අස්වනු මිල උදෙසා නොනවතින උද්ඝෝෂණ වල යෙදෙන පන්ජාබ් ගොවීන්

ගොවීන්ට රජයෙන් මිලක් නියම කිරීමත් ඒ ගොවි අස්වනු රජයෙන් මිලදී ගැනීමත් කියන්නේ පැරණි සමාජවාදී ගති ලක්ෂණයක්. මේ සමාජවාදී ගති අතෑරලා ඉන්දියානු ගොවීන්ට තමුන් කැමති කෙනෙක්ට අස්වනු විකුණන්න ක්‍රමවේදයක් හදා දෙන්න ඉන්දියාව උත්සාහ කළා. ෆෝබ්ස් සඟරාව කියලා තිබුණ විදිහට මෙය ඉන්දියානු කෘෂි පද්ධතිය වෙළඳපොලට විවෘත කරන දිගුකාලීනව හොඳ වැඩපිළිවෙළක්. ඒත් ඒ සම්බන්ධයෙන් ගොවීන්ගේ පාර්ශවයෙන් දැඩි නොනවතින විරෝධයක් පළ වෙලා තියෙනවා. දැන් ගොවීන් මාස ගාණක් තිස්සේ පාරේ ඉඳගෙන තමුන්ගේ අස්වනු මිලදී ගන්නා ක්‍රමවේදය වෙනස් කිරීම ගැන රජයට සිය විරෝධය පළ කරනවා. 

 

1. ඉන්දියාවේ ගොවිතැන 

ඇමරිකාවේ ගොවිතැන් කරන්නේ ජනගහණයෙන් 4%ක් පමණයි. එහෙත් ඇමරිකානු ආහාර නිෂ්පාදනය ඇමරිකාවට අතිරික්තයක්. මිලියන තුන්සියයකට අධික ඇමරිකානුවන් පෝෂණය කරන ඇමරිකානු ගොවීන් ඉන් පසුව අතිරික්තය අපනයනය කරනවා. ඉන්දියාවේ තත්ත්වය ඊට වඩා වෙනස්. ජනගහණයෙන් 20%කට අධික විශාල ප්‍රමාණයක් ගොවීන්. සික් ජාතිකයින් වාසය කරන පන්ජාබ් පළාත ගතහොත් ඒ පළාතේ ගොවීන් වැඩිපුර ඉන්නවා. තවමත් තාක්ෂණ භාවිතාව සාපේක්ෂව අඩු ඔවුන් පැරණි විදිහට ගොවිතැන් කටයුතු කරනවා. ඉතින් මේ ගොවීන්ගේ අස්වනු මෙතෙක් මිලදී ගත්තේ රජයේ වැඩපිළිවෙළකට. එහිදී රජය මගින් මිල නියම කළා වගේම ඒ මිලට රජයේ නියෝජිතයින් මගින් අස්වනු මිලදී ගත්තා. 

 

2. අලුත් අස්වනු මිලදී ගන්න ක්‍රමවේදය මොකක්ද? 

මුලින්ම යෝජනා වුණු විදිහට අස්වනු මිලදී ගන්න ක්‍රමවේදය වෙනස් කරලා එහි රජයට තිබෙන කාර්යය අඩු කරන්නයි ඉන්දියානු රජය සැලසුම් කළේ. ඒ අනුව මෝඩි රජය කියන විදිහට ගොවීන්ට කෙලින්ම වෙළඳපොලට කිසි අවහිරයකින් තොරව අස්වනු විකුණන්න පුළුවන් වෙනවා. දැනටම මුකේෂ් අම්බානිගේ රිලයන්ස් සහ අදානි ගෲප් කියන සමාගම් දෙක මේ අස්වනු මිලදී ගන්න කාර්යයට සැරසී ඉන්නවා. අලුත් ක්‍රමය හරහා අතරමැදියන් අඩු වටපිටාවක් තුළ ගොවියාට වඩාත් වාසි සැලසෙනවා කියලා රජය කියනවා. එක් පසෙකින් රජය ගොවීන් නඩත්තු කරන්න යොදන ක්‍රියාදාමය අඩුකරගන්න මේ හරහා උත්සාහ කරනවා. එත් ගොවීන් මේ වැඩේට විරුද්ධයි. 

 

3. ඇයි ඒ ගොවීන් විරුද්ධ? 

දැනට පන්ජාබ් පළාතේ සහ ඉන්දියාවේ ඉන්නේ සුළු ගොවීන්. ඔවුන්ට අක්කර සිය ගණනක විශාල ගොවි බිම් නැහැ. ඉතින් මේ ක්‍රමය වාණිජකරණය වෙද්දි සුවිශාල ගොවිපලවල් හිමි අයට වාසි වෙනවා. ඒ වගේම ගොවීන්ගේ අස්වනු ක්‍රම ක්‍රමයෙන් විශාල සමාගම් මගින් මිලදී ගනිද්දි ඔවුන් මිල පහළ දාවි කියල බයකුත් ගොවීන්ට තියෙනවා. ඒ වගේම ඇතැම් විශාල සමාගම් හොඳම අස්වනු කොටස්, ඒ කියන්නේ තත්ත්වයෙන් ඉහළ නිෂ්පාදන පමණක් මිලදී ගනීවිය අනෙක් අස්වනු අපතේ දාන්න වේවිය කියලත් ගොවීන් සැක සංකා පළ කරනවා. කොහොම වුණත් මේ වෙනස්කම් ක්‍රියාත්මක වුණොත් අසරණ වෙන්නේ හුදෙක් ගොවීන් පමණක් නෙමෙයි. මේ උද්ඝෝෂණ පිටුපස විවිධ දේශපාලන කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා කියලා ඉන්දීය අගමැති මෝඩි චෝදනා කරනවා. 

 

4. මොබයිල් ටවර් සහ උද්ඝෝෂණ 

ඉන්දියාවේ තිරිඟු සහ හාල් නිෂ්පාදනය කරන හොඳ පළාතක් තමයි පන්ජාබය. පන්ජාබයේ ගොවීන් මේ උද්ඝෝෂණවල ඉදිරියෙන්ම ඉන්නවා. රිලයන්ස් සමාගමත් මේ අස්වනු මිලදී ගන්න වැඩේ පිටුපස ඉන්නවා කියලා ගොවීන්ට ආරංචි වුනා. ඉන් පස්සේ ඔවුන් රිලයන්ස් ජියෝ සිම්පත් වර්ජනය කළා. එයින් නොනැවතුණු ඔවුන් ජංගම දුරකථන කුළුණු අවහිර කළා. ඒවාට තිබෙන විදුලි සැපයුම අත්හිටෙව්වා. ෆයිබර් කේබල් කපලා දැම්මා. ඒ ගැන මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කරලා නැතත් එසේ හානියට පත් කරපු ටවර් ගාණ 1500ක් කියල වාර්තා වල සඳහන් වෙනවා. 

 

5. නොනවතින උද්ඝෝෂණ 

2020 ජනවාරි මුල වෙද්දි මේ ගොවි විරෝධතා වලට මාස තුනකට වැඩියි. ඔවුන් දිල්ලියේ මහාමාර්ග වල පැළපදියම් වෙලා, පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධතාවය පළ කරනවා. දිල්ලියේ විශාල මාර්ග අවහිර කරලා ඔවුන්ට අවධානය දිනාගන්න එක තමයි ගොවීන්ගේ අරමුණ. ඒ වගේම පන්ජාබ් ප්‍රාන්තයේ සහ උතුරේ ඇතැම් නගරවලත් උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙලා තිබුණා. මේ ගොවීන් තමුන්ගේ විශාල ට්‍රැක්ටර කිලෝමීටර පන් හයසීයක් දුර පදවාගෙන නගරයට ඇවිත්, කෑම උයාගෙන කාගෙන දුෂ්කර තත්ත්වයක ඉඳන් විරෝධතාවයේ නිරත වෙනවා. මෙතැනට ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ දිල්ලියේ මහ ඇමති අර්වින්ද් කේජ්රිවාල්ද එක් වී තිබුණා. උද්ඝෝෂණ නිසාම ඉන්දියානු ආණ්ඩුව තමුන් ඉදිරිපත් කළ යෝජනාවට සංශෝධන ගෙන ආවා. ඒත් ඒ සංශෝධන පිළිගන්න ගොවීන් ලෑස්ති නැහැ. 

 

6. ජාත්‍යන්තරයට ගිය ගොවි උද්ඝෝෂණ 

ඉන්දියාවේ ජනතාව ලොව පුරා සිටිනවා. මේ උද්ඝෝෂණ වල මූලික තැන අරන් ඉන්න සික් ජාතිකයින් පමණක් ලක්ෂ තුනක් පමණ කැනඩාවේ වාසය කරනවා. ඔවුන් දැන් පවුල් පන්සල් වී කැනඩාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය ආදී රටවල වාසය කරනවා. ඒත් ඉන්දියාවේ සිටින ඔවුන්ගේ ළඟ ඥාතීන් ගොවිතැනෙන් ගෙනියන කටුක ජීවිතය ගැන ඔවුන් සංවේදීයි. කැනඩාවේ ඇමරිකාවේ වගේම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, එංගලන්තයේ ලන්ඩන් නුවර වලත් මේ ගොවීන් වෙනුවෙන් උද්ඝෝෂණ පැවැත්වුණා. ඒ වගේම සික් ජාතිකයින් වෙනුවෙන් නිතර පෙනී සිටින කැනඩා ජනාධිපති ජස්ටින් ටෲඩෝ මේ ගොවීන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒත් කැනඩාවේ ඉන්දියානු කොමසාරිස් කාර්යාලය එය ඉන්දියාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවත්, එයට කැනඩාව මැදිහත්වීම උචිත නැති බවත් සඳහන් කර තිබුණා. 

 

7. කොවිඩ් සහ අවහිරතා 

මේ උද්ඝෝෂණ පැවැත්වෙන්නේ ඉන්දියාවේ සීඝ්‍රයෙන් කොවිඩ් පැතිරෙන වටපිටාවක් තුළ. මේ කොරෝනා වටපිටාව නිසා ඉන්දියානු ජනතාව දැඩි අපහසුතාවයට පත් වුණා. ඒ එක්ක රජයට විරෝධී ඕනෑම උද්ඝෝෂණයකට සහාය දක්වන පිරිසකුත් ඉබේම නිර්මාණය වුණා. ගම් නියම්ගම් වලින් නගරයට පැමිණ රැකියා කළ පිරිස් වලට කොවිඩ් වලින් නරක දසාවක් උදා වුණා. ඒ වගේම ඉන්දියාවේ තරුණයින් අතර විරැකියාව වේගයෙන් ඉහළ යනවා. මේ අයහපත් ආර්ථික වටපිටාව සහ අසහනයට පත් පිරිස් නිසා රජයට විරෝධී උද්ඝෝෂණ වේගයෙන් පැතිරී යනවා කියලාත් මතයක් තියෙනවා. 

 

මේ උද්ඝෝෂණ ව්‍යාපාරය දැන් ජාත්‍යන්තරයටත් ගිහින්. ආහාර සපයන ගොවියාට අවැඩක් වෙන්න දෙන්න බැහැය කියලා තමයි විදෙස් රටවල සිටින ඉන්දීය ඥාතීන් ගොවි උද්ඝෝෂණයට සහයෝගය දක්වන්නේ. කොහොම වුණත් නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා සහ රජය මේක පිටිපස්සේ විපක්ෂ දේශපාලකයෝ ඉන්නවාය කියලා චෝදනා කරනවා. දවසක් නගරයට ඇවිත් කෑ ගහලා යනවාට වඩා මාස ගාණක් උයා පිහාගෙන කාලා අගනුවර වීදි වල කටුක ලෙස දිවි ගෙවන ගොවීන් සැබෑ කැපකිරීමක් කරනවා. ඒත් ඒ කැපකිරීම ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් කොහොම බලපාවිද කියන්න තවම කල් වැඩියි. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *