සෙක්සි ස්ටයිල් එකට රැවුල ට්‍රිම් කරගන්න ටිප්ස් කීපයක් අපෙන්!

මේ දවස් වල රැවුල වවනවා කියන්නේ ඉතින් කසාදයක් අතේ තමයි කියලා හිතෙන ගාණට, දැන් කාලේ කෙල්ලෝ සෑහෙන්න කැමතියි රැවුල්කාර කොල්ලන්ට. හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. රැවුල්කාර සෙක්සි කොල්ලෝ කියන්නේ නිකම්ම ඔහේ මූණ වැවෙන්නෙ නැතුව රැවුල වැවෙන නිසා වැවෙන්න දීලා ඉන්න හාදයොන්ට නෙවෙයි. ඔය අපිළිවෙල ඉලුක් යායක් වගේ වැවුණු රැවුලක් කොහොමවත් ස්ටයිලිෂ් වෙන්නෙ නැහැනේ. අන්න ඒ නිසා රැවුල වවන එකත් එක්තරා කලාවකට කරන්න ඕන.

හරි දැන් රැවුල වවන්න ගත්තා කියමුකෝ. ඊට පස්සේ ඉතින් ගාණට ට්‍රිම් කරගන්න ඕන කාලෙන් කාලෙට. ඒක කරගන්නේ කොහොමද? එක්කෝ සැලුන් එකකට යන්න ඕන. එක්කෝ නිර්භීතව කතුරකින් තමන්ම හරි ගෙදර කාට හරි කියලා හරි ට්‍රිම් කරගන්න ඕන. එහෙමත් නැතිනම් වඩාත් සාර්ථක විදියට ට්‍රිමර් එකකින් ට්‍රිම් කරගන්න ඕන. අපි මීට කලිනුත් Lifie.lk එකෙන් කියලා තියනවා ස්ටයිල් එකට රැවුල් ට්‍රිම් කරගන්න ට්‍රිමර් එකක් පාවිච්චි කරනවා නම් ඕන කරන උපදෙස් සම්බන්ධව. ඉතින් අද කියලා දෙන්න යන්නේ, ට්‍රිමර් එකක් පාවිච්චි කරලා රැවුල ට්‍රිම් කරන අයට ප්‍රයෝජනවත් තවත් ටිප්ස් කීපයක් ගැන තමයි.

 

1. පීරලා පීරලා පීරලා

මේක අපි කලින් ආටිකල් වලත් කියලා තියෙනවා. රැවුල ට්‍රිම් කරනවා කියලා හිතුණු ගමන් ට්‍රිමර් එක අරගෙන කපාගෙන කපාගෙන ගිහින් හරියන්නෙ නෑ. සමානව, නීට් එකට ට්‍රිම් කරගන්න ට්‍රිමර් එකේ කෝම්බ් එක විතරක් මදි. හොඳට රැවුල පීරගන්නත් ඕන. ඇත්තම කිවුවොත් සාමාන්‍යයෙන් රැවුල වවනකොට දිනපතාම වගේ රැවුල පීරන්න පුළුවන් නම් වඩාත් හොඳ නීට් පෙනුමක් රැවුලට ලබාගන්න පුළුවන්. 

ට්‍රිම් කරන්න කලින් නම් අපි මීට පෙර ආටිකල් එකෙත් කියලා තියෙන විදියට පුළුල් දැති තියෙන පනාවක් අරගෙන රැවුල හොඳින් පීරගන්න ඕන. ඒ කියන්නේ කැරලි ගැහිලා තියෙන රැවුල හොඳට දිග ඇරලා, ගැට ගැහිලා තියෙන රැවුලේ අවුල් කඩලා රැවුල ට්‍රිම් කරන්න පුළුවන් කොලිටියකට ගන්න එක.

 

2. කලාත්මක රැවුලක්

මේක ඉතින් සමානව මුළු මූණෙම රැවුල ට්‍රිම් කරගන්නවට වඩා ටිකක් අමාරු වැඩක්. විශේෂයෙන්ම මෙතනදී හොඳ ඇහැක් තියෙන්න ඕන, රැවුල පීරන පනාව අතේ තියෙන්න ඕන සහ ඉවසිල්ල තියෙන්න ඕන. කරන්න තියෙන්නේ හොඳින් පීරගත්තු රැවුල තමන්ට ඕන ඩිසයින් එකට පනාවෙන් සමානව හදාගනිමින් ට්‍රිම් කරගන්න එක. උදාහරණයක් විදියට අපි කියමු අපිට පහළට යනකොට උල් හැඩේ රැවුලක් ඕන කියලා. මේක හදාගන්න කම්මුල් දෙපැත්තේ රැවුල නම් ට්‍රිමර් එකේ දාලා තියෙන කෝම්බ් සෙටින් එකේ ගාණට කපාගන්න පුළුවන්. හැබැයි පහළට යනකොට එහෙම බෑ. එතකොට ගාණට පනාවෙන් අවශ්‍ය ප්‍රමාණය විතරක් අල්ලලා කපා ගන්න ඕන.

මෙහෙම කලාත්මක රැවුලක් හදාගන්නවා නම්, දහවල් හොඳට එළිය තියෙන වෙලාවක, එළිය තියෙන තැනක ඕක කරන එක තමයි නුවණට හුරු.

 

 

3. වෙනස් සෙටින්ග්ස් පාවිච්චි කරලා?

කලාත්මක රැවුලක් හදාගන්න සමහරු බියර්ඩ් ට්‍රිමර් එකේ තියෙන විවිධ සෙටින්ග්ස් වල කෝම්බ්ස් හරි, විවිධ බ්ලේඩ් දිග ප්‍රමාණයන් සෙටින්ග්ස් හරි පාවිච්චි කරන්නත් හිතනවා. ඇත්තටම ඒක සාර්ථක වෙන්නෙ නෑ කියලා තමයි අපි සැලොන් එකේ අයියගෙන් ඇහුවහම නම් කිව්වේ. හේතුව, වෙනස් බ්ලේඩ් ප්‍රමාණයන්ගෙන් රැවුල ගාණට ආටිස්ටික් විදියට ට්‍රිම් කරගන්න නම් එක්කෝ හොඳ ප්‍රවීණත්වයක් තියෙන්න ඕන. ඊට අමතරව රැවුලේ විවිධ ප්‍රමාණයෙන් කැපිලා තියෙන විවිධ ප්‍රදේශ අතර ගාණට බැලන්ස් කරගන්න කතුරෙන්වත් ෂේප් අප් කරගන්න ඕන. ඉතින් ඔය දේවල් තමන්ට කරන්න ෂුවර් නැතිනම්, ඒවලට නොයා ඉන්න එක තමයි හොඳ.

 

4. අප්සට් ගියොත් සමානව අඩු කරගන්න

බියර්ඩ් ට්‍රිමර් එකකින් මේ වැඩේ කරන එකේ ලොකු වාසියක් තියෙනවා. ඒ තමයි, අපිට උඩින් කියපු විදියට කලාත්මකව වැඩේ කරන්න යන එක ගැස්සුනොත්, ඒත් ඔප්ෂන් එකක් තිබීම. අපි කියමු දෙපැත්තෙන් තුනී වෙලා පහළට එනකොට දිගට තියෙන ස්ටයිල් එකකට රැවුල ට්‍රිමර් එකෙන් හදාගන්න ගිහින් පැත්තක දිග අඩු වුණා කියලා. බිය නොවන්න. කෙලින්ම හැමතැනම සමානව ට්‍රිමර් එකෙන් අල්ලන්න. එතකොට මූණේ රැවුල සමාන මට්ටමකට එයි. ආයෙත් වැවුණහම අපි ආස ස්ටයිල් එක හදාගන්න පුළුවන්. හැබැයි කතුරකින් වගේ කපන්න ගිහින් වරදිනවා කියන්නේ, ආයෙ සමානව රැවුල අඩු කරගන්න පවා බැරි වැරදීමක් වෙන්න තියෙන ඉඩ වැඩියි. ට්‍රිමර් එකකින් එහෙම අවුලක් නොවෙන එක වාසියක්.

 

5. මුස්ටෑෂ්!

රැවුල ට්‍රිම් කරගන්න වැඩේ සමස්තයක් විදියට ගත්තහම, ගොඩක් අයට අමාරු වැඩක් වෙන්නේ මේක. උඩු රැවුලට මොකද්ද කරන්නේ කියන එක. උඩු රැවුල ගැන මොකුත් කරන්න කලින්, හිතලා බලන්න ඕන තමන්ට උඩුරැවුල පවත්වා ගන්න ඕන ස්‍ටයිල් එක මොකද්ද කියන එක. ඒ කියන්නේ උඩු රැවුල හොඳට වවලා, උඩට හරි පහළට හරි කරකවනවාද, චාලි චැප්ලින් කට් එක තියනවද නැතිනම් රැවුල අනික් තැන් වලට සමානවම ට්‍රිම් කරනවද කියන එක. අනික් තැන් වගේම ට්‍රිම් කරනවා නම් ලොකු අවුලක් නෑනේ. ගාණට පීරලා ට්‍රිමර් එක අල්ලන්න තියෙන්නේ. හැබැයි එහෙම නැතුව දිගට වවනවා නම්, ඒත් එහාට මෙහාට දිගට වැවිලා තියෙන රැවුල් ගස්, වැඩිපුර තියෙන රැවුල අඩු කරගන්න ඕන. මේක එක්කෝ හොඳට උඩුරැවුල පහළට පීරලා ට්‍රිමර් එකෙන්ම ප්‍රවේසමෙන් අල්ලන්න පුළුවන්. නැතිනම් පොඩි කතුරකින් කරගන්නත් පුළුවන්. මේක මතක තියාගන්න යට ඉඳන් තමයි කපන්න ඕන කියන එක.

 

6. ලයින් කොහොමද ගහන්නේ?

මේ කියන්නේ ඔය බෙල්ල ඉවර වෙන තැන, කම්මුල් වල රැවුල ඉවර වෙන තැන වගේ තැන් වල හරියට ගාණට රැවුලේ මායිම වෙන් කරගන්න විදිය ගැන. දැන් සැලුන් එකේ නම් ඕක ෂේවර් එකෙන් සැලුන් අයියා ගාණට අඳිනවා. හැබැයි ට්‍රිමර් එකකිනුත් එහෙම පුළුවන්ද? බැරි නෑ. අපිට කරන්න තියෙන්නේ, ට්‍රිමර් එකේ රැවුලේ දිග අඩුම සෙටින් එකට දාලා, අපිට අවශ්‍ය ලයින් එක මුලින් ගහගන්න එක. අපි කියමු නෙක්ලයින් එක කියල. එතකොට රැවුල වැවිලා තියෙන සීමාවෙන් එහාට එහෙන් මෙහෙන් ලාවට, අපිළිවෙලට වැවුණු රැවුල් කොටස වෙන් වෙන්න අපි ට්‍රිමර් එකෙන් වාර කීපෙකට ලයින් එක ගහනවා. ලයින් එක ගහන්නේ හැමවෙලේම පහළට පහළට මිසක් පැත්තට ට්‍රිමර් එක ඇදගෙන ගිහින් නොවෙන බව මතක තියාගන්න. ඒ කියන්නේ රැවුලේ ඕන තැන ඉඳන් රැවුල නැති පැත්තට පහළට ට්‍රිම් කරලා, ඒ විදියටම ට්‍රිමර් බ්ලේඩ් එක ඉවර වෙන තැන ඉඳන් ආයෙමත් පහළට ට්‍රිම් කරලා, ට්‍රිමර් බ්ලේඩ් එක ඉවර වෙන තැන ඉඳන් ආයෙමත් පහළට ට්‍රිම් කරන එක. දැන් එහෙම ලයින් එක සාමාන්‍ය ප්‍රමාණයට පේන්න තියෙනවනේ. ඊලඟට රේසරේ අරන් එතනින් එහාට ෆුල් ෂේව් කරන්න. 

 

7. ඔයිල් පාරකුත් අල්ලමුද?

සාමාන්‍යයෙන් රැවුල වවනවා නම් බියර්ඩ් ඔයිල් එකකුත් ලඟින් තියාගන්න කියලා අපි උපදෙස් දෙනවනේ. ඇත්තටම බියර්ඩ් ඔයිල් එකකින් රැවුලට හොඳ සුවඳක් ගෙන දීම, නීට් ගතියක් ගෙන දීම වගේ දේවලට අමතරව වැදගත්ම වශයෙන් රැවුල හොඳ තෙත් බවකින් පවත්වා ගැනීම සිදුකරනවා. ඒක රැවුලට අවශ්‍යයි. අන්න ඒ නිසා රැවුල ට්‍රිම් කළාට පස්සේ, අමතක නොකර එක පාරක් හෝදලා, තෙත මාත්තු කරලා හොඳට ඔයිල් කරගන්න. බියර්ඩ් ඔයිල් එකෙන් බිංදු කීපයක් අත්ලට අරගෙන, දෙඅත්ල හොඳින් ඔයිල් වලින් තවරගෙන රැවුල හොඳින් මාත්තු කරගන්න එක තමයි කරන්න ඕන. එතකොට ඇතුළේ තියෙන රැවුල් ගස් වල පවා හොඳින් තෙල් ගෑවෙන විදියට රැවුල අතරෛන් ඇඟිලි යවමින් තෙල් ගල්වාගන්න ඕන. එහෙම හොඳට මුල් දක්වාම තෙල් සම්භාහනය කරලා, ආයෙමත් රැවුල හොඳට පීරගන්න.

 

එහෙම පීරනකොට මග ඇරුණු අනවශ්‍ය රැවුල් ගස් තිබ්බොත්, ඒ රැවුල් ගස් වෙනම රැවුල කපන්න පුළුවන් පොඩි කතුරකින් කපා ගන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *