ලංකාවේ කොරෝනා බේත පිටරට වැඩිපුර ජනප්‍රිය වුණේ නැහැ. අපේ දේට වින කරන්නට ඉන්න බටහිර පිරිස් අපේ බේත ලෝකයට ගෙනියන්න බාධා කරනවා කියලා අන්තවාදී මතත් ඒ එක්ක පළ වුණා. කොහොම වුණත් අපේ බේතට ඒ අදාළ බේත් පර්යේෂණ ආදිය නිසි ලෙස සිදුවුණාද කියන ගැටළුවක් එනවා. ඒත් අපිට පෙනුන ආකාරයට රජයේ පූර්ණ දායකත්වයෙන් දිරිගැන්වුන මේ පැණි සහ ගොඩ බේත් නිසා කොරෝනා මර්දනය වෙනවාද කියන ප්‍රශ්නයට තාමත් හරිහැටි උත්තරයක් නැහැ.
1. සුදර්ශන පැණිය
මුලින්ම කොරෝනාවලට සුදුසු පැණියක් ලෙස ප්‍රචාරණය වුනේ සුදර්ශන පැණිය. සුදර්ශන පැණිය පැරණි ආයුර්වේද ඔසුවක්. එය දැනටම උණ රෝග ආදියට ආයුර්වේදය මගින් නිකුත් කරනවා. මේ ගැන මහාචාර්ය චන්න ජයසුමන මහතා අදහස් පළකොට මෙය සුදුසු බවට ප්‍රකාශ කළා. සුදර්ශන පැණිය උණට දෙන බෙහෙතක් නිසා එය කොවිඩ් මගින් ඇතිවෙන උණ තත්ත්වයට පිළියමක් ලෙස යෝජනා වුණා වන්නට පුළුවන්. හීං බිංකෙහොඹ යොදාගෙන හදන සුදර්ශන චූර්ණය කලක පටන් ආයුර්වේදයේ පාවිච්චි වී තිබුණා. රාජගිරිය ආයුර්වේදයේ පර්යේෂකයින් විසින්ද පර්යේෂණ කොට ඇති මේ සුදර්ශන පැණිය ඉන්දියාවේද රෝග වලට ඔසුවක් ලෙස පාවිච්චි වී තිබුණා. මෙය කොරෝනා ඔසුවක් ලෙස කළ ප්‍රකාශ වල වගකීම කිසිවෙකු විසින් බාර නොගෙන තිබුණත් එය කොරෝනා සඳහා යොදාගත හැකි බවට සමාජ ජාල ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වුණා.
2. දුම් හට්ටිය
දුම් හට්ටිය රටට දායාද කළේ හෙළ සුවය නැමැති සංවිධානය විසින්. එය විසින් මින් පෙර දේශීය සහල්, දේශීය කැඳ වර්ග සහ වකුගඩු රෝගයට පිළියම් සෙවූ බව ඔවුන්ගේ වෙබ් අඩවියේ තියෙනවා. නාථ දෙවියන් සහ හෙළ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශීර්වාදය සහිත මේ හෙල සුවය කණ්ඩායම කොරෝනා වෙනුවෙන් දුම් හට්ටියක් සුදුසු යැයි කොරෝනා චීනයේ තියෙන කාලයේදීම නිර්දේශ කළා. එසේ නිර්දේශ කළ දුම් හට්ටිය ප්‍රකට බටහිර වෛද්‍යවරු විසින්ද අනුමත කළ බව මාධ්‍ය වල පළ වුණා. දුම් හට්ටිය හදාගන්නා හැටි නිසි ලෙස පළ වී නැතත් දුම් හට්ටියේ අන්තර්ගතය ගැන විස්තර හෙළසුවය වෙබ් අඩවියේ දැනටත් දකින්නට තියෙනවා. දෙවියන්ගේ ආශීර්වාද සහිතව නිපදවන බෙහෙත් මීයන්ට සහ පරීක්ෂණ වලට යොදාගැනීම අවුල් නිසාදෝ හෝ තවමත් මේ දුම් හට්ටියේ ප්‍රතිඵල ගැන විද්‍යාත්මක ලෙස පරීක්ෂණ සිදු කෙරී නැහැ.
3. කෑගල්ලේ කොවිඩ් පැණිය
කෑගල්ලේ කොවිඩ් පැණිය වඩාත්ම ආන්දෝලනාත්මක පැණියක් බවට පත්වුණා. එම පැණිය නිපදවූ හිටපු මේසන් බාස් වරයෙකු සහ හිටපු කපුවෙකු වන ඒ වෙද මහතා තමුන්ට කාලි ආරූඪ වූ බව පැවසීමත් සමග පැණිය තව තවත් සෝෂල් මීඩියා අවුලන්නට සමත් වුණා. මේ පැණියත් ඔසුවක් ලෙස කොපමණ සාර්ථකද යන්න තවමත් රහසක්. ඒ ගැන පරීක්ෂණ කරන්නට කමිටු කිහිපයක් පත් කළ නමුත් ඔවුන් තවමත් නිවීහැනහිල්ලේ හෙමින් පැණිය ගැන පර්යේෂණ කරන නිසා දෝ හෝ ස්ථාවර මතයක් ඒ පැණියේ සාර්ථකත්වය ගැන තවමත් නිකුත් වෙලා නැහැ. අනෙක් අතින් ආයුර්වේද ඔසුවකුත් නොවන, වෙනත් දේශීය වෛද්‍ය ක්‍රමයකුත් නොවන, බටහිර ඔසුවකුත් නොවන කාලි මෑණියන්ගේ අනුහසින් තැනූ බෙහෙතක් සම්බන්ධයෙන් කුමන පදනමකින් පර්යේෂණ පවත්වන්නේද යන්නත් එක්තරා ගැටළුවක්. කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමතිනිය, දේශීය වෛද්‍ය ඇමතිතුමා, කථානායකතුමා දේශීයව නිපදවූ මේ පැණිය පානය කරන ආකාරය පිංතූර මගින් අන්තර්ජාලයේ පල වුණා.
4. රාවණා පැණිය
කලින් කෑගල්ලේ කොවිඩ් පැණිය මහජනයා අතරට ගෙන යෑමේ මහා සත්කාරය දෙරණ සහ හිරු ටීවී මාධ්‍ය මගින් සිදු කළා. රාවණා පැණිය මහජනයා අතර ප්‍රචලිත කිරීමට මෙවර ස්වාධීන රූපවාහිනී සේවය මහත් සේ දායක වුණා. වසර 5,000කට අධික පැරණි වට්ටෝරුවක් අනුව නිපදවූ බලගතු පැණියක් බව ප්‍රචාරය වුණු මේ රාවණා පැණිය ස්වාධීන රූපවාහිනියේ කාර්යමණ්ඩලයත් පානය කර තිබුණා. මේ නව රාවණා පැණියත් කලින් දුම් හට්ටි සහ පැණි මෙන්ම කොරෝනා වලට බලපැවැත්වෙන්නේ කෙසේද? එහි අන්තර්ගතය කුමක්ද? යන්න ගැන පැහැදිළි කිරීමක් තවමත් හරිහැටි නැහැ. රිටිගල දේවින්ද ගුරුන්නාන්සේ විසින් නිකුත් කරනු ලැබූ මේ නව පැණියට ගංජාද එකතු කරන බව ඇසූ ඇතැම් තරුණයින් සෝෂල් මීඩියා හරහා නව පැණිය ගැන වඩාත් සතුටු වී තිබුණා.
5. බටහිර බේතක් හොයාගත් පසු…
අපි මින්පසු බෙහෙතක් හෝ එන්නතක් මුලින්ම හඳුන්වා දුන්න පසු එම බේත ලබාදීමට පළමුවෙන් සිදුකරන පරීක්ෂණ ආදිය ගැන බලමු. බේතක් හොයාගත්තට පස්සේ ඒවා කෙළින්ම මිනිස්සුන්ට දෙන්නේ නැහැ. මුලින්ම සායනික පරීක්ෂණ සිදු කරනවා. පූර්ව සායනික පරීක්ෂණ මිනිසුන්ට විශාල වශයෙන් සමානකම් තිබෙන මීයන්, වඳුරන් සහ මුගටි විශේෂ යොදගෙන මුලින්ම සිදු කරනවා. ඒවා සාර්ථක නම්, ඉන් පසු දෙවනි අදියරේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන සෞඛ්‍ය සම්පන්න කුඩා කණ්ඩායමක් යොදාගන්නවා. එයත් සාර්ථක නම් තමයි ඊළඟට කොපමණ මාත්‍රාවකින් වාර කීයක් ඔසුව දිය යුතුද කියලා තීරණය වන්නේ. එයත් සාර්ථක නම් ඊළඟ අදියරේදී මිනිසුන් සිය ගණනකට එන්නත ලබා දී සිරුරේ ප්‍රතිශක්තිය සහ අතුරු ආබාධ සදහා නිරීක්ෂණය කරනවා. තවත් එහාට ගොස් ජනවර්ග, ස්ත්‍රී, පුරුෂ, ළමා ආදී විශාල පරාසයකට පරීක්ෂණ කරලා තමයි ඒ බෙහෙත් අනුමත කරන තත්ත්වයට ගන්නේ.
6. මේ පරීක්ෂණ වලින් සනාථ කරගන්න දේවල්
යම් ඔසුවක් හෝ එන්නතක් සොයාගත් පසු එය කොපමණ ඵලදායීද යන්න පුළුල් ලෙස පරීක්ෂා කිරීමෙන් එම ඔසුවේ සාර්ථකත්වය හොයාගන්නවා. එසේ සාර්ථකත්වය සොයා බැලීමේදී ඒ ඔසුව හෝ එන්නතට සමාන වෙනත් කිසිදු අනතුරක් නැති සාමාන්‍ය බොරු බේතකුත් පිරිසකට එන්නත් කරනවා. එමගින් ඔසුව කොපමණ දුරට ඒ වෛරසයට හෝ රෝගයට අනුකූල වෙනවාද කියලා තීරණය කරනවා. මේ සියළු පරීක්ෂණ හමාර වුවත් ඉන් පසු ස්වාධීන ක්ෂේත්‍ර ප්‍රවීණයන් මගින් ඒ ඔසුව සම්බන්ධ අදහස් ආදිය එකතු කරනවා. තවත් අතුරු ආබාධ සහ වෙනත් බලපෑම් තිබේනම් ඒවා අඩු කරගන්නට යෝජනා ආදිය සාකච්ඡා වෙලා දීර්ඝ ක්‍රියාදාමයකින් පසුව තමයි ඔසුව මහජනයාට දෙන්නට සැලසුම කරන්නේ.
7. කොරෝනා එන්නත්
කොරෝනා රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත්, එයින් සිදුවන හානියත් සළකා බැලූ විද්‍යාඥයින් කොරෝනා වලට නව ඔසු එන්නත් සොයාගන්නට යුහුසුළු වුණා. ඒ නිසා වියට්නාමය, චීනය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, ජර්මනිය ආදී රටවල නව කොරෝනා වෛරසය සඳහා වන සාර්ථක එන්නත් නිකුත් වුණා. නව කොවිඩ් එන්නත් ඒ රටවලදී සායනික අත්හදා බැලීම් වලට ලක් වුණා. කොරෝනා එන්නත් ගණනාවක් නිකුත් වුණත් එයින් නියම සායනික පරීක්ෂණ අනුව සමත් වූයේ එන්නත් කිහිපයක් පමණයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා, බයෝන්ටෙක් ෆයිසර්, මොඩර්නා, සයිනොවැක්ස් එසේ අනුමත වූ එන්නත් කිහිපයක්. මේ එන්නත් වල ක්‍රියාකාරීත්වය සහ වෛරසය මැඩපවත්වන ආකාරය දැනුත් ඕනාම අයෙකුට අන්තර්ජාලය හරහා යම් පමණකින් දැනගන්නට පුළුවන්. ඒ වගේම ඒ සායනික පර්යේෂණ ආදිය ගැනත් තොරතුරු උවමනා තරම් තියෙනවා.
ඉතින් විද්‍යාව තාක්ෂණය මෙතරම් දියුණු කාලයක පර්යේෂණ වලින් පස්සේ අපි ළඟට එන්න ඕනි බේත් පැණි ඒ කිසිත් නැතිව අපි ළඟට දැන් එනවා. රටේ මහජනයාගේ සෞඛ්‍යය ආරක්ෂා කරන පද්ධති වල අඩුපාඩු නිසාත් එසේ අනුමත නොවූ බේත් හේත් අපි අතර පැතිරෙන්නට හේතු වෙනවා. ඒ වගේම නිසි වෛද්‍යවරයකු නිර්දේශ නොකරන විවිධ බේත් හේත් හිතු මතේ ගැනීම අවදානම් බව සාමාන්‍ය විඥාණයෙන් හෝ වටහාගැනීම මහජනයාගේ වගකීමක්ද වෙනවා.
Leave a Reply