කිරිපිටි වලින් හැමදාම තේ හදන එකේ කෑම ටිකක් හදල බලමුද?

ගෙදරට වෙලා ඉන්න අපේ ගෘහණියෝ ආස ඇතිනෙ එක එක කෑම ජාති ට්‍රයි කරන්න. අද කාපු එක හෙට කන්න අකමැති උන්නැහෙලා ඉන්න ගෘහණියන්ට හරි වදේනේ එක එක කෑම ඉල්ලලා. ඔන්න අපි මේ හදන්නෙ ගෙදර තියන බඩු වලින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් ස්වීට්ස් සහ ස්නැක් ටිකක් ගැන කියන්නයි. 

 

1. කිරිපිටි කැරමල් පුඩිම 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කිරිපිටි මේස හැඳි 12
  2. සීනි මේස හැඳි 10 
  3. බිත්තර 8
  4. වැනිලා තේ හැඳි 1

 

කැරමල් එක සඳහා 

 

  1. සීනි තේ හැඳි 8

 

  • මුලින්ම සීනි හා පිටි හොඳින් කළවම් කරලා නටන උණුවතුර දාලා ලීටරයක ප්‍රමාණයට කිරි එක හදාගන්න. ඒක හදලා හොඳින් නිවෙන්න පැත්තකින් තියන්න.
  • දැන් පුඩිම හදන භාජනය ලිපේ තියලා කැරමල් එකට ඕන සීනි ටික දාලා අඩු ගින්දරේ තියන්න. මේකට වතුර බින්දුවක්වත් එකතු කරන්න එපා. ටිකකින් පෙනේවි සීනි ටික ලස්සනට රත්තරන් පාට වෙනවා. 
  • ඒ වෙලාවට ලිප ඕෆ් කරලා, කැරමල් ටික භාජනේ වටේට යන විදිහට කරකවලා පැත්තකින් තියන්න. 
  • බිත්තර වල කහමදය අයිනෙ තියෙන සුදුපාට ඝණ කොටස අයින් කරගන්න පිළීගඳ නැතිවෙන්න පුඩිම හදාගන්න නම්.
  • බිත්තර හොඳින් බීට් කරගන්න. දැන් හොඳින් නිවුණ කිරි ටික බිත්තර එකට දාගන්න. වැනිලා එකතු කරන්න. 
  • කැරමල් තියෙන භාජනේටම මේ මිශ්‍රණය පෙරා ගන්න. 
  • දැන් ලන්ච් ශීට් එකකින් හරි ෆොයිල් එකකින් හරි වහලා විනාඩි 40ක් ස්ටීම් කරගන්න. 

 

2. මිල්ක් පෙදා (Milk Peda)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කිරිපිටි අඬු කෝප්ප 1
  2. කිරි අඬු කෝප්ප 1/2
  3. අයිසින් ෂුගර් අඬු කෝප්ප 1/2
  4. ගී හෝ බටර් තේ හැඳි 2
  5. වැනිලා ස්වල්පයක් 
  6. වියළි මිදි හෝ කජු ටිකක්

 

  • මුලින් පෑන් එකක් අඩු ගින්දරේ ලිපේ තියලා ඒකට බටර් හෝ ගී ටික දාගන්න. ඊළඟට කිරි දාගෙන කළවම් කරන්න. දැන් කිරිපිටි දාලා හොඳට කළවම් කරලා අයිසින් ෂුගර්, වැනිලා දාලා ගුලියක් වගේ වෙනකම් හොඳට කළවම් කරන්න.
  • ගුලියක් වගේ උනාම ලිපෙන් අයින් කරලා නිවෙන්න තියලා අතේ ගී හෝ බටර් ටිකක් ගාගෙන බෝල කරලා වියළි මිදි හෝ කජු මැදට තියාගන්න. 

 

3. කිරිපිටි කිරි ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පිටි කිරි 100g
  2. සුදු සීනි 900g
  3. බටර් මේස හැඳි 1
  4. වැනිලා ස්වල්පයක් 
  5. කරදමුංගු කුඩු ස්වල්පයක්

 

  • පිටි කිරි ටික වතුර ටිකක් දාලා උකුවට දියකර ගන්න. බඳුනක් ලිප තබා සීනි වලින් 50gක් විතර දාලා වතුර නොදා කැරමල් කරගන්න. කැරමල් උනාම වතුර ටිකක් දාලා දියකරගන්න. 
  • ඊළඟට සීනි ඔක්කොම ඒකට දාලා පැණිපත් පදමට උණු කරගන්න. 
  • දැන් ඒකට කලින් දිය කරගත්ත කිරි ටික දාලා නොනවත්වා හැඳිගාන්න. 
  • හැඳිගාන කොට ටික ටික ගුලියක් වගේ හැදෙයි. ටොෆි පදමට ආ විට කරදමුංගු, වැනිලා දමා කළවම් කරන්න. 
  • අවසානයේ බටර් ටික දාලා කළවම් කරගෙන බටර් තැවරූ තැටියක තූනී කර කෑලි කපාගන්න. 

 

4. කිරි පිටි පනීර්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරිපිටි කෝප්ප 1
  2. උණුවතුර කෝප්ප 3
  3. විනාකිරි මේස හැඳි 2

 

  • කිරිපිටි වලට උණුවතුර දාලා කැට නැතිවෙන්න කළවම් කරගෙන ලිපේ තියලා රත් කරන්න. රත්වේගෙන එනකොට විනාකිරි ටික දාගන්න. 
  • ටිකකින් කිරි ටික කැටි ගැහිලා වතුරෙන් වෙන් වෙනවා පෙනෙයි. මේක පෙරලා වතුර වෙනම තියාගෙන කිරි කැටි වෙනම අරන් ගුළියක් වගේ අතින් හදාගන්න. 
  • දැන් පෙරලා ගත්තු වතුර වලට ලුණු ටිකක් දාලා මේ පනීර් ගුලිය ඒකෙ දාලා ගන්න.
  • 3-4 පාරක් ලුණු වතුර එකේ දාලා අරන් පිරිසිදු රෙදි කෑල්ලක තියලා තද කරලා වැඩිපුර වතුර අයින් කරගන්න. අතින් තද කරල හතරැස් හැඩයට හදාගන්න. 
  • රෙද්ද පිටින්ම කවර් කරලා පැය 4ක් ෆ්‍රිජ් එකේ දාගන්න. 

 

5. ඊසි මිල්ක් ස්නැක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරිපිටි කෝප්ප 1/2
  2. පාන්පිටි කෝප්ප 1
  3. සීනි මේස හැඳි 2
  4. ලුණු ස්වල්පයක්
  5. බටර් මේස හැඳි 3
  6. බැදීමට තෙල්

 

  • කිරිපිටි හා පාන්පිටි එකතු කරලා ලුණු රස අනුව දාගන්න. මේකට සීනි හා බටර් දාලා වතුර ටික ටික දාලා විස්ක් කරලා ගොඩක් තික් (ඝන) බැටර් එක හදාගන්න. 
  • මේක පයිපින් බෑග් එකකට දාලා රත්වුණු තෙල් තාච්චියකට කැමති හැඩේකට කෙලින්ම පයිප් කරන්න. 
  • ඔයාලට මුරුක්කු හැඩේ ගන්නත් පුළුවන්. රන්වන්පාට වෙනකල් බැදලා ලිපෙන් බාගන්න. 

 

6. ගුලාබ් ජමුන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරිපිටි කෝප්ප 1
  2. පාන්පිටි මේස හැඳි 3
  3. යෝගට් කෝප්ප 1/2
  4. ලුණු ස්වල්පයක්
  5. බේකින් සෝඩා තේ හැඳි 1/2
  6. බටර් හෝ ගී ඔයිල් මේස හැඳි 1
  7. බැදීමට තෙල්

 

ෂුගර් සිරප් එකට 

 

  1. සීනි කෝප්ප 1 1/2
  2. වතුර කෝප්ප 2
  3. කරදමුංගු කුඩු තේ හැඳි 1/2
  4. රෝස් වෝටර් ස්වල්පයක්
  5. සැෆ්‍රන් ස්වල්පයක් (සැෆ්‍රන් වෙනුවට යෙලෝ කලරින් යොදාගන්න පුළුවන්)

 

  • පාන්පිටි හා කිරිපිටි එකතු කරන්න. ලුණු හා බේකින් පව්ඩර් මේකට දාලා හලාගන්න. 
  • මේ මිශ්‍රණයට යෝගට් ටික දාලා බටර් ටිකත් එකතු කරලා අනාගන්න. මේක ඇලෙනසුළු මෝළියක්. මේක පැය 1/4ක් වහලා තියන්න. 
  • ඒ අතරෙ ෂුගර් සිරප් එක හදාගන්න පෑන් එකකට වතුර හා සීනි ටික දාලා කරදමුංගු කුඩු ටික දාගන්න. රත්කරමින් සීනි ටික දියකරගන්න. සීනි හොඳට දියවුනාම රෝස් වෝටර් දාලා ලිපෙන් බාලා සැෆ්‍රන් ටික එකතු කරන්න. 
  • තාච්චියකට තෙල් දාලා රත්වෙනකොට කලින් අනාගත්ත මෝලියෙන් ගුලාබ් පොඩි බෝල හදලා අඩු ගින්දරේ හිමින් බැදගන්න. ගින්දර වැඩි කරගන්න එපා ඇතුළ තැම්බෙන්නෙ නෑ.
  • ඊළඟට ලිපෙන් බාල ගුලාබ් ටික උණුවෙන්ම ෂුගර් සිරප් එකට එකතු කරන්න. 

 

7. මිල්ක් බර්ෆි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරිපිටි කෝප්ප 2
  2. ගී මේස හැඳි 1
  3. කිරි කෝප්ප 1/2
  4. සීනි කෝප්ප 1/4

 

  • පෑන් එකට ගී ටික දාලා කිරි ටික දාගන්න. ටිකකින් කිරිපිටි ටික දාලා කළවම් කරගන්න. කැටි නැතිවෙනකල් හැඳිගාලා ස්මූත් කරගන්න. 
  • ටික ටික මිශ්‍රණය ඝන වෙලා එකට ඇලෙන ගතියට එනවා. මේ විදියට හැදෙන්න විනාඩි 7ක් පනින්න ඕනේ. වතුර ගතිය නැතිවෙලා මිශ්‍රණයට එකට එකතු වෙනකොට අඩිය අල්ලන්න නොදී හැඳිගාලා සීනි එකතු කරන්න. 
  • සීනි දියවෙනකල් කළවම් කරලා මිශ්‍රණය පෑන් එකෙන් ගැලවෙන ගතියට ආවාම බටර් ගාගත් ට්‍රේ එකකට දාලා කෑලි කපාගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *