යකඩ ගැහැණිය – මාග්‍රට් තැචර්ගේ ජීවිතය ගැන දැනගනිමු

ලංකාවට  සර්වජන ඡන්ද බලය ලබා දුන්නේ මහා බ්‍රිතාන්‍ය විසින්. හැබැයි අපි සර්වජන ඡන්ද බලය ලබාගෙන දශක කීපයක් යන්නටත් කලින් ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය තෝරාපත් කර ගැනීමට සමත් වුණා. මහා බ්‍රිතාන්‍යයට ඊට දශක එකහමාරකට විතර වගේ පස්සේ තමයි පළමු වරට අග්‍රාමාත්‍යවරියක් පත් කරගන්න අවස්ථාව ලැබුණේ. මේ කාන්තාවෝ දෙන්නගෙම සමානකම් වගේම අති දැවැන්ත වෙනස්කම් තියෙනවා. උදාහරණයක් විදිහට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමාජවාදී අදහස් කෙරෙහි යම් නැඹුරුවක් දක්වපු කාන්තාවක් වුණත් මාග්‍රට් තැචර් මැතිනිය සමාජවාදී විරෝධී දැඩි දක්ෂිණාංශික අදහස් දරන තැනැත්තියක්. ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ සැමියාගේ මරණයත් එක්ක. නමුත් මාග්‍රට් තැචර් මැතිනියගේ පවුලේ දේශපාලන වටපිටාවක් තිබුණේ නැහැ. දේශපාලන ලෝකයේ කෙමෙන් කෙමෙන් තමයි ඇය ඉහළට ආවේ. Lifie අපේ මේ සටහන වෙන්වෙන්නේ මාග්‍රට් තැචර් මැතිනිය වෙනුවෙන්.

 

1. බාල කාලය 

1925 ඔක්තෝබර් 13 වන දින උපන් ඇයව මාග්‍රට් හිල්ඩා රොබර්ට්ස් ලෙස දෙමව්පියන් විසින් නම් කරනු ලැබුවා. ඇයගේ පියා දුම්කොළ සහ සිල්ලර බඩු වෙළෙන්දකු වූ අතර මව ගෘහණියක් වුණා. පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක වූ ඇය පාසල් අවසන් වසර වනවිට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුරද හොබවනු ලැබුවා. රසායන විද්‍යාව කෙරෙහි දැඩි කැමැත්තක් දැක්වූ ඇය සිය උසස් අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ්  විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර, 1947 දෙවැනි පන්තියේ ගෞරව උපාධියක් ලබා ගැනීමට සමත් වුණා. කුඩා කල පටන්ම දේශපාලනය කෙරෙහි උනන්දු වූ ඇය කොන්සවේටිව් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනු ලැබුවා.

 

2. ඇගේ ජීවිතයේ සෙවනැල්ල 

මාග්‍රට් තැචර් ගේ මුල් කාලීන දේශපාලන ජීවිතයේ පරාජයට පත් වූ පාර්ලිමේන්තු මැතිවරණයකදී ඇයට සිය ජීවන සහකරුවා මුණගැසුණා. ඔහු ඩෙනිස් තැචර්. ඒ වන විට පළමු විවාහයේ අමිහිරි මතක සමඟ තනිව සිටි ඩෙනිස් තැචර්, මාග්‍රට් හිල්ඩා රොබර්ට්ස්ව 1949 දී විවාහ කර ගනු ලැබුවා. 1953 දී ඔවුන් දෙදෙනාට නිවුන් දරුවන් ලැබුණු අතර එකිනෙකාව තේරුම් ගැනීමට ඔවුන් දෙදෙනාටම තිබූ හැකියාව නිසා සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට ඔවුන් දෙදෙනා සමත් වුණා. කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවල මාග්‍රට්ගේ දේශපාලන කාර්ය බහුලත්වය නිසා ඩෙනිස් හට ආතතියට පවා මුහුණ දීමට සිදුවුණා.

 

3. මුල් කාලීන දේශපාලන ජීවිතය 

වතාවන් දෙකක දී පමණ මහමැතිවරණයට ඉදිරිපත් වී පරාජය වුවත් මාග්‍රට් තැචර් තම අධිෂ්ඨානය අත්හැර ගත්තේ නැහැ. 1959 දී මහා බ්‍රිතාන්‍යයේ පහළ මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වීමට ඇය සමත් වූ අතර පක්ෂය තුළ ඇය ජනප්‍රිය තැනැත්තියක් බවට පත්වුණා.1975දී ඇය පක්ෂ නායක නිලවරණයකදී හිටපු නායක එඩ්වඩ් හීත් පරාජය කිරීමට සමත් වූ අතර ඉන්පසු කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට  මෙන්ම විපක්ෂනායක ධුරයට තේරී පත් වුණා.

 

4. අගමැතිවරිය

1979 මහමැතිවරණයෙන් අති දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට සමත් වූ ඇය මහා බ්‍රිතාන්‍ය ආර්ථිකය පූර්ණ ප්‍රතිසංවිධානයට ලක් කිරීමට සමත් වුණා. ආර්ථිකය තුළ පැවති සමාජවාදී නැඹුරුතා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ඇය පියවර ගනු ලැබුවා. ආජන්ටිනානු රජය විසින් ෆෝක්ලන්ත දූපත් ආක්‍රමණය කළ අවස්ථාවේදී  ආජන්ටිනාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනු ලැබුවේ කිසිදු රටක් බලාපොරොත්තු නොවුණු අවස්ථාවකදීයි. එම යුද්ධය ඇය ජයග්‍රහණය කළ අතර  එමගින් මහා බ්‍රිතාන්‍ය තුළ ජාතිකාභිමානී හැඟීම් වර්ධනය වුණා. උතුරු අයර්ලන්ත අර්බුදය පිළිබඳවත් ඇය විසින් දරන ලද්දේ යම්තාක් දුරකට දැඩි මතයක්. ත්‍රස්තවාදී ක්‍රියා වැඩිවීමට ඇගේ මේ දැඩි ක්‍රියා කලාපයත් එක් හේතුවක් වුණා.

 

5. අගමැති ධූරයෙන් ඉවත් වීම 

1989 වසර වන විට දැඩි ආර්ථික ප්‍රතිපත්ති නිසා මාග්‍රට් තැචර්ගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහළ යමින් තිබූ අතර පසුපෙළ මන්ත්‍රීවරයෙකු මාග්‍රට් තැචර්ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරනු ලැබුවා. ඉන් ජයග්‍රහණය කළත් විදේශ ලේකම්වරයා ඉවත් කිරීමට ඇය තීරණය කිරීමත් සමඟම යළිත් ඇයගේ නායකත්වයට එරෙහිව අභියෝග එල්ල වනු ලැබුවා. නායකත්වය ලබා ගැනීමට අදාළ වන  15% බහුතරය ඇයට ලබා ගැනීමට නොහැකි වූ විට අදාළ අඩු ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට යළි තරඟ කිරීමට ඇය සිතුවත්, පසුව අගමැති ධූරයෙන් ඉවත් වීමට තීරණය කළා. පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධූරය ජෝන් මේජර් හට හිමිවූ අතර 1992 මහ මැතිවරණයෙන්ද කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කරනු ලැබුවා. 1990 සිට 1992 දක්වා කාලසීමාව තුළ  පහළ මන්ත්‍රී මණ්ඩලයේ පසුපෙළ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ ඇය 1992න් පසුව විශ්‍රාම ගැනීමට උත්සාහ කළත් ඇයව ඉහළ මන්ත්‍රී මණ්ඩලයට පත් කරනු ලැබුවා 

 

6. අවසන් සමය සහ මරණය

සිය ජීවිතයේ අවසන් දශකය තුළ සතුරන්ගේත් මිතුරන්ගේත් ගෞරවය දිනා ගැනීමට ඇය සමත් වුණා. එංගලන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී  මණ්ඩලයේ ඇගේ පිළිරුවක් නිරාවරණය වූ අතර නොම්බර 10 ඩවුනිං වීදිය යන ලිපිනයේ පිහිටි අගමැති නිල නිවසෙහි ඇගේ ආලේඛ්‍ය චිත්‍රයක් ප්‍රදර්ශනය කරමින් ඇයට ගෞරව දැක්වුණා. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තුළ අගමැතිවරයෙකු ජීවතුන් අතර සිටියදී මෙවැනි ගෞරවයක් ලැබෙන්නේ ඉතා අල්ප වශයෙන්.

ජීවිතයේ අවසන් සමයේදී ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වුණු ඇය 2013 අප්‍රේල් 08 වන දා මිය යන විට හැත්තෑ නමවන වියේ පසුවුණා. වින්ස්ටන් චර්චිල්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය රැජින සහභාගී වූ එකම අග්‍රාමාත්‍ය අවමංගල්‍ය උත්සවය ලෙස සැලකෙන්නේ තැචර්ගේ අවමංගල්‍යයයි. ශාන්ත පාවුළු දේවස්ථානයේ පැවති ඇගේ අවමංගල්‍ය මෙහෙය සඳහා ලොවපුරා රටවල් රැසක නියෝජිතයන් සහභාගී වුණා.

 

7. ප්‍රේමදාස සහ මාග්‍රට් තැචර් 

1979 වසරේ ලුසාකා නුවර පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගි වූයේ අගමැති රණසිංහ ප්‍රේමදාස මහතායි. එහිදී ඔහුට එක් අභියෝගයක් තිබ්බා. ඒ තමයි වික්ටෝරියා ජලාශය සඳහා බ්‍රිතාන්‍ය ආධාර ලබාගැනීමට අදාළව තැචර් මැතිනියගේ අනුමැතිය ලබාගැනීම. අවසානයේදී එතුමා තැචර් මැතිනිය සහ ඇයගේ ස්වාමියා සඳහා දිවා භෝජන සංග්‍රහයක් පවත්වලා ඇගේ අනුමැතිය ලබා ගන්න සමත් වෙනවා. එහිදී ඇයට තමන් දුන් අනුමැතියට සම්බන්ධ ලිපියට අත්සන් තබන්න අමතක වෙනවා. ප්‍රේමදාස මහතා නිලධාරියෙක් යවලා ඇගෙන් අත්සන ලබා ගන්නවා. ප්‍රේමදාස මහතා ඝාතනය වීමෙන් පසුව අතිශයින් කණගාටුවට පත් වුණු මාග්‍රට් තැචර් එය ලංකාවාසීන්ට සිදු වූ දැඩි පාඩුවක් බවත්, මහවැලි ව්‍යාපාරය සඳහා තමන් ආධාර ලබාදීමට තීරණය කළේ ඔහුගේ මැදිහත්වීම නිසා බවත් පවසා තිබෙනවා.

 

මාග්‍රට් තැචර් මැතිනිය පිළිබඳව යම් තාක් දුරකට හෝ අවබෝධයක් ලබාදීමට මේ කෙටි ලිපිය සමත් වුණා කියලා අපි හිතනවා. එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *