ජීවිතේට එන අභියෝග සතුටින් ජයගන්න මේ විදිහට පුරුදු වෙන්න

ජීවිතය කියන්නෙ හැමෝටම රෝස මල් අතුරපු සුසිනිඳු යහනාවක් වගේ දෙයක් නෙමෙයි. එහෙම හැල හැප්පීම් නැති සැපවත් ජීවිත ගතකරන අතළොස්සක් අතරේ හුඟක් දෙනෙක්ට සිද්ධ වෙලා තියෙන්නෙ අමාරුවෙන් කට්ට කාගෙන ජීවිතේ ගොඩදාගන්න. ඒ ගමනට ඉතින් වැටකඩුලු, බාධා අනන්තයි අප්‍රමාණයි. මේ කියන්න යන්නෙ එහෙම කට්ට කාගෙන ජීවිතේ ගොඩයන්න දඟලන හැමෝටම වටින කතාවක්. ගඟක් උනත් ලස්සන ගල්පර වල හැපී හැපී ගලනකොට කියනවනේ. ඒ වගේම තමයි, ජීවිතේ උනත් ලස්සන ඔහේ ගලාගෙන නොයා බාධක කම්කටොළු එක්ක ගලාගෙන යනකොට තමයි. නැත්තම් ඉතින් කිසිම ගෝ එකක් නැහැනේ. අමාරුවෙන් ගමනක් යනකොට ඒ ගමනට එන නොයෙකුත් අභියෝග කියන්නෙ ඒ ගමන යන්න හිතේ තියෙන ධෛර්‍යය බින්දුවටම වට්ටන්න පුළුවන් දෙයක් තමයි. හැබැයි එහෙම වැටිල නම් බැහැ පුතෝ. එන මොන අභියෝගේ උනත් සතුටින් බාර අරගෙන ඉස්සරහට ගිය දවසට තමයි ඒ හැමදේම හොඳ අත්දැකීම් විදිහට මතක් කරලා සතුටු වෙන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා අපි ජීවිතේට එන අභියෝග දිහා සතුටින් බලලා ඒවා ජයගන්න පුරුදු වෙමු මෙන්න මේ විදිහට. 

 

1. තත්ත්වය හොඳින් තේරුම් ගන්න

ප්‍රශ්නයක් ආපු ගමන් අපි හැමෝම කරන්නෙ ඉස්සෙල්ලම කළබල වෙන එක. හැබැයි මේ කළබල වීමෙන් කවදාවත් ඒ අභියෝගය ජයගන්න උදව්වක් නම් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා කළබලය පැත්තකින් තියල ඉස්සෙල්ලම පැත්තකට වෙලා තත්ත්වය ගැන හොඳට හිතල බලන්න. මෙහෙම උනේ ඇයි? මේ අභියෝගය ජයගන්න හෝ මඟහරින්න පුළුවන්ද? මේක මගේ වරදක් වගේ දේවල් හැමදේම එතකොට හොඳට කල්පනාවට එනවා. එහෙම ප්‍රශ්නය ගැන හරි අවබෝධයක් නැතුව කවදාවත් කිසිම ප්‍රශ්නයක් සාර්ථකව විසඳන්න බැහැ.

ඒ වගේම තමයි ප්‍රශ්නයක් ඇතිවුණාම හැමෝම වගේ අහන්න පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි “ඇයි මටම මෙහෙම වෙන්නෙ?’ කියන එක. ඒකත් හරිම වැරදි කතාවක්නේ. අපි කලිනුත් කිව්වනෙ ප්‍රශ්න, කරදර කාටත් එනව කියල. ඒ නිසා ප්‍රශ්නයක් උන ගමන් මුලින්ම හිතන්න ඕන “මේක ඕනම කෙනෙකුට වෙලා තියෙන, එහෙම නැත්තම් වෙන්න පුළුවන් දෙයක්. එයාලට පුළුවන්නම් මටත් ගොඩඑන්න පුළුවන්” කියලා.

 

2. දුක, බය දැනෙන්න හරින්න

 

කිසිම වෙලාවක හැඟීම් හිරකරගෙන ඉන්න ඕන නැහැ. ඒකත් කවදාවත්ම ප්‍රශ්නයක් විසඳගන්න උදව්වක් වෙන දෙයක් නෙමෙයි. හිතේ තියෙන දුක, බය, තරහ නැතිවෙනකන්ම ඒ හැඟීම් නිදහසේ විඳින්න. ඊටපස්සේ තමයි කලින් කිව්ව විදිහට ප්‍රශ්නෙ දිහා විවෘතව බලන්න පුළුවන් වෙන්නෙ ඕනම කෙනෙකුට. ප්‍රශ්නයක් විසඳගන්න අවශ්‍ය ශක්තිය හිතට දැනෙන්නෙත් එහෙම හිතේ තියෙන හැඟීම් හරියටම විඳල ඉවර කළාට පස්සෙයි. එහෙම නැතුව දුක, බය හිතේ හිරකරගෙන හිටියොත් සැරින් සැරේට ඒව හිතට වද දෙන්න පුළුවන්. ප්‍රශ්නය විසඳගන්න යන ගමනට බාධා කරන්න පුළුවන්.

 

3. හොඳ සැලසුමක් ඇතුව වැඩ කරන්න

අනිත් හැමදේකදිම වගේ ජීවිතේ ප්‍රශ්න විසඳගන්නත් හොඳ සැලසුමක් ඕනමයි. හිතේ තිබ්බ දුක, බය, තරහ ඉවර කරලා, පැත්තකට වෙලා ප්‍රශ්නෙ ගැන හොඳටම හිතුවට පස්සෙ තමයි මේ සැලසුම හදන්න පටන ගන්න ඕන. මම මේ අභියෝගය බාරගන්නෙ කොහොමද, මේ අභියෝගය ජයගන්නෙ කොහොමද? මේ අභියෝගයෙන් මට ඇතිවෙන්න පුළුවන් වෙනත් ගැටළු සහ ඒවට විසඳුම් මොනවද වගේ හැමදෙයක් ගැනම හොඳින් සැලසුම් කරගන්න. 

 

4. අනෙක් අයගෙන් උදව් ගන්න

ජීවිතේ ප්‍රශ්නයක් විසඳගන්න, ජීවිතේට එන අභියෝගයක් ජයගන්න ලඟම අයගෙන් උදව් ගන්න කවදාවත් පැකිලෙන්න එපා. ඒකෙන් කවදාවත්ම අදහස් වෙන්නෙ නැහැ ඔබේ නොහැකියාව. හැබැයි උදව් නොඉල්ලා තනියම හැමදේම කරගන්න පුළුවන් කියල හිතුවොත්නම් මේ වගේ අසීරු අවස්ථාවන් වලදී අමාරුවේ වැටෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඒ නිසා ලඟම, හොඳම කිහිපදෙනෙක් එක්ක තමන්ගේ ප්‍රශ්න බෙදාගන්න එක, උදව් ඉල්ලගන්න එක කවදාවත් වැරද්දක් නෙමෙයි.

 

5. ලැජ්ජ වෙන්න එපා

ඇත්තටම ඇයි ලැජ්ජ වෙන්නෙ? මේකත් තනිකරම හිතළුවක්. අපි මුලදිම කිව්ව වගේම ජීවිතේ හැමෝටම ලේසි නැහැ. සැහැල්ලුවෙන්, ලේසියෙන් ජීවිතේ ගෙවන අය ඉන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුතරම් කිහිප දෙනයි. අනිත් හැමෝටම ප්‍රශ්න, අභියෝග එනවා නිතරම. ඉතින් ඒ නිසා තමන්ගේ ඉදිරියට එන අභියෝග ලැජ්ජ වෙන්න හේතු විදිහට කවදාවත් හිතන්න එපා. එහෙම හිතල ඒවා සමාජයෙන් හංගන්න උත්සහ කරන්නත් එපා. ඒක නිකන්ම කාලය නාස්ති කරන්න, හිත වට්ටන්න, ගමනේ වේගය අඩාල කරන්න පුළුවන් සිතුවිල්ලක්. 

 

6. ආඩම්බර වෙන්න

එහෙම ලැජ්ජ නොවී ඉස්සරහට ගිහින් හැරිල බලපු දවසට තමයි තේරෙන්නෙ අභියෝග හැමදෙයක්ම ඒ වෙලාවේ පුදුම තරම් හිතට වදයක් උනාට පස්සෙ ජීවිතේට පාඩම් කියල දීපු වටිනා මතකයන් බව. ඒ නිසා ඒ හැම අභියෝගයක්ම තමන් ජයගන්න එක ගැන, මේ තරම් කල් ජයගත්ත දේවල් ගැන, ජීවිතේට එකතු කරගත්ත පාඩම්, මතකයන් ගැන හැමවෙලාවෙම ආඩම්බර වෙන්න. තමන් තමන් ගැනම, තමන් ආපු මග ගැනම ආඩම්බර නොවෙනවනම් වෙන කවුරු ආඩම්බර වෙන්නද?

 

7. සතුටින් මේ මොහොත ගෙවන්න

ජීවිතේ ගතවෙන හැම මොහොතක්ම සතුටින් ගත කරන්න. පුංචි පුංචි දේවල් උනත් සමරන්න. එතකොට හදිසියේ ප්‍රශ්නයක්, කරදරයක් ආවත් ඒ ගැන ලොකුවට පසුතැවෙන්න වෙන්නෙ නැහැ. ඒ ප්‍රශ්නය ඒ මොහොතට පමණක් බවත්, ඒ වෙනකන්මත්, ඊට පස්සෙත් ඔයා ජීවිතේ හැමදෙයක්ම සතුටින් විඳින්න පුළුවන් මානසික මට්ටමකින් ඉන්න බවත් ඔයාගෙම හිත දන්නවනේ. සෑම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනව කියන කතාව වගේ හැම නරක දේකම මොකක්ම හරි හොඳක් හැංගිලා තියෙන්න පුළුවන්. ඒ සැඟවුණු පුංචි පුංචි දේවල් ගැන සතුටුවෙන්න. ඒ දේවල් වෙනුවෙන් ජීවිතේට ස්තූතිවන්ත වෙන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *