අන් රටවලින් තහනම් වූ සුපිරි තරු

බටහිර තරු කියන්නේ හැමදාම ප්‍රවෘත්ති මවන චරිත. රට රටවල සංස්කෘතිය සහ වෙනත් හේතුන් මත බටහිර තරු රැසක් රට රටවලින් බ්ලොක් වෙලා තියෙනවා. ඇතැම් විට ඉතා කුඩා සිද්ධියක් තමයි මේ තහනම් වලට හේතු වෙන්නේ. චීනය වැනි රටක් ගතහොත් ඔවුන්ගේ දේශපාලන අදහස් නිසාදෝ ඇමරිකානු තරු රැසකට චීනයට ඇතුළුවෙන්නට තහනම් වෙලා තියෙනවා. ඉතින් අපි මේ විදිහට වෙන රටවලට ඇතුල්වෙන්න තහනම් වුණ සුපිරි තරු ගැන බලමු.

 

1. කේටි පෙරී (Katy Perry) – චීනය

කේටීට මේ තහනම එන්න කලින් එයා චීනයේ ශැන්හයි වල වික්ටෝරියා සීක්‍රට් මෝස්තර දැක්මකට සහභාගි වුණා. චීනයෙන් ඇයව තහනම් කරන්නට හේතුව ඇය තායිවානයේ තායිපේ එරීනාහි පැවති ප්‍රසංගයකදී තායිවාන ධජය ප්‍රදර්ශනය කිරීම ලෙස සැක පහළ කරනවා. ඒ වගේම චීනයේ සූරියකාන්ත මල් වෙළඳ ගිවිසුමට එරෙහි ශිෂ්‍ය නැගීටීමට පක්ෂව කේටි සූරියකාන්ත මල් ඇතුළත් ඇඳුමින් සැරසිලා එක් ප්‍රසංගයකට සහභාගී වීමත් චීන තහනමට හේතු වන්නට ඇති.

 

2. සෙලීනා ගෝමස් – චීනය

සෙලීනා ගෝමස් ටිබෙටයේ හිටපු ආධ්‍යාත්මික නායක දලයි ලාමා සමග පිංතූරයකට පෙනී සිටීම නිසා සෙලීනා ගෝමස්ට චීනය තහනම් වුණා. එසේ සෙලීනා දලයි ලාමා සමග පිංතූරයකට පෙනී සිටියේ 2016දී. ටිබෙටය චීනයට අයිති කලාපයක් ලෙස දැන් පාලනය වුණත් එය අතීතයේදී වෙනම රටක් වුණා. එම රට චීනය ආක්‍රමණය කරද්දි පැනගිය දලයි ලාමා තුමා දැන් වයෝවෘද්ධව ඉන්දියාවේ කල් ගත කරනවා.

 

3. පැරිස් හිල්ටන් – ජපානය

පැරිස් හිල්ටන්ට ජපානයට ඇතුල්වෙන්න තහනම්. ඇමරිකාවේ මත් ද්‍රව්‍ය නීති උල්ලංඝනය කිරීම පැරිස් හිල්ටන්ගේ මේ ජපාන තහනමට හේතු වෙලා තියෙනවා. පුවත් මවන්නියක වන පැරිස් හිල්ටන් එක්තරා කලකදී තමා පෙනී සිටින ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම නිසා ලොව පුරා අවධානයට ලක් වුණා.

 

4. මයිලි සයිරස් – චීනය

චීන, ජපාන හෝ අග්නිදිග ආසියානු රටවල කාන්තාවන් වගේම පිරිමිනුත් ඇස් කුඩා අය වෙනවා. අපි එක්ක බැලුවාම ඔවුන් ඇස් පිය ගසන්නට ඔන්න මෙන්න ඉන්නවා කියලා තමයි අපිට ඔවුන්ව පේන්නේ. ඉතින් මියිලි සයිරස් ඈ පෙනී සිටි පොටෝවක මේ චීන ඇස් ආකාරයට ඇස් නිරූපනය කළා. ඒ 2009 වර්ෂයේදී. සයිරස් ගේ එම ක්‍රියාකලාපය දරුවන්ගේ මනස වෙනස් කරන එකක් වෙන්න පුළුවන් බව චීන විදේශ ඇමති යන්ග් ජීඉචි ඒ ගැන අදහස් දක්වමින් කියා සිටියා.

 

5. ජස්ටින් බීබර් – චීනය

බීබර්ගේ තහනම එන්නේ 2017 වර්ෂයේදී. බීබර් යනු ලොවට දායාදයක් ලෙස ලැබුණ ගායකයෙක් නමුත් ඔහුගේ ප්‍රසංග ඉදිරිපත් කිරීම සහ හැසිරීම චීන නීති රීති වලට එකඟ නැති බව පවසමින් චීනයේ බීජින් නාගරික සංස්කෘතික කවය මගින් බීබර්ට චීනය තහනම් කළා.

 

6. බියොන්සේ – මැලේසියාව

මැලේසියාව අන්තවාදී නොවුණත් මුස්ලිම් රටක්. බියොන්සේගේ ප්‍රසංග වලදී ඇයගේ ඇඳුම් පැළඳුම් කොහොමත් ටිකක් එලිය පහලියට පේන්න තමයි බියොන්සේ අඳින්නේ. ඉතින් මැලේසියාව මේ තත්ත්වයට වැඩි කැමැත්තක් දැක්වුවේ නැති නිසා බියොන්සේට මැලේසියාවට ඇතුළු වෙන්න මැලේසියාවෙන් තහනම් කළා.

 

7. බීට්ල්ස් – පිලිපීනය

බීට්ල්ස්ලාට පිලිපීනය තහනම් වන්නේ නම් අමුතුම හේතුවකට. එරට පළමු කාන්තාව වන ඉලේඩා මාකෝස් වරක් බීට්ල්ස්ලට උදෑසන ආහාර වේලකට ආරාධනා කර තිබෙනවා. නමුත් කුමක් හෝ හේතුවකට ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිසා බීට්ල්ස්ලට පිලිපීනයට පැමිණීම තහනම් වුණා.

 

8. ඒකොන් – ශ්‍රී ලංකාව

බුදුන් වහන්සේ කියන්නේ ශ්‍රී ලංකාව තුළ ගෞරවාදරයට ලක්වෙන එෙතිහාසික, සංස්කෘතික උරුමයක් ලෙස සැලකෙන චරිතයක්. බුදුදහමේ මහායානික තන්ත්‍රයානික කොටස් තුළ නම් බුදුන් වහන්සේගේ පිළිම සමග එකට පෙනී සිටිමින් ඇදහිලි අනුමත කරනවා. ඒත් අපි වැනි ථෙරවාදී රටවලට එසේ පෙනී සිටීම බුදුන් වහන්සේව හෑල්ලු කිරීමක් වෙනවා. ඒකොන්ගේ සෙක්සි චික් වීඩියෝවේ බුදුන් වහන්සේ සමග පූල් පාටියකට පෙනීසිටීම ඒකොන්ට ශ්‍රී ලංකාව තහනම් වෙන්න හේතු වුණා.

 

9. එල්ටන් ජෝන් – ඊජිප්තුව

එල්ටන් ජෝන් ඊජිප්තුවේ පුද්ගලික සංචාරයක් සුදානම් කර තිබුණත් ඊජිප්තුවට ඇතුළු වෙන්නට බැරි නිසා එල්ටන් එය නැවැත්වුවා. එල්ටන් ජෝන් සමලිංගිකයින් රුචි කරන චරිතයක්. ඔහු එය ප්‍රසිද්ධියේ පිළිගන්නවා. ඊජිප්තුවේ මුස්ලිම් ආගමික කණ්ඩායම් ඒ නිසා එල්ටන් ජෝන් ඊජිප්තුවට ඇතුළු වෙනවාට කැමති වුණේ නැහැ. ඒ වගේම ඊජිප්තුවේ සංගීතඥයින්ගේ සංගමයත් ආගමික මතධාරීන්ට ඉඩ දෙමින් එල්ටන් ජෝන් නැවැත්වීම අනුමත කළා.

 

ලියනාඩෝ ඩිකැප්‍රියෝටත් වරක් ඉන්දුනීසියාවට ඇතුල්වීම තහනම් වුණේ ඔහු ඉන්දුනීසියාවේ පරිසර හානි ගැන ජාත්‍යන්තරය දැනුවත් කරන්න ක්‍රියාකරපු නිසා. ඒ ආකාරයට ඇතැම් විට සම්පූර්ණ දේශපාලන කාරණා නිසා රට රට වලින් කලාකාරයන්ව තහනම් කිරීම කණගාටුදායක සිද්ධියක්. සංගීතය විතරක් නෙමෙයි, නර්තනය, ප්‍රසංග කලාව ආදියත් ලෝකයම රුචි කරන කලා අංග වෙනවා. එවිට ඇතැම් රටවලින් කලාකරුවන්ට වැට බඳින විට ඔවුන්ට තමුන්ගේ ආසා කරන කලාකරුවා දැකබලාගන්න වෙන රටකට යන්න වෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *