ලංකාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් වල සේවය කළ ඔහු ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබා ගැනීමෙන් අනතුරුව සිය දැනුම සහ අත්දැකීම් භාවිතා කරමින් එරට ප්‍රමුඛතම ආයතනික ප්‍රධානියෙක් බවට පත්වුණා.
මේ වගේ වෙනත් රටවල දේශපාලනයේ නම තබපු අපේ රටේ සම්භවයක් සහිත පුද්ගලයෝ පිළිබඳව ඔබත් දන්නවා නම් ඒ අය ගැන සටහනක් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න ඔබ අමතක කරන්න එපා. ඒ තොරතුරු මත සමහරවිට මේ සටහනට ඌණ පූර්ණයක් ලියන්න අපිට හැකියාව ලැබෙයි.
Leave a Reply