මෑත කාලීන සිංහල සාහිත්‍යය පෝෂණය කරන ලේඛිකාවන් හත් දෙනෙක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියන කියමන නම් හැමෝම අහලා ඇති. සිංහල සාහිත්‍ය ලෝකය තුළ මල් කතාවලට වඩා ඔබ්බට ගිය සාහිත්‍ය නිර්මාණ ඉදිරිපත් කරන, සිංහල සාහිත්‍යය පෝෂණය කරන කතුවරියන් හත් දෙනෙක් ගැන අද අපි කතා කරමු. 

 

1. ශමෙල් ජයකොඩි

ශමෙල් ජයකොඩි වර්තමාන සිංහල ස්වතන්ත්‍ර කතුවරියන් අතර දක්ෂතම කතුවරියක්. ඇය නවකතා ලියන්නියකට අමතරව කැනඩාවේ වාසය කරන ඉංජිනේරුවරියක්. ඇය ලේඛන දිවියට පය තබන්නේ “යළි උපන් ගැහැණිය” හරහා. ඉන්පසුව ඇය ලියූ “පියාපත් ලද දෝණිය”, “නිරුවත් හදවත්”, “අනන්ත දේශය”, “රෝසමාලි” වැනි පොත්වලට පාඨක ප්‍රතිචාර වලට අමතරව සම්මාන ඇගයීම් පවා ලැබුණා. “ප්‍රංශ පෙම්වතා” ඇගේ ලේඛන දිවියේ සුවිශේෂීතම සංධිස්ථානයක්. එය ප්‍රංශයේ වෙසෙන ලාංකික ජීවිත ගැන අපූරු ලියවිල්ලක්. ඇගේ “ඇමෙරිකා”, “වීනස්ගේ උපත” වැනි පොත් ද ස්වර්ණ පුස්තක සම්මාන අවසාන වටවලට පවා නිර්දේශ වුණා. “කුමර කොබෙයි” පොතත් ඇගේ විශිෂ්ට ලියවිල්ලක්. තරුණියන් තුන් දෙනෙක් මහද්වීපයක් හරහා යන ගමන පාදක කරගෙන තමයි එය ලියවිලා තියෙන්නේ. ඇගේ නවතම පොත “කෝමළ මානවක” නවකතාවත් පසුගිය සැප්තැම්බරයේ පිටවුණා.

 

2. සුමිත්‍රා රාහුබද්ධ 

සුමිත්‍රා රාහුබද්ධ ලංකාවේ අතිශය ජනප්‍රිය කතුවරියක්. ඊට අමතරව ඇය රාජ්‍ය නිලධාරිනියක්. 1978 එළිදැක්වූ “බුමුතුරුණු” නවකතාව තමයි ඇගේ ලේඛන දිවියේ ඇරඹුම. එය ලංකාවේ අතිශය ජනප්‍රිය වෙනවා. එම පොත ඇසුරින් ටෙලිනාට්‍යයක් පවා නිර්මාණය වුණා. ඇගේ තවත් පොත් ගණනාවක් ටෙලිනාට්‍ය, චිත්‍රපට බවට පත් වුණා. ඇය පසු කාලීනව ලියූ “අරගලය”, “උදානය”, “කෙළි මඩල”, “ඉටි පහන්”, “අග පිපි මල්”, “කන්දක් සේමා”, “අත අත නෑර” වගේ නවකතාත් ලංකාවේ අතිශය ජනප්‍රිය වුණා. “ඉටි පහන්” නවකතාව 71 කැරැල්ල ගැන ලියවුණු අපූරු පර්යේෂණාත්මක නවකතාවක්. කන්දක් සේමා ඇගේ ලේඛන ජීවිතේ පමණක් නොව මුළු සිංහල සාහිත්‍යයේම සුවිශේෂී සංධිස්ථානයක්. මොකද ඒක තමයි ඒ කාලයේ ලංකාවේ පොත් සම්බන්ධව තිබ්බ ඔක්කොම සම්මාන දිනාගත්ත පොත. ඒ වාර්තාව අදටත් කවුරුත් බිඳලා නැහැ. දෙබිඩි සොයුරියන් දෙන්නෙක්ගේ කතාවක් රැගත් අත අත නෑර නවකතාවත් වෙනස්ම ආකෘතියකට ලියවුණ එකක්. මීට පෙර නොලියුණු මාතෘකාවක්. ඊට අමතරව සුමිත්‍රා රාහුබද්ධ පරිවර්තිකාවක්ද වනවා. “සාරා”, “භූතානයට පෙම් බැඳ” වැනි පොත් ඇය අපූරුවට පරිවර්තනය කර තිබෙනවා. ඇගේ අලුත්ම නවකතාව “මධුර මන්තර” නොබෝ දිනකින් අපට කියවන්න ලැබෙයි. 

 

3. තාරකා වාසලමුදලිආරච්චි

ඇය ගුවන් විදුලි සහ රූපවාහිනී නිවේදිකාවක්, වැඩසටහන් නිෂ්පාදකවරියක් සහ දක්ෂ රංගන ශිල්පිනියක්ද වනවා. “පිපි පියුම්” වැනි ටෙලිනාට්‍යවල ඇය අතිශය ජනප්‍රිය වුණා. ඇය විසින් රචනා කරනු ලැබූ “කළු”, “ඇස්”, “දෙහි”, “මැටි”, “ඉන්ද්‍රචාප”, “ගුරු පාට” වැනි නවකතා ලාංකීය පාඨකයන් අතරේ අතිශය ජනප්‍රිය වුණා. විශේෂයෙන් කළු නවකතාව මානසික රෝහලක දිවි ගෙවන චේති නම් චරිතය වටා ගෙතුණු අපූරු නවකතාවක්.  එය 2011 වසරේ ස්වර්ණ පුස්තකයටත් නිර්දේශ වුණා. තාරකාගේ නවතම නවකතාව වන කාසිත් ඉක්මනට අපිට කියවන්න ලැබෙයි.

 

4.සුනේත්‍රා රාජකරුණානායක 

ඇය දශක තුන හතරක් පුරාවටම ලාංකීය සාහිත්‍යයේ නොමැකෙන සලකුණක් තබන්නට සමත් වූ කතුවරියක්. ගී ද මෝපසාංගේ කෙටිකතා පරිවර්තනයෙන් තමයි ඇය ලේඛන දිවියට එන්නේ. 1989 ඇගේ “සඳුන් ගිර ගිනි ගනියි” නවකතාව අතිශය ජනප්‍රිය වෙනවා. ඇය ලියූ “පැජරොයියා”, “ආලන්දර”, “ටිංකිරි පැටියා” වැනි කෙටිකතා රැසක්ද “සද්ගුණාකාරය”, “කවි කඳුර”, “රිදී තිරංගනාව”, “බත් තරංග” වැනි නවකතා පොත්ද අතිශය ජනප්‍රිය වුණා. සමන් ආතාවුදහෙට්ටි සමග ඈ ලියූ “හර්ද සූත්‍රයත්” අතිශය ජනප්‍රිය වුණා. පොදු පුරුෂයා, කවිකඳුර වැනි නවකතා ඒ ඒ වසරවල ස්වර්ණ පුස්තකය පවා ජයගන්න සමත් වුණා. සද්ගුණාකාරය නවකතාවේදී අනූ හැවිරිදි රෝස නෝනාගේ චරිතය ඇසුරෙන් පිටු 200කට අඩු පිටු ගණනකින් ලොකු කතාවක් ගොඩනගන්න කතුවරිය සමත් වුණා. ඇගේ නවතම නවකතාව වන සිලෝනාගමනයත් මෑතකදී පිටවුණා.

 

5. රූපා ශ්‍රියානී ඒකනායක 

ඇය ස්වත්‍රන්ත්‍ර ලේඛන දිවිය අරඹන්නේ “විජයියි කුවේණියි” නවකතාව හරහායි. අප දන්නා ඉතිහාසයත් ප්‍රබන්ධයත් මිශ්‍ර කරමින් කතා ලියන්න ඇය පුදුමාකාර විදිහට දක්ෂයි. මේ කතාව ඇරුණම “සෙංකඩගල මහ බිසෝ”, “දුටිමි නෙතින් කසුප් නිරින්දේ”, “සෝබන මාළිගා” හරහා ඇය ගෙතූ ප්‍රබන්ධයන් සත්‍යයක් විදියට ඇය අපිට දැනෙන්න සලස්වනවා. ඊට අමතරව ඇය ලියූ “බැද්දේ කුලවමිය” නවකතාව ඇසුරෙන් ටෙලිනාට්‍යයක් පවා නිර්මාණය වුණා. චංචලා දේවිගේ චරිතය අළලා ඇය ලියූ ඒ පොතත් අතිශය ජනප්‍රිය වුණා. “සිටුවර පුවත” ඇගේ ජීවිතේ එක් සුවිශේෂී නිර්මාණයක්. සරලා හා පණ්ඩුලගේ පාපොච්චාරණයක් විදියටයි එහි කතාව ගෙතෙන්නේ. එම කෘතිය වෙනුවෙන් ඇය ස්වර්ණ පුස්තක සම්මානයත් හිමි කරගත්තා. තරු බඹසරත් ඇගේ විශිෂ්ට කෘතියක්. අධ්‍යක්ෂකවරයෙක් වූ තම සැමියාගේ කීමට නිරුවත් වූ නිළියකගේ කතාවක් පදනම් කරගෙන තමයි එය බිහිවෙන්නේ. ඇගේ නවතම නවකතාව “භේරුණ්ඩ කැදැල්ල” පසුගිය දිනක නිකුත් වුණා. එයට පාදක වුණේ වෙනත් අයකුගේ කෘතියක් තමන්ගේ නමින් ලියූ කතුවරියකගේ කතාවක්.

 

6. විරාජිනී තෙන්නකෝන්

“අච්චාරු සහ තවත් කෙටි කතා” පොතෙන් තමයි ඇය ලේඛන දිවියට පය තියන්නේ. ඇය ලියූ ප්‍රථම නවකතාව වුණේ “මකරානන්දය”. ඇය තවම ලියා තිබෙන්නේ පොත් දෙකක් පමණක් වුණාට ඒ දෙකම ඉහළින් තියන්න පුළුවන් පොත් දෙකක්. මකරානන්දය ඒ අවුරුද්දේ ස්වර්ණ පුස්තකය ඇර අනිත් සියළු සම්මාන පාහේ දිනාගන්න සමත් වුණා. මේ පොතේ යටි පෙළත් හරිම ලස්සනට ගලපලා තියෙනවා. ස්වභාවධර්මයත් එක්ක ඒ චරිත ඉතාම ලස්සනට ගලපලා තියෙනවා. කතුවරියගේ තවත් මේ වගේ රසවත් පොතක් ඉක්මනටම කියවන්න පුළුවන්වෙයි කියලා අපි හිතනවා.

 

7. කත්‍යානා අමරසිංහ

පොලියානා මතකද? හැම තිස්සෙම සතුටු වෙන සෙල්ලම? මේ පොත ඉංග්‍රීසි පොතක් වුණාට කිසිදාක අහපු නැති කතුවරියකගේ මේ පොත අපිට සමීප කලේ කත්‍යානා අමරසිංහ. ඒ පොත් ඒ තරම් අපිට දැනෙන්නේ කත්‍යානාගේ දක්ෂ පරිවර්තනය නිසාමයි. පොලියානාට අමතරව එහි තවත් දිගුවන් වන “සතුට බෙදන පොලියානා”, “ජිමී සහ පොලියානා” කෘතිද, ඊට අමතරව “මට පුළුවන්”, “චුබාරි”, “අල්යෝශා”, “කදුළු මලක්” වගේ පොත් රැසක්ද ඇය පරිවර්තනය කර තිබෙනවා. ඇගේ ස්වතන්ත්‍ර නවකතාව විදිහට මුලින්ම එන්නේ “නිළි වැස්ස”. එය ඓතිහාසික ප්‍රබන්ධ කතාපුවතක් ඇසුරින් තමයි නිර්මාණය වෙන්නේ. එය ඇතුළුව ඇය පසුව ලියූ “වණ්ණ දාසි” සහ “ධරණි” කියන පොතුත් සම්මාන සහ ඇගයීම් හිමි කරගත්තා. වණ්ණ දාසි ලිංගික ශ්‍රමිකයෙක්ගේ දියණියක් පිළිබඳ සංවේදී කතාවක්. ධරණි යුද්ධ කාලේ යාපනේ තරුණියක් වුණ දුලන්‍යාගේ කතාව අනුවයි ලියවුණේ. ඇගේ නවතම නවකතාව “බාණ කුසුම්” පසුගිය දිනක පිටවුණා.

 

කතුවරියන් විතරක් නෙමෙයි, කතුවරුනුත් සාහිත්‍යයට කරන සේවය සුළුපටු නෑ. මීට අමතරව ඔබ දන්නා මෑත කාලයේ දක්ෂ කතුවරියන් ගැනත් අපිට කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා.

 

ශශින් ප්‍රබෝද්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *