ලේයර් තුනක්, හොඳ ආවරණයක්, වෛරසයට වැටක් කියලා මාස්ක් ඇඩ්වර්ටීස්මන්ට් වල යනවා. කඩේකට මාස්ක් එකක් ගන්න ගියත් කඩේ ඉන්න මනුස්සයා ටීවී එකේ ටූත්පේස්ට් ඇඩ් එකේ ඉන්න බොරු දොස්තර උන්නැහේ වගේ ඒ කඩේ තියෙන මාස්ක් එකේ තියෙන විශේෂතා ගැන අපිට කියා දෙනවා. කොවිඩ් සඳහා එන්නත් එහෙන් මෙහෙන් විදාරණය වුණත් තාමත් මාස්ක් දැමීම වෛද්‍ය අංශ විසින් දියුණු රටවල පවා නිර්දේශ කරලා තියෙනවා. ඉතින් මාස්ක් නිසා අපේ ජීවිතවල මොනවාද වෙනස් වුණේ කියලා අපි ටිකක් හොයලා බලමු.
1. සෝෂල් කන්ටැක්ට් අඩුවීම
බටහිර රටවලටත් වඩා කොවිඩ් තත්ත්වය නිසා ආසියානු අපිට ටිකක් ලොකු ෂොක් එකකට මූණ දෙන්න වෙලා. මාස්ක් එක දානවා විතරක් නෙමෙයි, ඉස්සර වගේ සිප වැළැඳගන්න, අත පත ගාන්න දැන් ඉඩකඩ අඩුයි. ඉස්සර අපි කාලෙකට පස්සේ දෙමාපියෝ බලන්න, ඥාතීන් බලන්න ගම් රටවලට ගියාම සීයලා ආච්චිලා ඥාති කුඩා උන් වඩාගෙන “ආනේ මගේ කොල්ලා දැන් උස ගිහින්, මේ දෝණියාට දැන් දිග කොණ්ඩෙකුත් තියෙන්නේ” කියලා වඩාගෙන ඉඹලා හුරතල් කරනවා. ඒත් අලුත් තත්ත්වය එක්ක ඒ බැඳීම් අපිට අකමැත්තෙන් වුණත් අඩු කරන්න වෙලා තියෙනවා. මාස්ක් එකක් දාගෙන, මීටරෙන් ඉඳගෙන ඥාතීන්, ළඟම යාළුවන් ඇසුරු කරන්න වීමත් නිකන් දඬුවමක් වගේ අත්දැකීමක්.
2. මුහුණේ ඉරියව් මග හැරීම
කෙනෙක් දකින විට අපිට කෙලින්ම මූණ පෙනිලා, මුහුණේ ඉරියව් හරහා එම පුද්ගලයා ගැන ඉක්මන් විනිශ්චයකට එන්නට අපිට හැකි වෙනවා. මෙය මිනිසා ගල් යුගයේ සිට ප්‍රැක්ටිස් කරපු දෙයක්. අපි ඉස්සරහා ඉන්න මනුස්සයා අපි එක්ක කතාකරන්න සූදානමින්ද ඉන්නේ? එයා තරහින්ද ඉන්නේ කියලා අපිට මූණේ ඉරියව් හරහා හඳුනාගන්නට පුළුවන්. ඒත් කොරෝනා තත්ත්වය නිසා මූණ වැහෙන්න ගත්තාම අපිට පුද්ගලයා කියන වචන ඇහුනත්, ඔහු ඒවා කියන්නේ මොන මූඩ් එකෙන්ද කියන එක අල්ලාගන්නට බැරි වෙන එක ලොකු ප්‍රශ්නයක් වෙනවා.
3. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න
කොවිඩ් තත්ත්වයට මුහුණ ආවරණය කරගැනීම නිසා අපිට පුද්ගලයින් වෙන්කරලා හඳුනාගන්නට බැහැ. ඉස්පිරිතාලයක නම් සම්පූර්ණ කොරෝනා ආරක්ෂිත ඇඳුම ඇඳන් ඉන්නේ වෛද්‍යවරයාද, හෙදියද කියලාත් හඳුනාගන්නට අපහසුයි. ඉතින් මේ තත්ත්වය ආරක්ෂාවට තර්ජනයක් වෙනවා. මෑතකදී කොරෝනා කාලයේ මාල කඩා ගැනීම්, මුදල් පසුම්බි පැහැරගැනීම් ආදියත් වැඩි වෙලා තිබුණා. මුහුණෙන් බාගයක් වැහෙන්නට මාස්ක් දාලා, ඉන් ඉදිරිපිට තවත් ශීල්ඩ් එකකුත් පැළැඳුවාට පස්සේ අපි හොඳින්ම දන්න කියන කෙනෙක් වුණත් හඳුනාගන්නට කලින්ට වඩා වැඩි වෙලාවක් යනවා. එය ස්ථාන ආරක්ෂා කරන, දේපල ආරක්ෂා කරන ආරක්ෂකයින්ට, සිකුයිරිටි සර්විස් වලට ආපු අලුත්ම අභියෝගයක්.
4. මුහුණට හුළං වැදීම
රෝගයේ තියෙන බරපතළකම එක්ක බැලුවාම මූණට හුළං ටිකක් නොවැදීම මහා ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් සමහර අයට මේ ප්‍රශ්වාස වාතය නැවත ගැටීම සහ මාස්ක් වල තියෙන මැටීරියල් මූණට නරකට බලපානවා. ඇතැමුන්ට මාස්ක් දැමීම නිසා මූණ රතුවෙලා, දාඩිය දමලා මූණේ වර්ණය පවා වෙනස් වෙනවා. වෙනදා පුරුද්දකට අපිට එළියට පහලියට ගියත් වෙනදා වගේ කටට, මූණට, නහයට හිතේ හැටියට හුළං ටිකක් වැදෙන්නේ නැති එකත් ලොකු අඩුපාඩුවක් විදිහට අපිට දැනෙනවා.
5. පෙම්වතුන්ට තියෙන ප්‍රශ්න
මාස්ක් ගොඩක් අස්සේ පෙම්වතාව, පෙම්වතියව හඳුනාගන්නට නම් අනෙකාට අපහසු වෙන එකක් නැහැ. මොකද හුරු පුරුදු ඇස් දෙක කියන්නේ පෙම්වතුන්ගේ මූලික ආකර්ෂණීය සාධකයක්. ඒත් මාස්ක් එක නිසාත් කොවිඩ් නීති නිසාත් බස් දුම්රිය සහ පොදු ස්ථානවල පෙම් කරපු ජෝඩු වලටත් ඈත් වෙලා ඉන්නට වෙලා. දුම්රියේ, බස් එකේ ළඟ වාඩිවෙලා එක හුස්ම සැර විඳගෙන, එකිනෙකා සමග කතාබහ කරමින් ගිය ජෝඩු දැන් දකින්නට ලැබෙන්නේ අඩුවෙන්. මාස්ක් එකෙන් ප්‍රේමයට ලොකු අවුලක් නැතත් ඉස්සර බොහොම ළඟින් හිටපු කට නාසය දැන් මාස්ක් ලේයර දෙකකින් බොහෝම දුරස්වෙලා කියලා ඔවුන්ට පොදු තැන්වලදි හිතෙනව ඇති.
6. හැම හංදියේම ලාබෙට මාස්ක්
මාස්ක් ආපු දවස්වල මාස්ක් එකක් සෑහෙන මිල අධික දෙයක් වුණා. කොරෝනා චීනේ තිබුණ 2020 මාර්තු කාලයේ ලංකාවේ ෆාමසි වල සර්ජිකල් මාස්ක් එකක් රුපියල් සීයකටත් වැඩි වුණා. ඒත් දැන් රුපියල් සීයකට මාස්ක් 5-6ක් ගන්න පුළුවන් මට්ටමට මාස්ක් ඇවිල්ලා. 2020 අප්‍රේල් මාසේ වගේ මාස්ක් කරළියට ආවට පස්සේ එයිනුත් මූණට වඩාත් සෞම්‍ය, මූණ ලස්සන කරන විවිධ ආකාරයේ මාස්ක් ආවා. ඒත් කාන්තාවන් පවා ආරක්ෂාවට වැඩි තැනක් දීලා, සර්ජිකල් සහ කේ එන් 95 වර්ගයේ මාස්ක් භාවිතා කරන්නට දැන් කොරෝනා ලංකාවේ තියෙන කාලේ පෙළඹිලා තියෙනවා. වෙනදා පිටකොටුවේ යට ඇඳුම්, සෙල්ලම් බඩු, ගෙදර දොර ගැජට්ස් තිබූ පේමන්ට් වල පවා දැන් විවිධ ආකාරයේ සර්ජිකල් සහ කේ එන් 95 මාස්ක් විකුණන්නට තබා තිබෙනවා. ඒ වගේම තරඟයට මෙන් මාස්ක් වල මිල ගණන්ද ලොකුවට ඒ තැන්වල සටහන් කර තිබෙනවා.
7. මාස්ක් දමා හොඳ ළමයකු වන්න
‘සිරිමත් මගෙ සකි යහපත් ළමයෙකි’ කවි පංතියේ උදේ නැගිටලා, මූණ හෝදලා, දෙමාපියන්ට වදයක් නොවී විනයවත්ව ඉන්න සිරිමත් හොඳ ළමයෙක් ය කියලා පෙන්නලා තියෙනවා. ඒ විදිහට පොඩි ළමයෙක්ට නම් හොඳ ළමයෙක් වෙන්න, වැඩිහිටියෙක්ට නම් වගකිවයුතු ලාංකික පුරවැසියෙක් වෙන්න කරන්න කියන්න ඕනි දේවල් සමාජය සහ සංස්කෘතීන් මගින් අපිට කියා දෙනවා. දැන් විවිධ සංස්කෘතීන් සියල්ලකම, සෑම රටකම පාහේ මාස්ක් පළඳින පුද්ගලයා හොඳ වගකීමක් ඉටුකරන පුද්ගලයෙක් විදිහට හුවාදැක්වෙනවා. ඒ එක්ක මාස්ක් එකක් නැතුව බස් එකකට, පොදු තැනකට පිවිසෙන පුද්ගලයා මාස්ක් නීති තියෙන තැන්වලදි පිළිකුලට, අවඥාවට භාජනය වෙනවා.
පිරිමි ගමනක් යන්නට මත්තෙන් රැවුල කපලා, මූණ හෝදලා, නාස් සිදුරු වලින් එළියට එන මවිලුත් කපලා ගමනට ලක ලෑස්ති වෙනවා. ගෑණු අය නම් කටේ තොලේ ගාන ලිප්ස්ටික් ප්‍රමාණය, මූණට හලන මේකප් ප්‍රමාණය, එයාලා යන අවස්ථාව අනුව වෙනස් වෙනවා. ඒත් ඒ මොනවා කරගෙන ගියත් දැන් මාස්ක් එක නිසා පේන්නේ නැහැ. ලස්සන ලිප්ස්ටික් එකක් ලාබෙට හම්බුනත්, මගතොටදී හමුවෙන යාළුවන්ට ඒක පෙන්වන්න හැටියක් නැහැ. වැඩි මිලක් දීලා ගෙදර අරං ගිය අලුත් ට්‍රිමර් එකෙන් පට්ට රැවුල් කට් එකක් ගැහුවත් පාරේදී, පොදු තැනදි හමුවෙන අයට ඒක දැන් පේන්නේ නැහැ කට වහන මාස්ක් එක නිසා. ඔය විදිහට මාස්ක් නිසා අපේ සමාජයේ වෙනස් වුණ දේවල් තියෙනවා. කොරෝනා ලංකාවට වැදුණු 2020 මාර්තු වලට පෙර ජීවිතය සහ දැන් ජීවිතය තුළ අපිට හැම මූණක්ම මාස්ක් එකක් එක්ක දකින්න වීම කොරෝනා නිසා සිදුවෙච්චි සමාජ වෙනසක්ම් වල මූලික දෙයක්.
Leave a Reply