සාමාන්‍යයෙන් අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් ලබන කොට අපි හැමෝගේම හිත් වල ඒ සම්බන්ධයෙන් ඇතිවෙන්නේ බොහොම නැවුම් අදහසක්නේ. ගතවුණු පරණ අවුරුද්දේ කරපු මරිමෝඩ කං, පරණ අවුරුද්දේ සිද්ධ වුණු හිත් රිදීම්, අමනාපකම්, පරණ අවුරුද්දේ වුණු කුජීත වැඩ ඔක්කොම අමතක කරලා, නැවුම් බලාපොරොත්තු එක්ක සාර්ථක අවුරුද්දක්ම වේවා කියන ප්‍රාර්ථනාව පෙරදැරි කරගෙන තමයි අලුත් අවුරුද්ද අපි හැමෝම පිළිගන්නේ. විශේෂයෙන්ම කොරෝනා එක්ක 2020 කුජීත වුණු නිසාම 2021 කියන්නේ සිතුම් පැතුම් ඉෂ්ට වෙන වසරක් වේවා කියන එක තමයි හැම දෙනාගේම ඒකායන ප්‍රාර්ථනාව.
හරි. දැන් ඔය අලුත් අවුරුද්දකට යනකොට ගොඩක් අය අලුත් වෙනසක් සිද්ධ කරගන්න අධිෂ්ඨාන ඇති කරගන්නවනේ. ඔය අධිෂ්ඨාන වලට කියන්නේ නිව් ඉයර් රිසොලුෂන්ස් කියලා. ඒ කියන්නේ මේ අවුරුද්දේ කරනවාමයි කියලා එක් හිත් හිතාගන්න දේවල්. අපි කලිනුත් කියලා තියෙන විදියට ඔය ගොඩක් නිව් ඉයර් රිසොලුෂන්ස් සෑහෙන්න සමානයි. ජිම් ගිහින් අම්මට සිරි වෙන්න ඇඟ හදාගන්නවා, ඉංග්‍රීසි ඉගෙන ගෙන සුද්දන්ටත් කඩ්ඩෙන් කිසි කිසි ගාලා කොටනවා, ගෙදර පිළිවෙලක් ඇතුව තියාගන්නවා වගේ එක එක රිසොලුෂන්ස් තියෙනවා. හැබැයි ඉතින් විද්වතුන් එහෙම කියන්නේ ගොඩක් දෙනාගේ ඔය නිව් ඉයර් රිසොලුෂන්ස් අන්තිමට බාලගිරි දෝසේ ගහලා කල් යනවා කියල තමා.
හරි, එහෙමයි කියලා අපි සැලෙනවද? නෑ. මේ අවුරුද්දෙත් නිව් ඉයර් රිසොල්‍යුෂන්ස් සෙට් එකක් හදාගන්නවා. හැබැයි අපි මේ අවුරුද්දේ ඒවා කොහොම හරි ඉෂ්ට කරගන්නත් අධිෂ්ඨාන කරගන්නවා. දැන් ඔය ජිම් යන එක, ඉංග්‍රීසි ඉගෙන ගන්න එක, හොඳ පුරවැසියෝ වෙන එක වගේ එව්වා කොහොමත් කරන්න පුළුවනිනේ. මේ අවුරුද්දේ අපි තව ආතල් අලුත් අවුරුදු අධිෂ්ඨාන ලිස්ට් එකක් හදාගමුද? ඒ කියන්නේ අපිටත් කොහොම හරි ඉෂ්ට කරන්න ඕන කියලා හිතෙන විදියේ ඒවා ටිකක්?
1. මං මැජික්කාරයෙක් වෙනවා මැජික්කාරයෙක්!
අපි ඉස්සර පුංචි කාලේ මැජික් බලන්න කොයි තරම් ආසයිද? ඒ කාලෙ අපි හිතුවේ ඇත්තටම ඔය කාඩ් ට්‍රික්ස් එහෙම කරන, කාසියක් අතුරුදන් කරලා කණෙන් ගන්න ජාතියේ මැජික් කාරයොන්ට ඇත්තටම මොනව හරි මායා බලයන් එහෙම ඇති කියලා. හැබැයි ඉතින් ලොකුවෙනකොට දැනගත්තා ඒවා ට්‍රික්ස්, ඇස්බැන්දුම් කියලා. හැබැයි ඉතින් එහෙම දැනගත්තා කියලා ඒ වල තියෙන ආකර්ෂණය අඩු වෙලා නැහැනේ. ඉතින් මේ අවුරුද්දේ අපි විනෝදෙටත් එක්ක ඔය මැජික් ට්‍රික්ස් කීපයක් ඉගෙන ගමුද? මැජික් ෂෝ පෙන්නන්න තරම් මැජික් ඉගෙන ගන්න ඕන නෑ. ඒ වුනාට ඔය පාටියකදී එහෙම පොඩි ළමයින්ට විනෝදයක් දෙන්න, ගෑණු ළමයව හරි පිරිමි ළමයව හරි පොඩ්ඩක් මවිත කරවන්න වගේ දේකට ට්‍රික් දෙකතුනක් ඉගෙන ගත්තහම ඇති. මැජික් ට්‍රික්ස් උගන්වන යූටියුබ් චැනල් එහෙම ඕන තරම් තියෙනවා.
2. පරණ තාලෙට ලියුං!
නිකම් හිතලා බලන්න අපි නෑදෑහිතමිත්‍රයෝ එක්ක කොයි තරම් දුරට සම්බන්ධකම් තියාගෙන ඉන්නවද කියලා? ගොඩක් අයගේ කාර්ය බහුල ජීවිතත් එක්ක නෑසියහිතමිත්‍රාදීන් එක්ක තියෙන සම්බන්ධකම් සීමාවෙන්නේ අලුත් අවුරුද්දට, සිංහල අවුරුද්දට, නත්තලට වගේ දවසකට ගන්න ෆෝන් කෝල් එකකට විතරයි. හැබැයි අපිට මේ අවුරුද්දේ බැරිවෙයිද ඊට වඩා පුද්ගලිකව දැනෙන ලෙවල් එකකින් සම්බන්ධකම් පවත්වන්න? ඒකට හරියනම ක්‍රමේ තමයි පරණ තාලේ ලියුං. ඇත්තටම දැන් ලියුම් කියලා අපිට එන්නේ එක්කෝ බිලක් නැතිනම් බැංකුවේ ලියුමක් විතරයිනේ. හැබැයි අපිට මාස දෙකතුනකට සැරයක් හරි නෑදෑයෙක්ට, හිතමිත්‍රයෙක්ට කෙටියෙන් හරි හෘදයාංගමව ලියුමක් ලියලා තැපැල් කරන්න බැරිද? ඒකෙන් ඒ අයට කොයි තරම් සතුටක් ලැබෙයිද? ආන්න ඒ නිසා 2021 දී ඒක කරලා බලන්න හිතාගත්තට කමක් නෑ!
3. අලුත් දෙයක් ඉගෙන ගන්න සතියකට පැය දෙකක්!
සතියකට පැය දෙකක් කියන්නේ ලොකු කාලයක්ද? ඇත්තටම නෑ. අපි දවසකට අඩුම පැය බාගයක්, පැයක්වත් ෆේස්බුක් එකේ ඉන්නවා. ඉතින් ඒ ෆේස්බුක් එකේ සැරිසරන කාලය අඩු කරලා, සතියකට අවම පැය දෙකක් වෙන් කරමුද අලුතෙන් දෙයක් ඉගෙන ගන්න? මේක ඇත්තටම විනෝදෙට කරන දෙයක් වගේ පටන් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි පටන් ගන්නවා කෝඩින් එහෙම නැතිනම් පරිගණක ක්‍රමලේඛන භාෂාවක් ඉගෙන ගන්න. සතියකට අඩුම පැය දෙකක් යොදවලා මාසෙන් මාස්ටර් කෝඩර් කෙනෙක් වෙන්න බෑ තමයි. හැබැයි අවුරුද්ද ඉවර වෙනකොට අඩු තරමින් තමන්ගේම වෙබ්සයිට් එකක් හදාගන්න ප්‍රමාණෙට ඉගෙන ගන්න පුළුවන් වෙයිනේ. නැද්ද? ඒ නැතත් ඇත්තටම අන්තර්ජාලේ නොමිලේම දේවල් ඉගෙන ගන්න තියෙන තැන් අනන්තයි අප්‍රමාණයි. අලුත් භාෂාවක්, අලුත් විෂයක්, අලුත් දක්ෂතාවයක් වගේ සෑහෙන දේවල් ඉගෙන ගන්න තැන් තියෙනවා. විශේෂයෙන්ම අලුත් වෙන ලෝකේට මුහුණ දෙන්නත් එහෙම අමතර දෙයක් ඉගෙනගෙන තියෙන එක ලොකු ප්‍රයෝජනයක් වේවි.
4. සතියට දවසක් අලුත් ඩිෂ් එකක්!
මෙන්න මේක ප්‍රයෝජනවත් නිතර උයන්නේ පිහන්නේ නැති කෙනෙක්ට. ඇත්තටම ගැහැණු වුනත්, පිරිමි වුනත් ඉවුම් පිහුම් කලාව දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත්. ඇත්තටම ඉවුම් පිහුම් කියන එක මානසික ආතතියට එහෙමත් හොඳ ප්‍රතිකර්මයක්. ඉතින් සතියකට දවසක්, එක වේලක් අපිට බැරිද අලුත් කෑමක් හදලා බලනවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගන්න? ඒකෙන් ගෙදර නිතරම උයන කෙනාට පොඩි නිදහසකුත් ලැබෙයි, තමන්ගේ ඉවුම් පිහුම් හැකියාවනුත් දන්නෙම නැතුව දියුණු වෙයි.
5. මාසෙකට එක ට්‍රිප් එකක්!
මේක නම් ගැලපෙන්නේ ඔය සතියකට සැරයක් ට්‍රිප් යන ට්‍රිප් පිස්සොන්ට නෙවෙයි. ඔෆිස් එකෙන් ගෙදරට, ගෙදරින් ඔෆිස් එකට ඇරුණහම නිකමටවත් කොහේවත් යන්නෙ නැති, ට්‍රිප් එකක් කියලා කාලාන්තරේකට සැරයක් කොහේ හරි ගියත් හොටෙල් එකකට වෙලා පැත්ත වැටිලා ඉන්න තාලේ මලකඩ කාපු උන්දැලට තමයි. චැලේන්ජ් එක මේකයි. මාසෙකට එක ට්‍රිප් එකක් යනවා. ඒක දවසේ ට්‍රිප් එකක්, දවස් දෙකේ ට්‍රිප් එකක්, දවස් තුනේ ට්‍රිප් එකක් වෙන්න පුළුවන්. කොහොමත් 2021 අවුරුද්දේ ලෝන්ග් වීකෙන්ඩ් එකක්වත් හැම මාසෙකම වගේ තියෙනවනේ. දැන් මේ ට්‍රිප් එක කියන්නේ හොටෙල් එකකට ගිහින් එක තැනකට වෙලා ඉන්න එක නෙවෙයි. කොහේ හරි ඇවිදින්න, හයික් කරන්න, කෑම්පින්ග්, සර්ෆින්ග්, ඩයිවින්ග්, කයිට් රාෆ්ටින් වගේ මොකක් හරි ඇන්ඩ්වෙන්චර් තාලේ අවුට්ඩෝර් වැඩක්. මේවා කරන්න ගිහින් එක ෆොටෝ එකක් හරි ගන්නත් අමතක කරන්න එපා. හැබැයි මේවා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් දාන්න එපා. අවුරුද්ද අන්තිමට මේ ඔක්කොම එකතු කරලා හොඳ පෝස්ට් එකක් දාන්න පුළුවන්.
6. සෝෂල් ඩිටොක්ස්!
මේක නම් ඇත්තටම දැන් කාලේ ගොඩක් දෙනෙක්ට අත්‍යාවශ්‍ය දෙයක්. නිකමට හිතලා බලන්න අපි දවසකට කොයි තරම් වෙලාවක් ෆේස්බුක් එකේ ඉන්නවද කියලා? ඉන්ස්ටග්‍රෑම් එකේ ඉහළ පහළ යනවද කියලා. ඔහේ පළක් නැතුව චැට් කර කර, කමෙන්ට්ස් කියව කියවා ඉන්නවද කියලා. අපි අන්න ඒ වෙලාව අඩු කරන්න කටයුතු කරමු. උදාහරණයක් විදියට අපි සෝෂල් මීඩියා වලට ටයිමර් එකක් හදාගමු. ඒකට ගැලපෙන ඇප්ස් එහෙම ඕන තරම් තියෙනවා. දැන් එහෙම සෝෂල් මීඩියා වල ගත කරන කාලය සීමා කරලා, ඒකෙන් ඉතුරු වෙන කාලය වැදගත් දේකට යොදාගමු. උදාහරණයක් විදියට අපිට ෆේස්බුක් යන්න ඕනේ කියලා හිතෙනකොට, ඒ වෙනුවට කියවන්න පොතක් අතට ගමු, නැතිනම් ඉගෙන ගන්න දෙයක් තියෙන වෙබ් සයිට් එකකට යමු.
7. කැෆේන් අඩුවෙන්, වතුර වැඩියෙන් චැලේන්ජ්!
මේක ඇත්තටම අපි හිතනවට වඩා අත්‍යාවශ්‍ය දෙයක්. නිකමට හිතලා බලන්න අපිට දවසකට වතුර කොයි තරම් අඩුවෙන්ද පෙවෙන්නේ කියලා. සාමාන්‍යයෙන් කියන්නේ දවසකට අඩු ගාණේ වතුර කෝප්ප 13 ක් වත් ඒ කියන්නේ වතුර ලීටර් තුනක්වත් පිරිමියෙක් බොන්න ඕන කියලා. කාන්තාවකට මීට වඩා පොඩ්ඩක් අඩු වතුර ප්‍රමාණයක් පෙවුනට කමක් නැතිලු. හැබැයි ඉතින් අපි ඕකෙන් තුනෙන් පංගුවක් වත් දවසකට බොනවද කියලා හිතලා බලන්න ඕනේ, නැද්ද? මොකද, වතුර ඇඟට අඩුවෙන් ගැනීම නිසා සෑහෙන්න අනවශ්‍ය ලෙඩ රෝග පහුකාලීනව හෝ ඇතිවෙන්න පුළුවන් වගේම, දවසකට නියම වතුර ප්‍රමාණය බීම නිසා ගොඩක් ලෙඩරෝග අඩු කරගන්නත් පුළුවන් කම ලැබෙනවා. අන්න ඒ නිසා මේ අවුරුද්දේ අධිෂ්ඨාන කරගමු දවසකට නියමිත වතුර ප්‍රමාණය බොනවා කියලා.
8. මිනිමලිස්ම් වලට යොමු වෙමුද?
මිනිමලිස්ම් කිව්වහම කොයිල් වගේ නං, අපි සරලව කියමු, සීමිත සම්පත් ප්‍රමාණයක් එක්ක ජීවත් වෙන, සීමිත දෙවල් ප්‍රමාණයක් එක්ක වැඩි අවකාශයක් නිර්මාණය කරගන්න ආට් එක ඉගෙන ගැනීම කියලා. මෙහෙම කිව්වට ලොකුවට අමුතුවෙන් කරන්න අමාරු දේවල් නෑ. මේ ගැන අපි කලින් කතා කරලත් තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, ඔෆිස් එකේ වුනත් ගෙදර ඔෆිස් එකේ වුනත් මිනිමලිස්ට් පරිසරයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒකෙන් වැඩ කරන කාර්යක්ෂමතාවය වැඩිවෙයි. එතකොට ගෙදර දොර සීමිත බඩු මුට්ටු ප්‍රමාණයක් එක්ක පිළිවෙලට තියාගන්න පුළුවන් නම්, හිතේ නිස්කලංක ගතිය පුදුම විදියට වැඩි වෙයි. තමන්ගේ ඇඳුම් අල්මාරිය කැප්සියුල් වෝඩ් රෝබ් වගේ ක්‍රමයක් පාවිච්චි කරලා සරල කරගන්න පුළුවන් නම්, ඇඳුම් පැළඳුම් සඳහා යන වියදම සහ කාලය අසීමිතව වැඩි වෙයි. ඔන්න ඕක අපිට නව අවුරුදු අධිෂ්ඨානයක් විදියට හරව ගන්න බැරිද හා?
දැන් මේ හැම දෙයක්ම එක්ක අපි එදිනෙදා ව්‍යායාම කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු වගේ දේවලුත් කරගෙන යන්නම ඕන. ඒවා ඇත්තටම නිව් ඉයර් රිසොල්‍යුෂන්ස් නෙවෙයි, අනිවාර්ය ජීවන පුරුදු. ඒවා ඒ විදියටම දිනපතා පිළිපදිනවා කියලා එක් හිත් හිතාගන්න එක නම් හොඳ නව අවුරුදු අධිෂ්ඨානයක් වෙයි.
Leave a Reply