මානසික ඒකාග්‍රතාවය වැඩිකරගන්න පහසු ක්‍රම

අද කාලෙ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ සම්මා සතිය නැතිකම. මොකක්ද අප්පේ ඉතින් මේ සම්මා සතිය කියන්නෙ? සම්මා සතිය කියල බුදුන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් වෙන්නෙ නිවැරදි සිහිය. තේරෙන විදිහට බොහොම සරලව කිව්වොත් ඒ මොහොතේ ජීවත් වෙන එක. ඕන්න ඕකනෙ දැන් ඉන්න උන්දලාට ඇත්තෙම නැත්තේ. බස් එකක ගියොත් ෆෝන් එකට මූණ ඔබාගෙන, ටිකට් එක ගත්තද, හෝල්ට් එක පහු උනාද මතකත් නැහැ. ඒ වගේ එදිනෙදා ජීවිතේ කොච්චරනම් දේවල් මෙලෝ සිහියක් නැතිකමින් අපි අවුල් කරගන්නවද? ඉතින් මේ මෙලෝ වැඩකට නැති මෙලෝ සිහියක් නැතිකම වෙනස් කරගන්න උපදෙස් ටිකක් තමයි මේ අද කතා කරන්න යන්නෙ. හරි විදිහට කිව්වොත් මානසික ඒකාග්‍රතාවය වැඩිකරගන්න හැටි. බාල, තරුණ, මහලු කාටත් එකසේ වැදගත් නිසා කියවල ඔළුවට දාගත්තට නරක නැහැ ඔන්න.

 

1. මනසට ව්‍යායාම

ඇඟපත වෙහෙසලා කරන ව්‍යායාම ගැන, ඒවගෙන් ශරීරයට තියෙන ඵල ප්‍රයෝජන ගැන අපි ඕනතරම් කතාකරල ඇති. මේ කියන්න යන්නෙ මනසට කරන ව්‍යායාම ගැන. ඇඟ වගේම මනසත් එකම විදිහට හැමදාම තිබ්බොත් ලෙඩවෙනවා. ඒකනේ කිසිම වැඩක් නොකර වයසට ගිහින් එකතැන ඉන්න අයට ඉක්මනින් මතකය අඩුවෙන්නෙ. වයසට යෑමත් එක්ක මතක ශක්තිය හීන වෙන්න පුළුවන් හරි ව්‍යායාම නොලැබෙනකොට. ඔන්න මනසට ව්‍යායාම කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා.

  • මනස වෙහෙසන ක්‍රීඩා – මනස වෙහෙසලා කරන විවිධ ක්‍රීඩා වලින් එකතැන පල්වෙන මනසට ලොකු ව්‍යායාමයක් සිද්ධ වෙනවා. මතකය භාවිතා කරලා කරන එක එක ක්‍රීඩා වගේම Jigsaw Puzzles, ඒ කියන්නෙ අර චුටි චූටි කෑලි ගොඩාක් එකතු කරල පින්තූරයක් හදන ප්‍රහේලිකා වගේ ඒවා මනසට හොඳ ව්‍යායාම. කාර්යබහුල ජීවිතේ ඉඳලා හිටලා දවසක මෙහෙම දේකට වෙලාව වෙන්කරගන්න.
  • පොත පත කියවීම – කියවීම මනසට හොඳ ව්‍යායාමයක්. ඒ වගේම කියවීමෙන් මනස පරණ වෙන එක වගේම දැනුම පරණ වෙන එකත් නතර වෙනවනේ. 
  • අලුත් දෙයක් ඉගෙනගන්න – අලුත් හැකියාවක් ජීවිතේට එකතු කරගන්න. ඒක මනසට හොඳ ව්‍යායාමයක්.
  • සංගීතය – නිතර සංගීතයට සවන්දෙන්න.

 

2. සිරුරට ව්‍යායාම

ඔන්න ඉතින් ආයෙත් කියනවා සිරුරට කරන ව්‍යායාමයක් ගැන. නොකියා බැහැනෙ. හැමදාම කියනව වගේ සිරුරට කරන ව්‍යායාම කියන්නෙ ජීවිතේ හැමදේකටම වගේ ඉතාම වැදගත්වෙන ක්‍රියාකාරකමක්. අපි හැමෝම දන්නවනේ ව්‍යායාම මඟින් සිරුරේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය වේගවත් කිරීම, එහෙමත් නැත්තම් අඩාල වුණු ක්‍රියාවන් යථා තත්ත්වයට පත්කිරීම සිදුවෙනවා කියල. ඉතින් මේකත් එහෙමම තමා. නිරන්තර ව්‍යායාම මඟින් මොළයේ මතක ශක්තිය, අවධානය වගේ දේවල් වලට උදව්වෙන හෝර්මෝන වර්ග වල ක්‍රියාකාරීත්වය ඉහළ නංවනවා.

හැබැයි මේ දිනපතා ව්‍යායාම කරන එක හැමෝටම ප්‍රයෝගික නැතිවෙන්න පුළුවන්. කාර්යබහුල ජීවිතේ එක්ක ව්‍යායාමයට වෙලාව වෙන් කරගන්න අමාරු අයට පුළුවන් ටිකක් වැඩිපුර පයින් යන ගමන් වැඩි කරන්න, විනාඩි 10ක් විතර පොඩි රවුමක් දුවලා එන්න වෙලාවක් වෙන් කරගන්න. මුකුත්ම නොකර ඉන්නවට වඩා මොනවමහරි කරන එකයි වැදගත්.

 

3. හොඳ නින්දක් 

මේක තවත් හුඟාක් වැදගත් දෙයක්. නින්ද අහිමිවීමෙනුත් මතකයට, මානසික ඒකාග්‍රතාවයට ලොකු බලපෑමක් ඇතිවෙනවා. සාමන්‍ය වැඩිහිටියෙක් පැය 7ත් 8ත් අතර නින්දක් අනිවාර්යයෙන්ම ලබන්න ඕන. ඒ නිසා රාත්‍රී කාලයේ යොදාගන්න වැඩ හැකිතරම් සීමා කරලා, නින්දට සුදුසු විදිහට අවට පරිසරය සකස් කරගෙන හොඳ නින්දක් ලබාගන්න උත්සාහ කරන්න.

 

4. ස්වභාවධර්මය එක්ක ගනුදෙනු

ස්වභාවික පරිසරය එක්ක නිතර ගනුදෙනු කරන එකත් මනස සුවපත් කරන්න පුළුවන් ක්‍රමයක්. එළිමහනේ පුංචි වෙලාවක් ගතකරන්න කාලය වෙන්කරගන්න. සෙනඟ ගැවසෙන කාර්යබහුල මාර්ගයකට වඩා ගස්කොළන් තියෙන නිස්කලංක මාර්ගයක් එදිනෙදා ගමන් ගන්න තෝරාගන්න පුළුවන්නම් හුඟක් හොඳයි. එහෙමත් නැත්තම් ගෙදර හෝ කාර්යාලය ඇතුළේ ස්වභාවික ගස් දෙක තුනක් නිතර පේන්න තියාගන්න හරි පුළුවන්නම් ඒකත් හොඳ වැඩක්.

 

5. භාවනාව

භාවනාව කියන්නෙ කොහොමත් මානසික ඒකාග්‍රතාවය වර්ධනය කරන, මනස එක්ක කරන ගනුදෙනුවක්නේ. මේක ආගමික කෝණයකින් නොබලා භාවනාව කියන්නෙ මානසික ව්‍යායාමයක් කියල හිතුවම ඕනම කෙනෙකුට කරන්න බැරි නැහැ. බෞද්ධ නොවන අයට විවිධ භාවනා ක්‍රම අන්තර්ජාලයේ ඕනතරම් හොයාගන්න පුළුවන්. උදේ පාන්දරට පොඩි විනාඩි 10ක් 20ක් වගේ වෙලාවක් වෙන්කරගෙන භාවනාව පුහුණු කරන්න. මානසික ඒකාග්‍රතාවයට එහා ගිය හුඟක් වාසි මේ භාවනාවෙන් ජීවිතේට ලබන්න පුළුවන්. 

 

6. මනසට විවේකය /  සංගීතය 

සංගීතය කියන්නෙත් මනස සුවපත් කරන තවත් එක බෙහෙතක් කියල කිව්වට වැරදි නැහැ. මේ බෙහෙතනම් අමුතුවෙන් වෙලාවක් වෙන්කරගෙන කරන්න ඕනත් නැහැනෙ. සංගීතයට අකමැති කෙනෙක් නැහැනෙ. ඉතින් එදිනෙදා වැඩ, ඒ කියන්නෙ රැකියාව, ගෙදර වැඩ ඕනම එකක් කරන ගමන් සංගීතයට සවන් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් සංගීතය කියලා ඔය hard rock, jazz, hip-hop වගේ ටිකක් ආවේගකාරී සංගීතයන්ට සවන්දීලනම් හරියන්නෙ නැහැ. ඒව තමන්ගේ පෞද්ගලික කැමැත්තනම් වෙන වෙලාවක රසවිඳින්න තියාගන්න. මේ මනස සන්සුන් කරන වැඩේට හරියන්නෙ ටිකක් ශාස්ත්‍රීය පැත්තට බර soft music කියන ඒවා. වැඩ කරන වෙලාවට සංගීතයට සවන්දෙන්න අකමැති කෙනෙක් ඉන්නවනම් පසුබිමින් ස්වභාවික පරිසරයේ ශබ්ද හරි white noise වගේ දෙයක් හරි වාදනය කරලා තියන එකත් හොඳ විසඳුමක්. 

 

7. යහපත් ආහාර රටාවක්

ආහාර වලටත් පුළුවන් ඇඟ වගේම මනසත් ලෙඩ කරන්න. ඒ මෙන්න මෙහෙමයි. පුළුවන්තරම් සකස් කළ ආහාර (processed food), අධික මේදය අඩංගු ආහාර, කෘත්‍රීම රසකාරක, අධික සීනි වලින් ඉවත් වෙන්න. ඒ වගේම පුළුවන් තරම් වතුර බොන්න. Hydration කියන්නෙත් ශරීර සෞඛ්‍යයට වගේම මානසික සෞඛ්‍යයට හරිම වැදගත් කාරණයක්. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *