කොරෝනා නිසා ලෝකෙට සිද්ධ වුණු හොඳ දේවල් මේවා තමයි

මේ අවුරුද්දේ අපි වැඩිපුරම කතා කරපු මාතෘකාව මොකද්ද කියලා ඇහුවොත් ආයෙ දෙකක් තුනක් නෑ කොරෝනා තමයි. කොරෝනා කියලා පොදුවේ කිව්වට ඇත්තටම කොවිඩ්-19. දැන් ඔය කොරෝනා සීන් එක ආයෙ අම්මා මුත්තා කාලෙවත් අපිට දකින්න නොලැබුණු අන්දමේ වසංගතයක් නෙව. ආයෙ අපි හිතුවද නිකං මුළු ලෝකෙම මඤ්ඤං කරලා, ආර්ථිකේ අරව මේවා ෆ්ලැට් කරලා, ජන ජීවිත උඩුයටිකුරු කරලා, ලෝකේ වැඩි හරියක් නිකං කොරන්ටයින් දාලා, කර්ෆියු දාලා තියන්න පුළුවන්, සම්පූර්ණ අවුරුද්දක්ම නාස්ති කරලා දාන්න පුළුවන් ජාතියේ ලෝක මට්ටමේ වසංගතයක් අපිට දකින්න ලැබෙයි කියලා. නෑනේ. ඉතින් ඇත්තටම මේක නිසා අපේ ජීවිත ආයෙ හරවන්න බැරි විදියට වෙනස් වුණා කිවුවොත් හරි. 

ඇත්තටම කොරෝනා නිසා අපිට නැති වුණු දේවල් බොහෝමයි. ඒත් අපිට කොරෝනා එක්ක ලැබුණු දේවලුත් නැද්ද? ඒ කියන්නේ ඔය අත් හෝදන පුරුදු වගේ එව්වා නෙවෙයි. ඊට එහා ගියපු තව දේවල් අපිට ලැබිලා නැද්ද? අන්න ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න අපි හිතුවා.

 

1. වර්ක් ෆ්‍රොම් හෝම්

ගෙදර ඉඳන් වැඩ කරන එක වුනත් වැඩ තමයි කියලා ගොඩක් අය තේරුම් ගත්ත එක, කොරෝනා නිසා සිද්ධ වුණු හොඳ දෙයක් ඇත්තටම. විශේෂයෙන්ම ගොඩක් ඔෆිස් වල විශ්වාස කරගෙන හිටපු දෙයක් තමයි, වැඩ කරන එකා ඔෆිස් එකේ පැය අට ඉන්නෙ නැතිනම් ඒක වැඩ කරනවා කියලා හිතන්න බැහැයි කියන එක. ඕක වැඩ කරන මනුස්සයොත් හිතාගෙන හිටපු දෙයක්. හැබැයි ගෙදර ඉඳන් වැඩ කරනකොටත්, හරියට වැඩ ටික සිද්ධ වෙනවද කියලා වැඩ කරන අයට සහ වැඩ අධීක්ෂකයන්ට කියන දෙපැත්තටම ට්‍රැක් කරගන්න ටූල්ස් පාවිච්චි කරලා, ඔන්ලයින් වැඩ කරන්න, සම්බන්ධ වෙන්න තියෙන ටූල්ස් පාවිච්චි කරලා ගොඩක් කාර්යාල කටයුතු ඉෂ්ට කරගන්න පුළුවන් කියලා ගොඩක් දෙනෙක් තේරුම් ගත්තු එකම ලොකු ජයග්‍රහණයක්.

මේක ඇත්තටම හැම රැකියාවකටම ප්‍රායෝගිකව අදාළ කරගන්න බැහැ තමයි. එතකොට සම්පූර්ණයෙන්ම ඔෆිස් එකකින් තොරව වැඩේ ගොඩදාගන්න එකත් අමාරු වෙන්න පුළුවන් තමයි. හැබැයි ඒත් යම් ප්‍රතිශතයකින් හරි දිගටම මේ අලුත් වර්ක් ෆ්‍රොම් හෝම් සංස්කෘතිය පැවතීමෙන්, ඔෆිස් පරිශ්‍රයන් නඩත්තුවට යන වියදම පවා සාපේක්ෂව අඩු වෙයි.

 

2. ඔන්ලයින් බඩු ඕඩර්

කොරෝනා එනකල් ඔය ඔන්ලයින් බඩු මුට්ටු ගන්න එක වගේ දේවලට මිනිස්සුන්ගේ තිබ්බේ සැකයක්. ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවලා බඩුත් නැතුව සල්ලිත් නැතුව යයිද වගේ සැකස​ංකාවන් එක්ක මිනිස්සු කඩේට ගිහින් බඩුව අතට අරන් සල්ලි ගෙවන කල්චර් එකටම තමයි ගොඩක් වෙලාවට හුරු වෙලා හිටියේ. දැන් ඔය කෑෂ් ඔන් ඩිලිවරි නැතිනම් බඩු අතට ආවහම සල්ලි ගෙවන ක්‍රමය හඳුන්වලා දුන්නත්, ඒ ඔන්ලයින් බඩු ඕඩර් කරන්න මිනිස්සුන්ගේ තියෙන චකිතය සම්පූර්ණයෙන්ම නැති වුණේ නෑ.

හැබැයි කොරෝනා ආවත් හරි, ගොඩක් තැන්වලදී මිනිස්සුන්ට වෙන විකල්පයක් නැති වුණා. ඔන්ලයින් බඩු විකුණන අයටත් තරගකාරීත්වය ඉහළ යෑම නිසා සාධාරණව සහ අවංකව සේවාව ලබාදෙන්න සිද්ධ වුනා. කොරෝනා නැති වුණාට පස්සේ වුනත් මේ ඔන්ලයින් බඩු විකුණන ගොඩක් තැන් ඒ විදියටම තියෙයි කියලා අපි හිතනවා. මොකද, ඒක මිලදී ගන්නාටත් විකුණන්නාටත් වඩාත් පහසු ක්‍රමයක් නිසා.

 

3. ඔන්ලයින් ඉගෙන ගැනීම

මතකයිනේ එක ආණ්ඩුවක් ළමයින්ට ටැබ් දෙන්න ගිහිල්ලා වෙච්ච වින්නැහිය. ඇත්තටම මේ ඔන්ලයින් ඉගෙන ගන්නවා කියන එක වෙන රටවලට අරුමයක් නෙවෙයි. ලංකාවේ වුනත් ඔය නාවල විවෘත විශ්වවිද්‍යාලය එහෙම පාර්ශ්විකව හරි බොහොම සාර්ථකව කරගෙන යන දෙයක් ඊ-ලර්නින් කියන්නේ. හැබැයි ඉතින් කොරෝනා එක්ක පාසල්, විශ්වවිද්‍යාල වහන්න සිද්ධ වුණා. හැබැයි එහෙමයි කියලා ඉගෙනුම් කටයුතු නොකර අරින්නද? හැමෝටම පොඩි ස්මාට්ෆෝන් එකකින් හරි ඔන්ලයින් ඉගෙනුම් සිද්ධ කරන්න වුනා. ඒකට ළමයි වගේම ගුරුවරුත් අනුගත වුණා. කොහොම කොහොම හරි ළමයින් අතට ටැබ් දීලා තිබුණා නම්, මේ දැන් කාලේ සිද්ධ වෙන ඔන්ලයින් ඉගෙන ගැනීම කියන දේ සම්පත් විෂමතාවය එක්ක හැමෝටම කරන්න බැහැයි කියන ගැටළුව පවා විසඳිලා තියෙන්න තිබුණා. 

කොහොම වුනත් දැන් සමහර ශ්‍රී ලාංකික සරසවි පවා හිතමින් ඉන්නවලු, විශ්වවිද්‍යාල පටන් ගත්තට පස්සේ වුනත් සමහර ඩිප්ලෝමා හරි ඔන්ලයින්ම පවත්වන්න. ඒකත් එක ඉදිරි පියවරක්.

 

4. යම් තාක් දුරකට අඩු වෙන කාබන් විමෝචනය

මේක ඉතින් ඔය කොරෝනා ආපු, ලොක් ඩවුන්, ඇඳිරි නීතිය පනවපු මුල් කාල වල කට්ටිය කවි සිලෝ ලියමින් පට්ට ගහපු මාතෘකාවක්. ඒ කියන්නේ එළිමහනේ සිද්ධ වෙන මිනිස් ක්‍රියාකාරකම් නැවතුණු නිසා සොබාදහම් අම්මා සුවපත් වෙලා වගේ සීන් එකක්. ඔය මහා ටවුන් මැද්දෙන් මුවෝ, පෙන්ගුයින්ලා ඇවිදගෙන යන ෆොටෝ පවා ෂෙයාර් වුණා.

මෙහෙමයි, ඒ ෆොටෝ එඩිට්. ඔය කවි සිලෝ ලියපු ගොඩක් දෙනෙක් නොදන්න කාරණාව තමයි, මේ මාසෙකට දෙහෙකට ලෝකේ කාබන් විමෝචනය පහත වැටුණා කියලා සොබාදහම කෙලින්ම විකසිත වෙලා, ඕසෝන වියන රෙපයාර් වෙලා මේ ලෝකේ නිල් කැටේ වෙන්නෙ නැහැයි කියන එක. ඒක සැලකිය යුතු කාලයක් ගත වෙන ක්‍රියාවලියක්.

හැබැයි, හිතන්න දැන් ගොඩක් දෙනෙක් මේ නව සාමාන්‍යකරණයට ස්ථිරවම හුරු වීම ගැන. ඒ කියන්නේ ඔය උඩින් කියපු කාරණා එක්ක ගොඩක් දෙනෙක් අනවශ්‍ය විදියට බාහිර ක්‍රියාකාරකම් වල යෙදීම අඩු කරන එකෙන් ඇත්තටම කාබන් විමෝචනයේ අඩුවක් වෙන්න ඉඩ තියෙනවා. පරිසරයට මිනිසාගෙන් පැමිණෙන හානියේ යම් කිසි හෝ අඩුවක් වෙන්න පුළුවන් වෙනවා. ඒකත් එක පියවරක්නේ.

 

5. ප්ලෑන් බී, ප්ලෑන් සී

කොරෝනා එක්ක ගොඩක් අයට රස්සා නැති වුණා. සමහරුන්ට පඩි බාගෙට එහෙම යන්න සිද්ධ වුනා. කොටින්ම කියනවා නම්, තියෙන රස්සාවක් නාකි බල්ලෝ කොළඹ යනවා වගේ කරගෙන ඔහේ ජීවත් වුණු මිනිස්සුන්ට තමන් ඇත්තටම කරන්නේ මොනවද කියලා හිතන්න සිද්ධ කරවපු දෙයක් විදියට කොරෝනා නම් කරන්න පුළුවන්.

දැක්කේ නැද්ද මිනිස්සු ලොකු ලොකු වාහන පාරවල් අයිනේ නවත්තලා, ඒවල පිටිපස්සේ තියාගෙන පොල් කරවල විකුණනවා? ඇත්තටම ඒක හොඳ තත්ත්​වයක් මිසක් කණගාටුදායක තත්ත්​වයක් නෙවෙයි. මිනිස්සු කරන්නන් වාලේ ඔහේ රස්සා කර කර ඉන්නවට වඩා තමන්ට ආදායම් අතින්, වෘත්තිමය වශයෙන් ප්ලෑන් බී එකක්, ප්ලෑන් සී එකක් එහෙම තියෙන්න ඕන කියලා හිතන්න ගත්තු එකම ලොකු දෙයක්. ඒ ගැන හිතන්නත් ඉතින් කොරෝනා එ​නකල්ම ඉන්න වුනා!

 

6. වැඩකට ඇති විනෝදාංශ

අද කාලේ ගොඩක් දෙනෙක්ගේ විනෝදාංශය නිදාගැනීම නැතිනම් ටීවී බැලීමනේ. හැබැයි මේ කොවිඩ්-19 ආවට පස්සේ ගොඩක් අය නමට හරි ටිකක් පලක් ඇති විනෝදාංශ වෙත එහෙමත් යොමු වුණා කියන එක බොරුවක් නෙවෙයි. සමහරු “අපි වවමු, රට හදමු” වගේ ප්‍රොජෙක්ට්ස් පටන් ගන්නකොට, තවත් සමහරු “ගෙදරම පෙරමු” වගේ ප්‍රොජෙක්ට්ස් එහෙමත් පටන් අරගෙන තිබුණා. ඒ කොහොම වුනත් ගොඩක් දෙනෙක් තමන්ට ගෙදර ඉන්න තියෙන කාලය වැඩිවීමත් එක්ක වඩාත් ඵලදායී විනෝදාංශ වලට එහෙම යොමු වුණාය කියන එක බොරුවක් නෙවෙයි. ඒවා ඉතින් දිගින් දිගටම මිනිස්සු පවත්වා ගෙන යන්න හිතනවා නම්, ඇත්තටම ඒක කොරෝනා නිසා සිද්ධ වුණු හොඳ දෙයක්. 

 

7. පවුලේ එකතුව

ගොඩක් දෙනෙක්ට අද කාලේ තියෙන්නේ කාර්ය බහුල ජීවිත. ගොඩක් අය වැඩට යනවා, ගෙදර එනවා, කනවා, බොනවා, ටීවී බලනවා, නිදාගන්නවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැති තරම්. හැබැයි ඇත්තටම මේ කොරෝනා කාලේ නිසා වැඩිදෙනෙක්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගෙදර ඉන්න සිද්ධ වුණා. ඒක ටික දවසක් යනකොට පුදුමාකාර කරදරයක් කියලත් දැනෙන්න ඇති සමහරුන්ට. විශේෂයෙන්ම ගෙදරදොර සාමාජිකයෝ හැමෝම එකට ඉන්නකොට තියෙන කචල් එහෙමත් වැඩි වෙනවනේ. හැබැයි දීර්ඝ කාලීනව බැලුවහම ඒකෙන් එක්තරා විදියකට හොඳකුත් වුනා කියලා අපිට පිළිගන්න වෙනවා. ඒ කියන්නේ ගොඩක් දෙනෙක්ට යම් විදියකට අර පවුලේ එකතුව කියන එක ආයෙමත් ඇති කරගන්න මේක හොඳ අවස්ථාවක් වුණා.

 

8. ජීවිත වල ආකෘතියේ වෙනසක්

දැන් ඔය උඩින් කියපු හැම දෙයක්ම එක්ක, මීනිස්සුන්ට හිතන්නවත් විවේකයක් නැතුව නොනවත්වාම හැල්මේ දුවපු ජීවිතේ පොඩි බ්‍රේක් එකක් ගන්න ඉඩක් කොරෝනා ලබාදුන්නා කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. හරි. කොරෝනා නිසා අහිමි වුණු දේවල් බොහෝමයි තමයි. හැබැයි අපි මෙච්චර කාලයක් ඇත්තටම ජීවත් වුණාද, ජීවත් වෙනවා කියන්නේ මොකද්ද වගේ ප්‍රශ්න දිහා බලන්න, අඩු ගාණේ ඒ හින්දා තමන්ගේ කතුරු ඔංචිල්ලා ජීවිත වල යම් කිසි ප්‍රමාණයක හෝ ඵලදායී වෙනසක් ඇති කරගන්න මිනිස්සුන්ව පොළඹවපු අවුරුද්දක් කියලා 2020 හඳුන්වන්න පුළුවන්. ඒකත් කොරෝනා වලට පිංසිද්ධ වෙන්න තමයි.

 

දැන් එහෙම ඔහේ දුවන ජීවිත වල ආකෘතියේ ධනාත්මක වෙනසක් සිද්ධ කරගත්තා නම්, ඒ වෙනස කොරෝනා ඉවර වුණාට පස්සෙත් තියාගන්නවාද කියන එක ඉතින් තමතමන්ගේ වගකීමක්!