2021 අවුරුද්දේ එන්න තියෙන හොඳ හොලිවුඩ් ෆිල්ම්ස් මොනවද?

2020 අවුරුද්ද මුළු ලෝකෙටම ඒ තරම් හොඳ අවුරුද්දක් වුණේ නැහැ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ජනවාරි, පෙබරවාරි, ලොක් ඩවුන්, දෙසැම්බර්! ඒක ඇත්තටම අනික් සෑහෙන්න දේවල් වලට වගේම සිනමා කර්මාන්තයටත් බලපෑවා. මේ අවුරුද්දේත් අපිට ෆිල්ම්ස් රිලීස් වෙනවා දකින්න පුළුවන් වුනාට, ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලපු කාලයක් මතක් කරගන්න එක ටිකක් අමාරු වැඩක්. ලංකාවේ එහෙමනම් තාමත් බැහැනේ.

 

හරි, එහෙමයි කියලා අපි 2021 අවුරුද්ද ගැන බලාපොරොත්තු අතඇරගන්න නරකයි. විශේෂයෙන්ම 2021 අවුරුද්දේ එන්න තියෙන හොලිවුඩ් ෆිල්ම්ස් සෙට් එක දැක්කහම ආස හිතෙනවා, හා නැද්ද? අන්න ඒ නිසා අපි හිතුවා 2021 අවුරුද්දේ එන්න තියෙන, හොලිවුඩ් ෆිල්ම් ලෝලියෝ සෑහෙන්න එක්සයිට් වෙන ෆිල්ම්ස් ලිස්ට් එකක් ඉදිරිපත් කරන්න.

 

1. Fast And Furious 9

ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ෆිල්ම් සීරීස් එකේ අන්තිමට ආපු ෆිල්ම් කීපයේදීම හැමෝම හිතුවේ මේක තමයි සීරීස් එකේ අන්තිම ෆිල්ම් එක කියලා. හැබැයි නෑ. එක දුෂ්ටයෙක්ව පරද්දන කොට ඊට හපන් තව දුෂ්ටයෙක් එනවා. පරණ දුෂ්ටයා හොඳ වෙලා යාළු වෙනවා. හැබැයි The Fate of the Furious එකේදී අපි දන්නවා Fast And Furious 9 එකක් එනවා කියලා. මොකද දුෂ්ටයා වෙන සයිෆර් බේරිලා පැනලා යනවනේ. හැබැයි දැන් ඩොන්ට සහ ටීම් එකට ෆයිට් කරන්න තියෙන්නේ සයිෆර් එක්ක විතරක් නෙවෙයි. මාස්ටර් ලෙවල් එකේ හොරෙක් සහ කුලී ඝාතකයෙක් වෙන ඩොමිනික් ටොරේටෝගේම බාල සහෝදරයා ජේකබ් ටොරේටෝත් සයිෆර් එක්ක එකතු වෙනවා. කොහොම ඇක්ෂන් පිරුණු ෆැමිලි ඩ්‍රාමා එකක් අපිට බලාගන්න පුළුවන් වෙයිද! ඒ මදිවට, ජේකබ් ටොරේටෝට රඟපාන්නේ ජෝන් සීනා!!

 

 

 

2. Venom: Let There Be Carnage

අපි ඉස්සර බලපු ස්පයිඩර් මෑන් ෆිල්ම් වල එහෙම Venom කියන්නේ දුෂ්ටයෙක්නේ. හැබැයි 2018 දී ආපු Venom ෆිල්ම් එකේදී අපි දකිනවා බැලූබැල්මට Venom කියන්නේ දුෂ්ටයෙක් වගේ පෙනුනට, ඇත්තටම ප්‍රතිවීරයෙක් කියලා. හැබැයි ඒ ෆිල්ම් එකේදී Venom ට ඇත්තටම ප්‍රබල සතුරෝ එක්ක ෆයිට් කරන්න වුනේ නෑ. හැබැයි 2021 දී එන්නට නියමිත Venom: Let There Be Carnage ෆිල්ම් එකේ Venom ගේ පරම හතුරෙක් වෙන, ඒ පිටසක්වල වර්ගයේම ප්‍රබල දුෂ්ටයෙක් වෙන Carnage තමයි සටනට එන්නේ. තනියෙන් නෙවෙයි. Venom ගේ බඩියා වෙන  එඩී බ්‍රෝක් ගේ පසමිතුරෙක් වෙන සීරියල් කිලර් කෙනෙක් වෙන ක්ලීටස් කැසඩිගේ ඇඟට රිංගලා තමයි Carnage එන්නේ. එතකොට කොහොම මරාගැනිල්ලක් තියේවිද කියලා හිතන්න පුළුවන් නේ! එතකොට ස්පයිඩර් මෑන්? ඔව්, එයත් ඉන්නවා!

 

 

 

3. Mission: Impossible 7

මිෂන් ඉම්පොසිබල් සීරීස් එකේ අන්තිම මිෂන් එක දකිනවා කියන්නේත් ඇත්තටම ඉම්පොසිබල් දෙයක් කියලා තමයි ගොඩක් අය කියන්නේ. වෙන්න පුළුවන්. මොකද මිෂන් ඉම්පොසිබල් සීරීස් එකේ හත් වෙනි ෆිල්ම් එකත් ඔන්න දැන් එන්න යන්නේ. ඉම්පොසිබල් මිෂන් යුනිට් එකේ හොඳම ඒජන්ට් වෙන ඊතන් හන්ට් තමන්ගේ ප්‍රේමවන්තියවත් කැප කරලා රට බේරගන්න විතරක් නෙවෙයි, ලෝකෙම බේරගන්න සිද්ධ වෙන ලෙවල් එකේ මිෂන් වල යෙදෙනවා. දිවි පරදුවට තියලා කොහොම හරි දුෂ්ටයන් අතින් ලෝකෙට වෙන්න තියෙන මහා විනාශ වළක්වනවා. කොහොම වුනත් තාමත් MI7 එකේ කතාව මොකක් වෙයිද කියලා හරියටම දැනගන්න නැතත්, මේකෙදී නිකම්ම ඊතන් හන්ට් විතරක් ප්‍රමුඛ නොවී, මුළු ටීම් එකම ප්‍රමුඛ වෙයි කියලා තමයි අහන්න ලැබෙන්නේ. අලුත් දුෂ්ටයොත් එයි, අලුත් ප්‍රේමයකුත් ඊතන්ට ලැබෙයිද?

 

 

 

4. Spider-Man 3

ඇත්තටම අලුත් ස්පයිඩර් මෑන් සීරීස් එකේ අර ගිය අවුරුද්දේ අපි බලපු Spider-Man: Far From Home චිත්‍රපටියට දෙවෙනි කොටසක් විදියට එන්න නියමිත මේ Spider-Man 3 එකට ඇත්තටම තාම විශේෂ ටයිටල් එකක්වත් තියෙනවද කියලා අපි දන්නෙ නෑ. හැබැයි අපි Spider-Man: Far From Home චිත්‍රපටියේදී දැක්කා, මිස්ටීරියෝ තමන්ගේ අන්තිම පළිගැනීම විදියට ස්පයිඩර් මෑන්ව දුෂ්ටයෙක් බවට පත් කරන හැටිත්, එතනින් නොනැවතී ස්පයිඩර් මෑන්ගේ අනන්‍යතාවය හෙළි කරන හැටිත්. දැන් පීටර් පාකර්ට සමහර වෙලාවට අලුත් ෆිල්ම් එකේ තමන් ස්පයිඩර් මෑන් කියන එක හංගන්න පුළුවන් වුනත්, තමන්ට ගෑවුණු දුෂ්ට නාමය නම් පිරිසිදු කරගන්න එක සෑහෙන්න අභියෝගයක් වෙයි. ඒ වගේම අලුත් දුෂ්ටයන්ටත් මුහුණ දෙන්න සිදුවෙයි කියලා අපිට ටක්කෙටම කියන්න පුළුවන්! හැබැයි දූෂමාන ආරංචි වල විදියට පීටර් පාකර්ට මුහුණ දෙන්න සිද්ධ වෙන ගැහැට අඩු ගාණේ නීතිය පැත්තෙන් විසඳලා දෙන්න හරි, හෙල්’ස් කිචන් එකේ ඩෙයාර්ඩෙවිල් වෙන තරුණ, අන්ධ නීතීඥ මහතා මැට් මර්ඩොක්ගේ උදවු ලැබෙන්න නියමිතයි!!

 

5. Matrix 4

මෙට්‍රික්ස් කියන්නේ සහශ්‍රකයේ ආරම්භය මුවවිටේ ඉඳලා අවුරුදු කීපයක් ඇතුළතදී අපේ සිනමා අත්දැකීම් වල නිම් වළලු පුළුල් කරපු චිත්‍රපට මාලාවක්. විශේෂයෙන්ම කෙයානු රීව්ස්ව අපි ඊට කලිනුත් විවිධ චිත්‍රපට වල දැකලා තිබුණත්, කෙයානු රීව්ස් අපේ වීරයෙක් වෙන්නේ මෙට්‍රික්ස් හරහා. හැබැයි අන්තිම මෙට්‍රික්ස් ෆිල්ම් එක වුණු The Matrix Revolutions අවසානය කොයි තරම් උද්වේගකර වුණත්, ඒක අපිට ලෝකෙට ඇත්තටම මොකද වුණේ, මොකද්ද මේ හැමදෙයක්ම ගැටගැහිලා තියෙන රහස කියන එක ගැන සම්පූර්ණ හෙළිදරවුවක් කරන්නේ නෑ. හැබැයි ඔන්න Matrix 4 එනවා තව දුරටත් නියෝ සහ ට්‍රිනිටිගේ වීර වික්‍රමයන් සමගින්. එහෙම කිවුවට ඇත්තටම මෙට්‍රික්ස්ද නැතිනම් මනුෂ්‍ය සංහතියද කියන තීරණාත්මක කාරණය අපිට දැකගන්න ලැබෙන්නෙත් මේ ෆිල්ම් එකේදී වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත්, මොන විදියේ රහස් හෙළිදරවු වුණත්, Matrix 4 ෆිල්ම් එකත් සම්පූර්ණ ක්‍රියාදාම සපිරි චිත්‍රපටයක් වෙයි කියලා නම් අපිට හිතන්න පුළුවන්!

 

 

6. John Wick: Chapter 4

ජෝන් වික් ජීවත් වෙන්නේ කුලී ඝාතන සිද්ධ කරන ලෝක ව්‍යාප්ත සංවිධානයක් ලෝකේ හැමතැනකටම අඬු පඬු විහිදුවලා තියෙන විශ්වයක. ජෝන් වික් කියන්නේ මේ කුලී ඝාතන කලාවේ ඉහළම තැනක වැජඹෙන, අතිශයින්ම භයානක සටන්කරුවෙක් කිවුවොත් හරි. කොහොම නමුත් විශ්‍රාම ගත්තු ජෝන් වික්ව නැවතත් ඝාතන ලෝකයට අරගෙන ඇවිත් ඔහුට වැරදි කරපු අයගෙන් ජෝන් බොහොම බිහිසුණු විදියට පළිගන්නවා. හැබැයි ජෝන් වික් තුන්වෙනි චිත්‍රපටය අවසාන වෙන්නේ ජෝන්ගේ විශ්වාසවන්තයා කියලා හිතාගෙන හිටපු අවසාන පුද්ගලයාත් ජෝන්ට ද්‍රෝහී වුණාට පස්සේ. හැබැයි ප්‍රේක්ෂක අපේ හිතේ කොණක තියෙනවා ඒකත් පොඩි ඩ්‍රාමා එකක්ද කියලා. මොකද, මේ John Wick: Chapter 4 චිත්‍රපටියේදී ජෝන් වික් යුද්ධ ප්‍රකාශ කරන්න යන්නේ, කාටවත් අත තියන්න බැහැයි කියලා හැමෝම හිතාගෙන ඉන්න මේ කුලී ඝාතකයින්ගේ ලෝකයේ කිරුළු දරණ ඉහළම අයට එරෙහිව. අපි මෙතෙක් බලපු හැම ජෝන් වික් ෆිල්ම් එකකටම වැඩිය මේක ත්‍රාසජනක වෙයි කියලා තමයි අපි හිතන්නේ!

 

7. Jurassic World: Dominion

අනූව දශකයේ ජුරාසික් පාර්ක් චිත්‍රපටිය බලපු හැමෝගේම සිත් සතන් වල ඩයිනසෝරයන්ව ලකුණු කරපු මයිකල් ක්‍රිච්ටන්ගෙන් පස්සේ ජුරාසික් පාර්ක් වර්ගයේ චිත්‍රපටි කීපයක් හැදුණා. හැබැයි මෑත කාලයේදී අවධානය දිනාගන්නට සමර්ථ වුණේ ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටිය. මේක වඩාත් භයානක ඩයිනසෝරයන් සහ භීතිය එකතු කරලා නිර්මාණය වුණු අතර, ඒකේ දෙවෙනි කොටස Jurassic World: Fallen Kingdom දූපතක සිර වෙලා හිටපු ජුරාසික් යුගයෙන් ප්‍රතිනිර්මාණිත ඩයිනසෝරයන්ව මිනිසුන් වාසය කරන ප්‍රධාන භූමියට ගෙන ඒම සහ, අවසානයේ මේ ඩයිනසෝරයන් නිදහස්ව යෑම පෙන්නනවා. හැබැයි මිනිස් ජනාවාසයන්ට නිදහස් වෙන මේ ඩයිනසෝරයන් නිසා මොන විදියේ භයානක බලපෑමක් ලෝකෙට ඇති වෙයිද? ආහාර දාමය නැවත සකස් වෙනු ඇතිද? මනුෂ්‍යයාට මේ ලෝකේ ඉහළින්ම තියෙන තමන්ගේ තැන ඩයිනසෝරයන්ට දෙන්නට සිද්ධ වෙයිද වගේ කාරණා Jurassic World: Dominion චිත්‍රපටියත් එක්ක අපිට දකින්න පුළුවන් වෙයි!

 

8. Avatar 2

ජේම්ස් කැමරන්ගේ ඇවටාර් චිත්‍රපටිය බලපු කෙනෙක්ට අති චිත්තාකර්ෂණීය පැන්ඩෝරා ග්‍රහලෝකය කවදාවත්ම අමතක වෙන්න විදියක් නැහැ. ඇවටාර් චිත්‍රපටියෙන් පස්සේ ඒකේ දෙවෙනි කොටසක් ගැන ගොඩක් දෙනෙක් නොහිතුවත්, ඔන්න ඇවටාර් දෙවෙනි චිත්‍රපටියකුත් එනවා. මේක ඇත්තටම පාදක වෙන්නේ ඇවටාර් මුල් චිත්‍රපටියේ පෘථිවියෙන් පැන්ඩෝරාව කොල්ල කන්න එන මනුෂ්‍ය කොල්ලකරුවන්ව පලවා හැරීමෙන් පසු අවුරුදු 13 කුත් ගත වුනාට පසු කියලා තමයි කියවෙන්නේ. කතාවේ හැටියට ජේක් සූලී සහ නයීත්‍රී තමන්ගේම කියලා පවුලක් පන්සලක් වෙලා, පැන්ඩෝරාවේ තියෙන සාමකාමී ජීවිතේට හුරු වෙලා ඉන්නවලු. හැබැයි කොහොම වුනත් මේ අයට යම් යම් හේතූන් නිසා පැන්ඩෝරාවේ වෙනත් ප්‍රදේශ ගවේෂණය කරන්න සහ ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු හොයන්නත් සිද්ධ වෙනවලු. හැබැයි අපි කලින් බලපු ඇවටාර් චිත්‍රපටයේ මට්ටමින් තියලා බැලුවොත්, ඇවටාර් 2 චිත්‍රපටයේත් අපිට පැන්ඩෝරාවේ පැවැත්මට අලුත් තර්ජනයන් සහ ඒ වෙනුවෙන් ජීවිතය පරදුවට තියලා පැන්ඩෝරාවේ නාවි වරුන් සටන් කරනවාත් බලන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා!

 

 

 

හැබැයි මේ ඉස්සරහ අවුරුදු දෙකේ එන්න තියෙන චිත්‍රපටි කීපයක් විතරයි. ඇත්තටම කිවුවොත් Sequels නැතිනම් මින් පෙර අපි නරඹපු චිත්‍රපටි වල ඉදිරි භාගයන් විතරයි. චිත්‍රපටි ලෝලීන්ගේ උද්දාමය දෙගුණ තෙගුණ කරන තව ඔරිජිනල් ෆිල්ම් සෙට් එකකුත් ඉදිරියේදී එන්න නියමිතයි. ඒ ගැන අපි ඉස්සරහදී බලමු!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *