ලෝ පුරා රාජ්‍ය නායක නිල නිවාස

අද අපි කියන්න යන්නේ ලෝකය පුරා රට රටවල රාජ්‍ය නායකයන්ට සෙවණ දෙන නිල නිවාස කීපයක වගතුග ගැන. ප්‍රවෘත්ති වල නිතර නිතරම කියවෙන හින්දා ධවල මන්දිරය, බකිංහැම් මාලිගය සහ රාෂ්ටපති භවන් අපි මේ ලැයිස්තුවෙන් ඉවත් කළා.

 

1. බෙලුවී මාලිගය (Bellevue Palace)

1994දී පටන් ජර්මනියේ ජනාධිපතිවරයාගේ නිල නිවස බවට පත්වෙලා තිබෙන මෙම සුන්දර මාළිගයේ ඉතිහාසය දහහත් වෙනි සියවස දක්වා දිව යනවා. ප්‍රශියානු රජ පවුලේ සාමාජිකයන් අතර හුවමාරු වෙමින් පැවති මෙම මාළිගය පළමු ලෝක යුද්ධය අවසානයෙන් පසුව කෞතුකාගාරයක් ලෙසත් විදේශීය රාජ්‍ය නායකයන්ගේ නවාතැන්පළක් ලෙසත් භාවිතා වුණා. දෙවැනි ලෝක යුද්ධයේදී බෝම්බ ප්‍රහාරවලට ලක් වූ මෙම මාළිගය පසුව බටහිර ජර්මනියේ ජනාධිපතිවරයාගේ අතිරේක නිල නිවසක් ලෙස භාවිතා වන්නට පටන් ගත්තා. කෙසේ වෙතත් ජර්මනිය එක්සත් වීමෙන් පසුව එරට ජනාධිපති මන්දිරය  බවට පත් වූයේ මෙම මාළිගයයි.

 

2. ක්වින්ටා ඩී ඔලිවෝස් (Quinta de Olivos)

ආජන්ටිනාවේ ජනාධිපතිවරයාට නිල බලයෙන් හිමිවන නිවාස රැසක් ‍‍‍පැවතියද ඉන් ප්‍රධාන වන්නේ ක්වින්ටා ඩී ඔලිවෝස් ලෙස හැඳින්වෙන රජ මාළිගයක් හා  සමාන මැදුරයි. මෙම මැදුරේ ඉතිහාසය ආජන්ටිනාවේ අගනුවර වන බුවනෝර්ස් අයර්ස්හි ආරම්භය දක්වා දිව යන බව කියවෙනවා. මුල් කාලයේ දී පෞද්ගලික අයිතිකරුවන් සතු වූ මෙම මන්දිරයේ අයිතිය රජයට හිමි වීමෙන් පසුව මුල් කාලයේදී මෙය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නිල නිවස ලෙස භාවිතා කෙරුණා. ඉන්පසුව ආජන්ටිනාවේ ජනාධිපති ධුරයට පත් ඒකාධිපති ජෝසේ ෆීලික්ස් මෙය තම නිල නිවස ලෙස භාවිතා කිරීමට පටන් ගත් අතර ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් මෙම මැදුර සංවර්ධනය කිරීමට කටයුතු කළා. වර්තමානයේදී හෙලිකොප්ටර් ධාවන පථයක්, කුඩා ගොල්ෆ් ක්‍රීඩාංගණයක් සහ දෙව් මැදුරක් මෙම නිල නිවෙස් සංකීර්ණයට අයත් වෙනවා.

 

3. ලොස් පිනෝස් (Los Pinos)

මුල් කාලයේ දී ධාන්‍යාගාරයක්ව පැවති මෙම බිමෙහි පළමු වරට මහා මන්දිරයක් ඉදි කරන ලද්දේ වෛද්‍යවරයෙකු විසින්. අනතුරුව ඔහු  මෙම මන්දිරය මෙක්සිකෝවේ අධිරාජ්‍යයා බවට පත්වූ මැක්සිමිලන් හට විකුණා දැමුව අතර අධිරාජ්‍යයා බලයෙන් පහ වීමෙන් පසුව නැවතත් එම මාළිගයේ අයිතිය එම වෛද්‍යවරයා වෙතම පැවරුණා. මෙක්සිකානු විප්ලව සමයේ දී මෙම මන්දිරය යළිත් රජයට පවරා ගැනුණු අතර 1934 දී පටන් ජනාධිපති නිල නිවස ලෙස භාවිතා වීමට පටන් ගත්තා. කෙසේ වෙතත් වර්තමාන ජනාධිපති මැනුවෙල් ලෝපේස් මෙම මන්දිරයේ ජීවත් නොවන අතර ඔහු මෙය ජනතාව වෙනුවෙන් විවෘත කොට පවතිනවා.

 

4. නො 24, සසෙක්ස් ඩ්‍රයිව්

කැනඩාවේ අගමැතිවරයාගේ නිල නිවස ලෙස භාවිතා වන මෙම කුඩා මන්දිරය 1866 වසරේ දී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි ජෝශෆ් කුරියර් විසින් සිය විවාහ දිනය දා මනාලියට ත්‍යාගයක් ලෙස ලබාදී තිබෙනවා. ඉන් පසුව හිමිකරුවන් දෙදෙනෙකු අතර පමණ මෙහි අයිතිය හුවමාරුවීමෙන් අනතුරුව මෙම නිවස 1951 පටන් එරට අගමැතිවරයාගේ නිල නිවස ලෙස ප්‍රකාශයට පත් වුණා. කෙසේ වෙතත් මේ දිනවල දී නම් මෙම නිවස දැවැන්ත ප්‍රතිසංස්කරණ කටයුතු වලට ලක්වෙමින් පවතින නිසා අගමැතිවරයා සහ ඔහුගේ පවුල ජීවත් වන්නේ වෙනත් නිවසකයි.

 

5. කිරිබිලි හවුස් (Kirribilli House)

නිල වශයෙන් සැලකුවහොත් ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයාගේ දෙවන නිල නිවස ලෙස භාවිතා කළ යුතු වුවත් ඒ රටේ බොහෝ අගමැතිවරුන්  තම ප්‍රධාන නිල නිවස වන  කැන්බරාහි පිහිටි ‘The Lodge’ නිවසට වඩා සිඩ්නි නගරයේ පිහිටා ඇති Kiribilli House නිවසට ප්‍රිය කොට තිබෙනවා. 18 වන සියවස දක්වා දිවයන ඉතිහාසයකට හිමිකම් කියන මෙම නිවස පළමුවරට රජයට අයත් වීමෙන් පසුව එරට අග්‍රාණ්ඩුකාරවරයාගේ කාර්යමණ්ඩලයේ පරිහරණය සඳහා භාවිතා කරනු ලැබුවා. වසරකට වරක් මහජනතාව වෙනුවෙන් විවෘත වන මෙම නිවස මනස්කාන්ත පරිසරයක පිහිටා තිබෙනවා. 

 

6. මහ්ලැම්බ ලොබ්ෆු (Mahlamba Ndlopfu‍‍)

අතීතයේදී  Libertas ලෙස දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයාගේ නිල නිවස ලෙස භාවිතා ව‍ුණු මෙම මන්දිරයේ නම පමණක් නොව ගෘහ නිර්මාණ ශිල්පය පවා නෙල්සන් මැන්ඩෙලා එරට ජනාධිපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව වෙනස් වුණා. 1930 වසරේ දී ජනාධිපති නිල නිවස නිර්මාණය කිරීම සඳහා තරඟයක් පැවති අතර ඉන් ජයග්‍රහණය කරනු ලැබූ ජෙරාඩ් මෝඩේක්ගේ සැලසුමට අනුව මෙම මන්දිරය නිර්මාණය කරනු ලැබුවා.

 

7. ඉස්ටානා මෙර්ඩෙකා/ ඉස්ටානා නෙගේරා (Istana Merdeka/ Negara)

මෙම නිල නිවෙස් දෙකම තම අභිමතය පරිදි භාවිතා කිරීම නිල බලයෙන්ම ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා වෙත පැවරෙනවා. විශේෂත්වය වන්නේ ගෘහ නිර්මාණ ශිල්පය අතින් ගත්කළ මෙම නිල නිවෙස් දෙකෙහිම කිසිදු වෙනසක් නොවීමයි. මෙම නිවෙස් දෙක අතර දුර අඩි පන්සීයක් පමණ වනවා.

 

ඔබ මෙතෙක් දැන නොසිටි රාජ්‍ය නායක නිල නිවාස කීපයක් ගැන තොරතුරු කෙටියෙන්ම ඔබ වෙත ගෙන එන්න සමත් වුණා කියලා අපි හිතනවා. එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *