2020 අවුරුද්දේ වුණු හොඳ දේවල්

අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් තමන්ගේ ජීවිත කාලය තුළ ලබපු නරකම අවුරුද්ද මොකද්ද කියලා බොහෝවිට උත්තරය විදිහට ලැබෙන්නේ 2020. කොරෝනා වසංගතය පෙර කිසිම ව්‍යසනයකටත් වඩා එහා ගිහින් මානව වර්ගයාට අභියෝග එල්ල කළා. මේ කොහොම වුණත් කොයිතරම් කළු වළාකුළක වුණත් රිදී රේඛා තියෙනවා. මේ නිසා අපි හිතුවා 2020 වසරේ සිද්ධ වුණු හොඳ දේවල් කීපයක් ගැන ඔබේ අවධානය යොමු කරන්න.

 

1. Space X ව්‍යාපෘතිය 

අභ්‍යවකාශය ජය ගැනීම වෙනුවෙන් මිනිසා තුළ පවතිනා නොසන්සිඳෙන ආශාව ජය ගැනීමේ තවත් එක් කඩඉමක් 2020 වර්ෂය තුළ සිදු වුණා. ඒ ඉලෝන් මස්ක් විසින් නිර්මාණය කරන ලද රොකට් නෞකාව (Rocket Ship) මගින් තවත් ඇමරිකානුවන් දෙදෙනෙකු අභ්‍යාවකාශගත කිරීමයි. Space X ව්‍යාපෘති අදටත් වඩා හෙට දිනයේ දී වැදගත් වනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා 

 

2. ජ්‍යෙෂ්ඨයන් කෝවිඩ්වලින් බේරීම

දෙවැනි ලෝක යුද සමයේ සේවය කළ සොල්දාදුවෙක් වූ වයස අවුරුදු එකසිය තුනක් වයසැති මේජර් ලී වූටන් කොවිඩ්  රෝගය වැළඳීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා  සුවය ලැබීම මෙන්ම 102 හැවිරිදි ඇන්ජලීනා ෆ්‍රෙයිඩ්මානුත් එලෙසම සුවය ලැබීම මුළු ලොව පුරා කතාබහට ලක්වන මාතෘකාවක් වුණා. කොවිඩ් වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් ඕනෑම වයසක සිටින පුද්ගලයෙකු සතු බව ඔවුන් ඔප්පු කළා.

 

3. කාබන් විමෝචනය අඩුම අගයක් ගැනීම 

මිනිසා විසින් පරිසරයට සිදු කර ඇති හානිය පිළිබඳව නැවත සිතා බැලීමට අවස්ථාවක් කොවිඩ් ගැටළුව හරහා උදාකර දෙනු ලැබුවා. විශේෂයෙන්ම පරිසරය කෙරෙහි මිනිසා විසින් එල්ල කර ඇති තර්ජනය පිළිබඳව දෑස් පනාපිටම උදාහරණ මිනිසාට ලැබුණා. ඒ නිසා අනාගතයේදී මිනිසා පරිසරය පිළිබඳව මීටත් වඩා සංවේදීව සිතා බලනු ඇතැයි පරිසර විද්‍යාඥයන් විශ්වාසය පළ කරනවා. එසේම කාබන් විමෝචනය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඕසෝන් වියන යථාවත් වෙමින් පවතිනවා.

 

4. ස්කොට්ලන්ත කාන්තාවන්ගේ ජයග්‍රහණය

රටේ සෑම කාන්තාවකටම සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා දෙන ප්‍රථම රට බවට ස්කොට්ලන්තය පත්වුණා. ස්කොට්ලන්තය මගින් ඒ ලබාදුන් උදාහරණය අනාගතයේ දී බොහෝ රටවල් විසින් අනුගමනය කරනු ඇතැයි අපිට හිතන්න පුළුවන්. ලංකාවේත් මේ වන විට සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳව කතාබහට ලක්වෙමින් පවතිනවා. මෙය අතිශයින්ම සුභවාදී තත්ත්වයක් බව කිව යුතුයි.

 

5. අප්‍රිකාව පෝලියෝ රෝගය තුරන් කිරීම

සියවස් ගණනාවක් පුරා අඳුරු මහද්වීපය ලෙස හංවඩු ගසා තිබූ අප්‍රිකාව දෙසින් පසුගිය වසරේ අතිශයින් සතුටුදායක පුවතක් වාර්තා වුණා. ඒ ලෝකයේ රටවල් වැඩිම ගණනක එකතුවක් සහිත මහද්වීපයක් වන අප්‍රිකාව පෝලියෝ රෝගය තුරන් කිරීමේ පුවතයි. නූගත්කම, ගෝත්‍රික යුද්ධ, බඩගින්න, වසංගත ආදී දහසකුත් දුෂ්කරතා මධ්‍යයේ මෙම සියළු අප්‍රිකානු රටවල් තමන් මුහුණදුන්  ප්‍රධානම සෞඛ්‍ය ගැටළුවක් මේ ආකාරයට මුලිනුපුටා දැමීමට සමත් වීම ඔවුන් ලැබූ ජයග්‍රහණයක් පමණක් නොව සමස්ත මානව සංහතියම ලැබූ ජයග්‍රහණයක්.

 

6. නිර්මාංශ වීම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවීම

කොරෝනා රෝගයේ ආරම්භය වූහාන් නගරයේ මස් වෙළඳසැල් වලින් ඇතිවූ බවට වාර්තාවීමත් සමගම ලෝකය තුළ නිර්මාංශ වීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවතිනවා. මේ නිසා අනාගතයේදී බොහෝ සතුන්ට අභයදාන හිමිවීම් පමණක් නොව කෘත්‍රීම මස් මාංශ ආදිය  නිෂ්පාදන කිරීමේ පර්යේෂණ කටයුතු කිරීම සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් සුවිශාල අවධානයක් යොමුව පවතිනවා. මෙය අතිශයින්ම සුභදායක තත්ත්වයක්.

 

7. පවුල් අතර සබඳතාවන් වැඩි දියුණු වීම

 

කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස  මිනිස් වර්ගයාට සිදු වූ විශේෂම යහපත වන්නේ පවුල් අතර සම්බන්ධතාවයන් දියුණු වීමයි. මෙතෙක් කලක් පරිභෝජනවාදයේ ප්‍රතිඵලයක් ලෙස එකිනෙකා සමගින් වෙන් වෙමින්, බිඳ වැටෙමින් තිබූ පවුල් සංස්ථා එකට එක්කිරීමට කොරෝනා වසංගතය සමත්වුණා. නමුත් අවාසනාවකට කරුණ වන්නේ මෙම පරිසරය තුළ පවා ඇතැම් පිරිස් සමාජ ජාලා මාධ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමයි.

 

අපි සඳහන් කරපු කාරණා වලට අනුව ඔබේ ජීවිතයේත් 2020 වසර තුල සිදුවුණු හොඳ දේවල් ඇති. ඒ පිළිබඳව කමෙන්ට් එකකින් අපිව දැනුවත් කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න ඔබ අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *