අලුත් බබෙක් ඉන්න අම්මෙකුට මඟහැරෙන නින්ද ලබාගන්න ක්‍රම

පුංචි බබෙක් ඉපදුණ අලුත ඒ ගෙදර අයට නිදාගන්න වෙනව කියල කියන්නෙනම් හීනයක්. මොකද චූටි බබා රෑ දවල් අඳුරන්නෙ නැති නිසා එයාට හරි නින්දකට හුරුවෙන්න සෑහෙන්න කාලයක් යනව. ඉතින් සැරින් සැරේ නිදාගත්තට රෑ පුරා හරි නින්දක් නිදාගන්නෙ නැහැ. වැඩේ කියන්නෙ බබා බලාගන්න අයටත් එයා එක්කම නැගිටල ඉන්න වෙනවනෙ. දරුවෙක් හදන එකේ අමාරුව තවත් හොඳින් දැනෙන කාලයක් තමයි මේක. වැඩිම අමාරුව අම්මට තමයි. මොකද බබාට කිරි දෙන්න, බබාගෙ නැපි මාරු කරන්න සැරින් සැරේට නැගිටින්නම වෙනව. ප්‍රසූතියේ අපහසුතා, තුවාල වේදනා වගේම හෝර්මෝන වෙනස් වීම් නිසා ඇතිවෙන මානසික අසමතුලිතතා එක්ක මේ නින්දත් අහිමි වෙන එකනම් පොඩ්ඩක්වත් ලේසි නැහැ අලුත් අම්ම කෙනෙකුට. ඉතින් මේ කතා කරන්න යන්නෙ අලුත ඉපදුණ කිරි දරුවෙක් ඉන්න අම්ම කෙනෙකුට මඟහැරෙන නින්ද ලබාගන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි. ඔයාටත් අලුත් බබෙක් ඉන්නවනම්, නැත්තම් අලුත් බබෙක් ගේන්න ඉන්නවනම් මේක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්.

 

1. නින්ද ගැන කලින්ම ප්ලෑන් කරන්න

මේ කියන්නෙ බබා හම්බෙන්නත් කලින් කාලේ ගැන. හුඟක් අය දැනගෙන හිටියට බබා ලැබුනම නිදිමරන්න වෙනව කියල ඒකට පෙර සූදානමක් නැහැ. ඒ කියන්නෙ මේ නින්ද අහිමිවීම ගැන හිතලවත්, සැමියා බිරිඳ දෙන්න එක්ක කතාකරලවත් නැහැ. එතකොට මානසිකව උනත් මේ අහිමිවෙන නින්ද දරාගන්න හරි අමාරුයි. අන්න ඒ නිසා කලින් ඉඳලම සූදානම් වෙන එක මේ අමාරු කාලෙ ගෙවාගන්න ලොකු උදව්වක්. 

බබා ලැබෙන්න ඉන්න කාලෙම දෙන්න දෙමහල්ලෝ එක්ක මේ විදිහට නිදිමරන්න වෙනව, අපි ඒක බැලන්ස් කරගන්නෙ කොහොමද, දෙන්නත් එක්ක වැඩ බෙදාගෙන කරන්නෙ කොහොමද කියල කතාබහ කරල තියාගන්න. ඒකට අවශ්‍ය අමතර දේවල්, ඒ කියන්නෙ baby cot, baby monitor, breast pump, bottles වගේ දේවල් තියෙනවනම් බබාගෙ බඩු ගන්නකොටම ඒවත් සූදානම් කරගන්න.

 

2. බබා එක්කම නිදියන්න

ඊළඟ විදිහ තමයි බබා නිදියන වෙලාවට ටික ටික නිදියන්න පුරුදු වෙන එක. මේ මුල්ම කාලෙ බබා නිදියනකන් ඉඳල ගෙදර වැඩ කරන්නනම් තියාගන්න එපා. ඒකෙන් වෙන්නෙ අම්මා තවත් stress වෙන එකයි. ඒ නිසා බබා නින්දට යනකොටම දවල්ද රෑද කියල නොහිතා අම්මත් කෙටි නින්දක් හරි ලබාගන්න. මොකද මුල්ම දවස්වල තියෙන වෙහෙස, මානසික මට්ටම එක්ක ගෙදර පිළිවෙල වෙනවට වඩා අම්ම සතුටින්, නිරෝගීව ඉන්න එක තමයි අලුත් කිරි දරුවට වගේම පවුලටත් වැඩියම වැදගත්.

 

3. පුළුවන් තරම් උදව් ගන්න

ගෙදර හැමෝගෙන්ම පුළුවන් තරම් උදව් අරගන්න. ගෙදරට එන අහල පහළ ලඟම නෑදෑ හිතවත් අයගෙන් උනත් කමක් නැහැ. උදව් ගන්න පුළුවන් ඕනම කෙනෙකුගෙන් උදව් අරගෙන මේ අමාරු දවස් කීපය ගෙවාගන්න. අම්මට ටිකක් නිදාගන්න බබා බලාගන්න, බබාගේ රෙදි හෝදන්න, වේලන්න, අයන් කරන්න, උයන්න වගේ ඕනම වැඩකට පුළුවන් තරම් උදව් අරගන්න. ඒ හැම වැඩක්ම අම්මගෙ ඔළුවේ තිබුණොත් නිදියන වෙලාවටවත් අම්මට මානසික නිදහසක් ලැබෙන්නෙ නැහැනේ. 

 

4. වැඩ පහසු කරන ක්‍රම

අනිත් කාරණේ තමයි වැඩ පහසු කරන ක්‍රම. පුළුවන් තරම් අලුත් ක්‍රම පාවිච්චි කරන්න. Breast pump එකක් පාවිච්චි කරල මව්කිරි දොවල තියන්න පුළුවන්. බබාට පොඩි කාලේ ඉඳන්ම බෝතලයක් හුරු කරලා, ඒ දොවපු කිරි වේලක් පොවන එක කාටහරි බාරදීලා අම්මට ටිකක් වෙලා එකදිගට නිදාගන්න පුළුවන්. 

රෑ තිස්සේ බබා තෙමාගෙන නැගිටින එක නැතිකරන්න ඩයපර්ස් භාවිතා කරන්න පුළුවන්. නැත්තම් පැය 2-3කට සැරයක් කිරි දෙනවට අමතරව ඒ අතර මැදට නැපි මාරු කරන්නත් නැගිටින්න එපැයි. ඩයපර්ස් භාවිතය ගැන මීට කලින් “බබාලට ඩයපර්ස් අන්දන අම්මලාට වැදගත් වෙන කරුණු” කියන ලිපියෙන් අපි වැඩිදුර විස්තර කතා කළා. 

ඒ වගේම බබාගෙ රෙදි ඇරුනහම ගෙදර අනිත් රෙදි, ලොකු බෙඩ් ශීට්, කර්ට්න්ස් වගේ දේවල් laundry එකකට බාරදීලා හෝදවගන්න පුළුවන්. ඒ වගේ පහසුව ගේන ක්‍රම ඕනතරම් තියනවා ටිකක් හොයල බැලුවොතින්.

 

5. බබාගේ නින්ද ගැන අවධානය  

ඊළඟ ක්‍රමය තමයි බබා එකදිගට ටිකක් වැඩිපුර නිදියන්න හුරු කරගන්න එක. “අලුත උපන් බබා​ගේ නින්ද ගැන කරුණු දැනගනිමු” කියන ලිපියෙන් අපි මේ ගැනත් කතා කළා. බබා එක දිගට නිදියන්නෙ නැත්තම්, රෑට නිදියන්නෙ නැත්තම් රෑ දවල් වෙනස කියල දීලා බබාව නින්දට හුරු කරවන්න ඕන. මොනදේ කරලා උනත් බබා රෑ තිස්සේ ඇහැරගෙන එකදිගට අඬනවනම් ඒ කෝලික් වගේ තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මුණගැහිලා ප්‍රතිකාර ගන්න වෙනවා. මේ කොයි දේ දැනගන්නත් බබා නිදියන රටාව ගැන හොඳ අවබෝධයෙන් ඉන්න.

 

6. ගෙදරට එන අමුත්තන්

බබෙක් ඉපදුණ අළුත ඒ බබා බලන්න ගෙදරට අමුත්තෝ එන එක සාමාන්‍ය දෙයක්. මේ covid වෛරසය කාලෙ නිසා අමුත්තෝ එන එකනම් නතරම කරන්න ඕන. හැබැයි එහෙම නැතුව සාමාන්‍ය කාලෙකදිනම් එහෙම අමුත්තෝ නෑවිත්ම ඉන්නෙ නැහැනෙ. හැබැයි මේ එන අමුත්තෝ පුළුවන් තරම් filter කරන්න. උදව් කරන, හිත හොඳ, අඩුපාඩු නොසොයන මට්ටමේ අය ගෙන්න ගත්තට අනික් කරදරකාර අමුත්තෝ ගෙන්න ගන්න එපා. බබාට මාස තුනක් වෙනකම් එන්න එපා වගේ කතාවක් බොහොම හොඳින් කියලා එයාලව මඟ හරින්න. නැත්තම් එයාලට සලකන්න ලෑස්ති වෙන එක අම්මට තවත් වෙහෙසක්.

 

7. Relax වෙන්න

ඊළඟ එක තමයි පුළුවන් හැම වෙලාවේම විවේකී සුවයෙන් ගතකරන එක. බබා නිදි වෙලාවට නිදාගන්නම බැරි වෙන්න පුළුවන්. මොකද බබාට පුළුවන් උනාට අපිට දවල් ආලෝකයේ නින්ද යනවා අඩුයි. අනික අලුත් බබෙක් නිසා එයා ඇහැරෙයිද කියන බයත් එක්ක කොහොමත් නිදාගන්න අමාරුයි. හැබැයි ඒ උනත් එයා ළඟ පැත්තකින් ඇලවෙලා හරි ඉන්න. මහන්සි වෙලා වැඩ කරන්න යන්න එපා. නින්ද නැතත් විවේකය හරි ලැබෙනවනේ. ඒ වෙලාවට මනස සන්සුන් කරන සංගීත ඛණ්ඩයක් හරි අහන්න පුරුදු වෙන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *