අලුතින් දෙයක් ඉගෙන ගන්න ආස කෙනෙක්ට මේ වෙබ් අඩවි අනිවාර්‍යයෙන්ම වැදගත් වේවි!

දැන් ඔය ඉගෙන ගන්නවා කියන එකට වයස් සීමාවක්, කාලයක් නැහැනේ. ඇත්තටම අපි මැරෙන තුරා දේවල් ඉගෙන ගන්නවා. හැබැයි ඉතින් සමහරු ඉන්නවා, ඉස්කෝලේ කාලෙන් පස්සේ, කැම්පස් කාලෙන් පස්සේ ආයෙ මළාට විෂය කරුණක් ඉගෙන ගන්න හිතන්නෙ නෑ. අලුතින් දෙයක් ඉගෙන ගන්න හිතන්නෙ නෑ. හැබැයි ඇත්තටම ආයෙත් කිවුවොත්, ඉගෙන ගන්න විතරක් නෙවෙයි, ඉගෙනීමෙන් ප්‍රයෝජනයක් ලබන්නත් වයස් සීමාවක් නෑ. විශේෂයෙන්ම මේ කාලේ මිනිස්සු තමන් දැන උගත් දේට අමතරව යම් යම් දේත් ඉගෙන ගෙන කියාගෙන ඉන්න එක වටිනවා. මොකද ඒක තමන්ගේ වෘත්තියේදී විතරක් නෙවෙයි, ප්‍රායෝගික ජීවිතයේදීත් වටින්න පුළුවන්. සමහර වෙලාවට වෘත්තිය දිශාව මාරු කරන්න එහෙම සිද්ධ වුනොත්, හොඳ ප්ලෑන් බී එකක් සපයන්නත් එහෙම ඉගෙන ගන්න දේවල් වැදගත් වෙන්න පුළුවන්.

ඉතින් එහෙම ඉගෙන ගන්න ඕන වුනත්, ආයෙ ඉස්කෝලෙ යන්නද කියන්නේ? නැතිනම් පොත් කියවලා ඉගෙන ගන්නද කියන්නේ? ඇත්තටම පොත් කියවලා ඉගෙන ගන්න එකත් ඉතාම හොඳ දෙයක්. හැබැයි අමතක කරන්න එපා. අපි ඉන්නේ සයිබර් යුගයේ. ඕනම දෙයක් වගේ අපිට ඔන්ලයින් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙව් එකේ, යම් යම් දේවල් ඉගෙන ගන්න තියෙන හොඳ වෙබ් අඩවි කීපයක් අපිට හොයාගන්න බැරිද හා? අපි මීට කලිනුත් විධිමත් විදියට පාඨමාලා හදාරන්න පුළුවන් වෙබ් අඩවි කීපයක් ගැන කිව්වා. මේ කියන්නේ, ඒ තරම් වත් මහන්සි වෙන්නෙ නැතුව, තමන්ට ඕන වෙලාවකට දෙයක් ඉගෙන ගන්න දවසින් පොඩි වෙලාවක් වෙන් කරන්න පුළුවන් වෙබ් අඩවි කීපයක් ගැන!

 

1. Highbrow

අපි සාමාන්‍යයෙන් දවසේ යම් කාලයක් ඊමේල්ස් බලන්න වැය කරනවනේ. එහෙම ඊමේල්ස් බලන කාලේ ඇතුළත, තව විනාඩි පහක් හෝ දහයක් වැඩිපුර වැය කරලා වැඩක් තියෙන දෙයක් ඉගෙන ගන්න ලැබුණොත් කොහොමද? උදාහරණයක් විදියට ගත්තොත්, කොහොමද ස්පීඩ් රීඩින් -එහෙම නැතිනම් වඩාත් වේගයෙන් පොත් කියවන්නේ කියන එක, ලෝකේ ඉන්න හොඳම වීථි චිත්‍ර ශිල්පීන් සහ ඒ අයගේ ශෛලීන් ගැන, යහළු මිත්‍ර සම්බන්ධතාවයක් හරියට පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගැන, පර්සනැලිර්ටි සයිකොලොජි ගැන වගේ විවිධාකාරයේ විෂයයන් සියගණනක් ගැන ඉගෙන ගන්න පුළුවන්. වැඩි කාලයක් ගතවෙන්නෙත් නෑ. දවසකට විනාඩි පහ දහය වගේ එව්වා දවස් දහයක් විතර ගියහම එක කෝස් එකක් ඉවරයි. ආන්න ඒකට හොඳම වෙබ් අඩවිය තමයි Highbrow කියන්නේ!

 

2. Duolingo

ප්‍රංශ භාෂාව කතා කරන්න ඉගෙන ගන්න ආසයිද? එහෙම නැතිනම් ස්පාඤ්ඤ භාෂාව? එහෙම ආසාවක් තියෙනවා නම්, දවසකට ඒ වෙනුවෙන් විනාඩි පහළොවක් විස්සක් වැය කරන එකත් ප්‍රශ්නයක් නෙවෙයි නං, තමන්ටම අලුත් භාෂාවක් ඉගෙන ගන්න තියෙන නියම තැනක් තමයි Duolingo කියන්නේ. ඇත්තටම මේ වෙනකොට Duolingo වෙබ්සයිට් එකේ එකිනෙකට වෙනස් භාෂාවන් 36 ක් විතර පෙන්නනවා. ඒවායින් සමහරක් බොහොම නැවුම් අත්දැකීමක් ගේනවා ෂුවර්. උදාහරණයක් විදියට ගත්තොත්, ස්ටාර් ට්‍රෙක් එකේ සතුරු ක්ලින්ගොන් අධිරාජ්‍යයේ කට්ටිය කතා කරන Klingon භාෂාවත් Duolingo එකෙන් ඉගෙන ගන්න පුළුවන්! ඒ වගේම නවාහෝ ස්වදේශීය ඇමරිකානුවන්ගේ Navajo භාෂාවත් Duolingo එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතාම සාර්ථක කෘත්‍රිමව නිර්මාණය කරපු භාෂාවක් වෙන Esparanto පවා Duolingo එකෙන් ඉගෙන ගන්න පුළුවන්!

 

3. Justin Guitar

ගිටාර් ගහන එක ගොඩක් කොල්ලන්ගේ කෙල්ලන්ගේ තියෙන ආසාවක්. ඒ වගේම ගිටාර් ගහන්න දන්න කොල්ලෙක්ට ලව් කරන එකත් ගොඩක් කෙල්ලන්ගේ ආසාවක්. දැන් ඒ කෙල්ලෝ කොල්ලෝ හැමදෙනාගේම ආසාව ඉෂ්ට කරගන්න නම්, ගිටාර් එකක් මිලදී ගන්නත්, ඉන් පස්සේ හොඳ ගිටාර් පංතියකට බැඳෙන්නත් වෙනවා. හැබැයි පංති යන්න ඒ තරම් ආසාවක් නැතිනම්, ඔන්ලයින්ම ගිටාර් ගහන්නත් ඉගෙන ගන්න බැරිද? මොකද බැරි, පුළුවන්. යූටියුබ් එකට ගියොත් ඕන තරම් ගිටාර් ලෙසන්ස් තියෙනවා. හැබැයි එහෙම එහෙන් මෙහෙන් නැතුව ක්‍රමානුකූලව ගිටාර් ගහන්න ඉගෙන ගන්න නම් මෙන්න වෙබ් සයිට් එක. ජස්ටින් සැන්ඩකෝර්ගේ ගිටාර් පංතිය ඇත්තටම යූටියුබ් එකේ පවා ප්‍රචලිතයි. ඉතින් මේ වෙබ් අඩවියට ගිහින් ගිටාරය වාදනය කරන හැටි ක්‍රමානුකූලව ඉගෙන ගන්නත්, දවසකට සුළු මොහොතක් වෙන් කරලා ඒ ඉගෙන ගන්න ඒවා ප්‍රැක්ටිස් කරන්නත්, එහෙම කරලා ඩීසන්ට් ගිටාර් වාදකයෙක් වෙන්නත් ඔබට හැකියාව තියෙනවා!

 

4. Free Code Camp

දැන් කාලේ අපි කම්පියුටර් නැතුව මොනවද කරන්නේ? අපේ අතේ තියෙන ස්මාට්ෆෝන් එක පවා කම්පියුටරයක්නේ. අන්න ඒ නිසා, ඔය පරිගණක ක්‍රමලේඛන භාෂාවක් දෙකක්, කොටින්ම කියනවා නම් කෝඩින් කරන්න දැනගෙන ඉන්න එක ඉතාම වටිනවා. එක පාරටම ඔය කෝඩින් ග්‍රීක් වගේ දැනුණට, ඇත්තටම ඉගෙන ගන්න ලොකු අමාරුවක් නැහැ උනන්දුව තියෙනවා නම්. ඒකත් ක්ලාස් එකකට යන්නෙ නැතුව ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන් සම්පත් තියෙනවා. අන්න ඒවලින් එකක් තමයි Free Code Camp කියන්නේ. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නොමිලේ කෝඩින් ඉගෙන ගන්න පුළුවන් මෙතනින්! ඒ විතරක් නෙවෙයි, ඒ ඉගෙන ගන්න දැනුමෙන් ප්‍රොජෙක්ට්ස් කරන්න, තමන්ගේ ඒ ඉගෙනීමේ සාර්ථකත්වය පෙන්නන්න සහතික පත්‍ර ලබාගන්න පවා හැකියාව තියෙනවා. මේ වෙබ් අඩවියේ ටියුටෝරියල් 6,000 කට වඩා තියෙනවා.

 

5. Big Think

“අළුතෙන් පෘථිවිය දිහාවට එන ක්ෂුද්‍ර චන්ද්‍රයෙක්!”, “විශ්වයේ ජීවිත කාලයේ යුගයන් පහක්!”, “2021 ගැන ධනාත්මකව හිතන්නේ කොහොමද?”, “පසුතැවෙන බව පෙන්වීමෙන් ඔබේ ආදර සම්බන්ධය රැකෙනු ඇති”, “ඇත්තටම මරණයෙන් පසු ජීවිතයක් තියෙනවාද?” වගේ මාතෘකා ගැන කියවන්න දවසේ විනාඩි පහක් දහයක් වෙන් කරන එක පාඩුවක්ද ඇත්තටම? උත්තරේ තමයි නෑ කියන එක. පාඩුවක් නෙවෙයි. වටිනවා. විශේෂයෙන්ම ඔය සංවාදයකදී එහෙම ඔය විදියට එකතු කරගන්න දැනුම අතිශයින්ම වටිනවා. ආන්න ඒකට ගැලපෙන වෙබ් අඩවිය තමයි Big Think කියන්නේ. දවසේ විනාඩි කීපයක් වැය කරලා, තමන්ගේ ප්‍රියතම විෂයයන් යටතේ කාණ්ඩගත කරලා තියෙන ආටිකල් කියවලා විවිධාකාරයේ දේවල් ගැන හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් Big Think ඔස්සේ.

 

6. iCivics

කවදා හරි මතභේදයක් එහෙම නැතිනම් එකඟ නොවීමක් අතරින් දිනන්න උත්සාහ කරලා තියෙනවද? ඔබ නීතීඥයෙක් නම් ඉතින් අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම තියෙන්න ඕනනේ. හැබැයි එහෙම නැති නම්, එකඟ නොවීමකින් දිනන්නේ කොහොමද කියන එක දැනගන්න පොඩි දැනුමක් තියෙන්න ඕන ඒ ගැන. සමහර වෙලාවට මොකක් හරි නීති ප්‍රශ්නයක් අරගෙන, ඒක කොහොමද විවාද කරලා දිනන්නේ කියලා පොඩි ගේම් එකක් කළොත් හොඳ අදහසක් ලබාගන්න පුළුවන් වෙයි නේද? iCivics කියන්නේ ආන්න ඒ විදියේ පොඩි පොඩි ගේම්ස් කරලා සිවික්ස් එහෙම නැතිනම් ප්‍රජාචාරය විෂය ගැන ඉගෙන ගන්න පුළුවන් වෙබ් අඩවියක්. විනාඩි පහළොවේ ඉඳලා තිහ දක්වා ගත වෙන විදියේ විවිධ ඇනිමේෂන් සහිත ගේම්ස් ගණනාවක් මේ වෙබ් අඩවියේ තියෙනවා. ප්‍රජාචාරය ගැන ඉගෙන ගන්න එක iCivics එක්ක වඩාත් ෆන් අත්දැකීමක් බවට පත් වෙනවා.

 

7. Time Maps

ඉතිහාසය ඉගෙන ගන්න ආසයිද? අන්න එහෙම අයට ඇත්තටම ගූග්ල් සර්ච් එකක් කරලා වුනත් ඉතිහාසයේ තමන් කැමති කොටස් ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඒ වගේ වෙබ් අඩවි වලින් එකක් තමයි Time Maps කියන්නේ. මේ වෙබ් අඩවියේ තියෙන ලෝක සිතියමට ගිහිල්ලා, අපිට ඕන රටක් හෝ ප්‍රදේශයක් සිලෙක්ට් කරලා, ඒ රටේ හෝ ප්‍රදේශයේ ඉතිහාසය ඈත අතීත කාලයන්ගේ ඉඳලම කොටින් දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම කාලනුක්‍රමණ පිළිවෙලකට ඒ තොරතුරු පෙළගස්වලා තියෙන නිසා, ඈත ඉතිහාසයේ ඉඳලා ක්‍රමයෙන් ඉස්සරහට කියවගෙන එන්නත් හරිම ලේසියි. මීට අමතරව මේ වෙබ් අඩවියේ මුදල් ගෙවා සාමාජිකයෙක් වුණොත්, තවත් සෑහෙන්න තොරතුරු වලට ප්‍රවේශය ලැබෙනවලු. හැබැයි ඉතින් මේකේ නොමිලේ දෙන තොරතුරු පවා සාමාන්‍ය ඉතිහාසය ඉගෙන ගන්න කෙනෙක්ට ඉතාම ප්‍රමාණවත්!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *