ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසයට සාක්ෂි සපයන අපේ වංසකතා

කවුරු කොහොම කිව්වත් ජාතියක් විදිහට අපිට ආඩම්බර වෙන්න පුළුවන් කාරණා රාශියක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම කාරණාවක් තමයි අඛණ්ඩව ලිඛිත ඉතිහාසයක් සහිත ලොව පැරණිතම ජාතිය විදිහට සිංහල ජාතියේ නම ඉතිහාස ගත වෙන එක. අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ ඉතිහාසය ලියා තබපු සහ ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කරද්දී අතිශයින්ම වැදගත් වෙන මූලාශ්‍ර කීපයක් ගැන. ඒ තමයි වංසකතා

 

1. මහාවංශය 

මහාවංශය කියන ඉතිහාස ග්‍රන්ථය අපේ ජාතියත් එක්ක කොයි තරම් බද්ධ වෙලා තියෙනවද කියනවනම් ඇතැම් අය සිංහලයන්ගේ මානසිකත්වය මහාවංශ මානසිකත්වය කියලත් උපහාසාත්මක මුඛයෙන් ප්‍රකාශ කරනවා. 

නමුත් ඒ ආතක් පාතක් නැති මිනිස්සු මොනවා කිව්වත්, ලංකාවේ අපේ මිනිස්සුන්ට අගයක් නැති වුණත් මහා වංශය කියන්නේ ජාත්‍යන්තර වශයෙන් සම්භාවනාවට ලක් වෙච්ච ඉතිහාස ග්‍රන්ථයක්. උදාහරණයක් විදිහට ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාවේ ඉතිහාසය සම්බන්ධ ඇතැම් ගැටළු පවා නිරාකරණය කරගන්න පුළුවන් වුණේ මහාවංශයට පින්සිද්ද වෙන්න. මහාවංශය පිළිබඳව පරිපූර්ණ ලිපියක් ඉදිරියේදී අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන නිසා මේ ලිපියෙ දී ඒ ගැන තවදුරටත් අපි වැඩි වශයෙන් කතා කරන්නේ නැහැ.

 

2. දීපවංශය

මහාවංශයටත් වඩා පැරණි ම වංසකතාව වෙන්නේ දීපවංශය. නමුත් මහාවංශයට සාපේක්ෂව දීප වංශයෙහි පුනරුක්ති සහ  අසම්පූර්ණ ස්වභාවයක් පවතිනවා. මොන දුර්වලතා තිබ්බත් ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කරද්දී දීපවංශයේ ඇති වැදගත්කම  අමතක කරන්න බැහැ. දීපවංශය තුළ වැඩි වශයෙන් භික්ෂුණී ශාසනය පිළිබඳව මහා වංශයටත් වඩා අතිරේක තොරතුරු සඳහන් වන නිසා ඇතැම් අය විශ්වාස කරන්නේ දීපවංශය භික්ෂුණින්වහන්සේලා විසින් රචනා කළා කියලා.

 

3. නිකාය සංග්‍රහය

ගම්පොළ යුගයේ අවසානයේ සහ කුරුණෑගල යුගයේ ආරම්භක අවධිය අතරතුර  කාලය තුළ ධර්මකීර්ති සංඝරාජ ස්වාමීන් වහන්සේ විසින් රචනා කරපු නිකාය සංග්‍රහය තුළ  ශාසනික ඉතිහාස කතාව වගේම ලංකාවේ ඉතිහාසය පිළිබඳව විශාල කරුණු රාශියක් සඳහා එළියක් ලබා දෙනවා. විශේෂයෙන්ම ලංකාවේ මහායාන අදහස්වල නැගීමත් එක්ක ඇතිවුණු ව්‍යාකූල තත්ත්වය පිළිබඳව අනෙකුත් වංශකතාවල නැති තොරතුරු රාශියක් පාඨකයා වෙත ඉදිරිපත් කරනවා.

 

4. ධාතුවංසය 

ඇතැම් විද්වතුන්ට අනුව ධාතුවංසය කියන්නේ රුහුණු රටේ වංසකතාව. කකුසඳ හිමියන් විසින් පාලි වංශ කතාව රචනා කර තිබෙන අතර සිංහල ධාතුවංසය එම කෘතියේ පරිවර්තනයක් නොව අනුවර්තනයක් ලෙස සැලකීම සුදුසු බව මේ පිළිබඳව අධ්‍යනය කළ ඉතිහාසඥයන්ගේ මතය වනවා. කොහොම වුණත් සේරුවාවිල තිස්ස මහා විහාරය පිළිබඳ වාර්තා එක් කරමින් ලියවිලා තියෙන ධාතුවංසය තුළින් අනෙකුත් වංශකතාවලින් අහන්න නොලැබෙන තොරතුරු රාශියක් දැන ගැනිමේ අවස්ථාවක් අපිට ලැබෙනවා.

 

5. ථූපවංශය 

ලංකාවේ ශාසනයේ විතරක් නෙමෙයි ඇතැම් අවස්ථාවල අපේ පැරැන්නෝත් විහාරවල වංශ කතා ලියන්න පුරුදු වෙලා හිටියා. ඒ අතරින්  ප්‍රමුඛතම වංශකතාව විදිහට සැලකෙන්නේ ථූපවංශය. ථූපවංශය තුළ රුවන්වැලි සෑය ඉදි කිරීම වගේම රුවන්වැලිසෑය වෙනුවෙන් පසුකාලීන රජදරුවන් විසින් කරපු පුදපූජා ආදිය පිළිබඳවත් විස්තර කෙරෙනවා.

 

6. හත්ථවනගල්ල විහාර වංශය 

අනෝමදස්සි සංඝරාජ හිමියන් විසින් රචනා කරන ලද මෙම වංශ කතාවෙන් සිරිසඟබෝ රජු හිස දන් දුන්නා යැයි විශ්වාස කරන අත්තනගල්ල විහාරයේ ඉතිහාස කතාව විස්තර කෙරෙනවා. වර්තමාන ඉතිහාසඥයන් නම් විශ්වාස කරන්නේ සිරිසඟබෝ රජු හිස දන් දුන්නේ අත්තනගළු විහාරයේ නොව අනුරාධපුරය ආසන්නයේ පිහිටා ඇති හත්ථිකුච්ඡි විහාරයේ කියලා. නමුත් මේ පරස්පරතාවන් මොනව තිබ්බත් අත්තනගල්ල විහාර වංශය ඉතිහාස ග්‍රන්ථයක් වගේම සාහිත්‍යය කෘතියක් විදිහට ඉහළ මට්ටමේ ග්‍රන්ථයක් විදිහට සම්භාවනාවට ලක් වෙනවා.

 

7. රාජාවලිය 

කෝට්ටේ යුගයේ අවසාන කාලයේ පටන් මහනුවර යුගය දක්වා කාලය අතරතුර ලියැවුණු රාජාවලිය බොහෝ විද්වතුන් විශ්වාස කරන අන්දමට එකම එක කතුවරයෙකුගේ නිර්මාණයක් නම් නෙමේ. උගතුන් වගේම සාමාන්‍ය ජනතාවත් තමන් දන්න දන්න විදිහට  ඉතිහාස කරුණු රාජාවලිය කෘතිය ඇතුළට ගොනු කරන්න උත්සාහ දරලා තියෙනවා. මේ නිසාම රාජාවලියේ විශ්වාසනීයත්වය පිළිබඳව ගැටළුවක්  පැවතුණත්, ඇතැම් අවස්ථාවල එහි සඳහන් වන කරුණු නිසා ලංකාවේ ඉතිහාසය ගැන වෙනත් මානයකින් බලන්න හැකියාව ලැබිලා තියෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක් ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *