මේ ඇත්තටම සිද්ධ වෙන, ඕනම කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන්, ඒත් ගොඩක් දෙනෙක් පිළිගන්න කිසිසේත්ම ලැහැස්ති නැති කාරණයක්. සෙක්ස් කරන්න ගිහිල්ලා ෆේල් වෙනවා කියන එක. ඒ කියන්නේ තමන්ට හරියට සෙක්ස් කරන්න, හරියට පර්ෆෝම් කරන්න බැරි වෙනවාය කියන එක. ඕක විවිධාකාරයෙන් සිද්ද වෙන්න පුළුවන් ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම. ඕකට ක්ෂණික මෝචනය, ප්‍රමාද මෝචනය, ලිංගික අප්‍රාණිකත්වය වගේ ඒවා වගේම ලිංගික රුචිය නැතිව යාම, සුරතාන්තයක් කිසිසේත්ම සිදුනොවීම වගේ ඕනම දෙයක් ඇතුළත් වෙනවා. ඕකට ඉතින් නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ පර්ෆෝමන්ස් ප්‍රශ්න ශාරීරික කරුණු මත සිද්ධ වෙනවා වගේම, තවත් සමහර වෙලාවට මානසික හේතු නිසා නිසාත් ලිංගික ක්රියාකාරීත්වයේ ප්‍රශ්න ඇති වෙනවා. හරි. දැන් ඔන්න දෙන්නත් එක්ක සෙක්ස් කරන්න යනවා. ඔය කියපු විදියේ ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් එතකොට ඊලඟට මොකද කරන්නේ? ආන්න ඒක ගැන තමයි අපි මේ කියන්න යන්නේ!
1. ඊගෝ හර්ට් කරගන්න එපා
විශේෂයෙන්ම පිරිමියෙක්ට මේක ලොකු මමත්වයට පහරක් වෙන්න පුළුවන් දෙයක්. ඒකට හේතුව මේකයි. සමහර පිරිමි- හැමෝම නෙවෙයි සමහරු- ලොකු ඊගෝ එකකින් ඉන්නවා තමන්ගේ ලිංගිකත්වය ගැන. ඔය සයිස් එක ගැන එහෙම සෑහෙන්න හිතන අයව දැකලා තියෙනවනේ. ආන්න ඒ අයට තමන් ලිංගික ක්‍රියාකාරකමේදී ෆේල් වුනා කියන එක ලොකුවට මමත්වයට පහරක් විදියට දැනෙන්න පුළුවන්. ඕකම ගැහැණු පාර්ශවයට වුනත් සිද්ධ වෙන්න පුළුවන්. තමන්ට තමන්ගේ සහකරුවාව/සහකාරියව තෘප්තිමත් කරන්න බැරි වුණානේ කියන තැන ඉඳලා.
හැබැයි අපි මේ කියන්නේ, ලිංගික ක්‍රියාකාරකමක් කියන්නේ හැම මොහොතකම අතිශයින්ම පරිපූර්ණව සිද්ධ වෙන දෙයක් නෙවෙයි. එතනදී ඔය වගේ ප්‍රශ්න ඇත්තටම වෙන්න පුළුවන්. එහෙම නැතුව ගාණට මිම්මට සෙක්ස් කරන්න නම් එක්කෝ දෙන්නාට දෙන්නා එකිනෙකා ගැන එක්ස්පීරියන්ස් වෙන්න ඕන. එහෙම වෙලත් අප්සට් යන අවස්ථා තියෙනවා. එහෙම නැතිනම් ඉතින් ඔය පෝර්නොග්රාෆ් එකක තමයි. අන්න ඒ නිසා මේක තමන්ගේ ඊගෝ එකට ප්‍රශ්නයක් කරගන්න එපා.
2. අනිකාට වරද පටවන්න යන්න එපා!
මේක හරි හැටි ලිංගිකව ක්‍රියාකාරී වෙන්න බැරි වෙන, සෙක්ස් කරන්න ගිහිල්ලා පර්ෆෝමන්ස් අප්සෙට් කරගන්න කෙනෙක් කරන සුලභ වැරැද්දක්. ඒ තමයි, තමන්ගේ පාට්නර්ට වැරැද්ද පටවන එක. ඒ කියන්නේ, තමන්ට තමන්ගේ පාට්නර්ව තෘප්තිමත් කරන්න බැරි වීම තමන්ගේ වැරැද්දක් නෙවෙයිය, තමන්ගෙන් තෘප්තිමත් වෙන්න බැරි වීම තමන්ගේ පාට්නර්ගේ වැරැද්දක්ය කියන මතයේ ඉන්න එක. මේක ඉතින් අර ඩිෆෙන්සිව් යාන්ත්‍රණයක් තමයි. හැබැයි අන්තිම වැරදි පියවරක්. මේකෙන් වෙන්නේ හොඳ සම්බන්ධතාවයක් සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වීම වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, තමන් ඇත්තටම ලූසර් කෙනෙක් විදියට හංවඩු ගැහෙන්නෙත් මේ හැසිරීමෙන් වෙන්න පුළුවන්.
අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න. ඔබට සෙක්ස් කරන්න ගිහින් පර්ෆෝම් කරගන්න බැරි වෙන එක ඔබේ වැරැද්දක් නෙවෙයි. හැබැයි ඒක අනිවාර්යයෙන්ම ඔබේ පාට්නර්ගේ වැරැද්දකුත් නෙවෙයි.
3. ඉච්ඡා භංගත්වයට පත් නොවෙන්න, රිලැක්ස් වෙන්න, කතා කරන්න
මෙන්න මේක වැදගත්ම කාරණාවක්. ඇත්තටම සෙක්ස් කරනකොට පර්ෆෝමන්ස් ඉෂූ එකක් ආවට පස්සේ ඉච්ඡා භංගත්වයට පත් නොවී ඉන්න ඕන. ඒ කියන්නේ අපි කියමු උදාහරණයක් විදියට ලිංගය ප්‍රාණවත් වෙන්නෙ නැහැයි කියලා. එතකොට පිස්සුවෙන් වගේ ලිංගය කොහොම හරි ප්‍රාණවත් කරගන්න උත්සාහ කළාට ඒක වෙන දෙයක් නෙවෙයි. එතනදී තමන් රිලැක්ස් වෙන්න ඕන. ලැජ්ජ වෙන්නෙ නැතුව, මාන්නේ ඉස්සරහට දාගන්නේ නැතුව තමන්ගේ පාට්නර් එක්ක කතා කරලා මොකද්ද ප්රශ්නය කියලා කියන්න ඕන. ආන්න එතකොට දෙන්නට පොඩ්ඩක් රිලැක්ස් වෙලා, ආයෙමත් හෙමිහිට මුල ඉඳන් වැඩේ පටන් ගන්න පුළුවන්. අන්න එතකොට සමහර විට ඔය සෙක්ස් පර්ෆෝමන්ස් ප්‍රශ්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක එහෙම නැති වුණේ නැතත්, කථාබහ කළාට පස්සේ දෙන්නටම ඒක අවුලක් නොවෙන තැනට හදාගන්න පුළුවන්.
ඇත්තටම අවංකවම අනික් කෙනා ගැන කෙයාර් කරන පාට්නර් කෙනෙක් මේ වගේ අවස්ථාවකදී අනෙකාට උදවු කරනවා මිසක්, හරියට පර්ෆෝම් කරගන්න බැරි වුණා කියලා අපිව පහතට දාන්නෙ නෑ.
4. තමන්ව පහළට දාගන්නත් එපා
ඇත්තටම ඔය උඩ කරන්න එපා කියපු දේවල් එක්ක ඊලඟට වෙන්න පුළුවන් දේ තමයි මේක. ඒ කියන්නේ තමන් කෙරෙහිම අපේක්ෂා භංගත්වයෙන් පෙළෙන්න පටන් ගන්න එක. තමන්ට ලිංගික ක්රියාකාරීත්වයේ ගැටළුවක් ඇති වුණාය කියන එක තමන්ගේ පෞරුෂ හීනතා ප්‍රශ්නයක් විදියට හිතාගන්න එක. ආන්න ඒකත් ඉතාම නරකයි. එතකොට ආයෙමත් අපිට කියන්න තියෙන්නේ උඩින් කියපු දේ තමයි. සෙක්ස් පර්ෆෝමන්ස් මදි වුනා හෝ අප්සට් වුනා කියන්නේ තමන් කරපු වරදක් නෙවෙයි. එහෙම වුනාය කියලා තමන් අසාර්ථක මනුස්සයෙක් වෙන්නෙත් නෑ. හරියටම ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන, ඒකට පිළියම් කළාට පස්සේ තමන්ටත් ඉතාම හොඳට ලිංගික ජීවිතයේ පර්ෆෝම් කරන්න පුළුවන් වෙයි.
5. ආයෙ සෙක්ස් බෑ?
උඩ කියපු විදියේ දෙයක් වුනාට පස්සේ ආයෙමත් දෙන්නත් එක්ක සෙක්ස් නොකර, මග අරින එකත් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ, එක පාරක් සෙක්ස් කරන්න ගිහින් පර්ෆෝමන්ස් ඉෂූ එකක් ආවට පස්සේ, ආයෙමත් එහෙම වෙන්න පුළුවන් කියන බය නිසා සෙක්ස් කරන එක මග අරින්න පුළුවන්. අන්න ඒකත් ප්‍රශ්නයක්නේ. එතකොට අපි කොහොමද දන්නේ ඔය පර්ෆෝමන්ස් අවුල දිගින් දිගටම සිද්ධ වෙන දෙයක්ද, එහෙම නැතිනම් එක පාරක් සිද්ධ වෙච්ච දෙයක්ද කියලා. අන්න ඒ නිසා උඩ කියපු විදියට කරන්න ඕන දේ තමයි දෙන්නත් එක්ක මේ ගැන හොඳ සාකච්ඡාව දාන එක. ඉන් පස්සේ පුළුවන් ආයෙමත් සෙක්ස් කරන්න.
6. එහෙම වුණාද?
මෙන්න මේකත් අර උඩින් කියපු පාට්නර්ට වරද පටවන විදියෙම ඩිෆෙන්සිව් මිකැනිස්ම් එකක්. ඒ කියන්නේ එහෙම එකක් වුණාද කියලා දන්නෙවත් නැති විදියට හැසිරෙන එක. ඒ කියන්නේ කාටවත් වැරැද්දක් පටවන්නෙත් නෑ, හැබැයි එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගන්නෙත් නෑ. ගොඩක් වෙලාවට මෙහෙම කරන කෙනෙක් සෙක්ස් කරන එක නවත්තන්නෙත් නෑ. එතකොට අර පර්ෆෝමන්ස් ප්‍රශ්නේ එක පාරක් විතරක් ආපු එකක් නම් අවුලක් වෙන එකක් නෑ. හැබැයි ඒක දිගින් දිගටම පවතින, පිළියම් යෙදිය යුතු ප්‍රශ්නයක් නම්? අන්න එතකොට වෙන්නේ පාට්නර් කිසිම මොහොතක තෘප්තිමත් වෙන්නෙත් නෑ. හැබැයි එයාට ඒ ගැන කතා කරන්නත් බෑ. අන්තිමට පවුල් අවුල් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ.
7. බය වෙන්න ඕනැද?
මෙහෙමයි. ලිංගික ක්රියාකාරීත්වයේ ප්‍රශ්න කියන්නෙත් ඉතින් තමන්ට ශාරීරිකව හෝ මානසිකව තියෙන වෙනත් ප්‍රශ්න වගේම තමයි. බය වෙන්න දේකුත් නෑ, බය වෙලා නහින්න හැදුවා කියලා තේරුමකුත් නෑ. හැබැයි එකක්: ඇත්තටම මේකට හේතුව මොකද්ද කියන එක හොයලා බලන්න වුවමනායි. අපි කියමු මේ සෙක්ස් කරන්න ගිහිල්ලා හරියට පර්ෆෝම් කරගන්න බැරි වෙන අවුල වෙන්නේ එක පාරක් කියලා. එතකොට ඒක ගොඩක් වෙලාවට ඒ මොහොතට හෝ ඒ සම්බන්ධතාවයට අදාළ මානසික සංකූලතාවයක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව දිගින් දිගටම සෙක්ස් කරනකොට පර්ෆෝම් කරන්න බැරි ගැටළුවක් මතු වෙනවා නම්, ඒකට මොකක් හරි කායික හෝ මානසික සංකූලතාවයක් හේතු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ලයිෆ්ස්ටයිල් එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ආන්න ඒ වගේ දේකට ජීවන රටාවේ වෙනසක්, සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ සමහර වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර හෝ උපදේශන සහය අවශ්‍යයි. එහෙම වෙලාවකට ලැජ්ජ වෙන්නෙ නැතුව ඒ සහාය ලබාගන්න එක තමයි හරි දේ.
Leave a Reply