ඊවා පෙරෝන් – ආර්ජන්ටිනානු ආධ්‍යාත්මික නායිකාව…

ඇයව සැලකෙන්නේ ආජන්ටිනාවේ ආධ්‍යාත්මික නායිකාව ලෙසටයි. එරට පළමු කාන්තා ජනාධිපතිවරයා බවට පත්වූ  ක්‍රිස්ටිනා ෆර්ඩිනැන්ඩස් පවසා සිටියේ තම පරම්පරාවේ කාන්තාවන් සටන්කාමීත්වය සහ ඉලක්ක පසුපස හඹා යාම ඉගෙන ගත්තේ ඊවා පෙරෝන්ගෙන් බවයි. දුගී දුප්පත්බවේ පතුලටම කිමිදුණ පවුලකින් පැවත ගෙන ආ ඇය අවසානයේදී ආජන්ටිනාවේ දේශපාලනයේ ඉහළම ස්ථරයට පැමිණීමට සමත් වූවාය. ලොව පුරා ජනතාවගේ හදවතේ නායිකාව බවට පත්වීමට මේ හරහා ඇයට හැකි වුණා. මේ සටහන මාරියා ඊවා ඩුරාටේ පිළිබඳවයි. එසේත් නැතිනම් ඊවා පෙරෝන්, එවිටා ලෙස ආජන්ටිනානු ජනතාවට සමීප වූ ඔවුන්ගේ වීරවරිය පිළිබඳවයි.

 

1. බාල කාලය 

ඇය කෙතරම් දිළිඳු පවුලක උපත ලැබුවේද කියතොත් ඇයගේ උපන් දිනය සිදු වූ දිනය පිළිබඳව කිසි සටහනක්වත් සුරක්ෂිතව නැහැ. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ 1919 මැයි හත් වන දින ඇය උපත ලැබූ බවයි. ප්‍රංශ සහ ස්පාඤ්ඤ සම්භවයක් සහිත සංක්‍රමණික පවුලක උපත ලැබූ ඇයගේ පියා තරමක් දුරට ධනවතෙකු වුවත් එම විවාහය ඔහුගේ දෙවන විවාහයයි. පසුව එම විවාහය අත්හැර තම නීත්‍යානුකූල බිරිඳ වෙත ඔහු යළිත් ගියේ ඊවා සහ මවට කිසිදු පිළිසරණක් නැති කරමිනුයි. තම දරුවන් ජීවත් කිරීමට ඊවාගේ මව ඇඳුම් මැසූ අතර දුක් කම්කටොළු රැසක් වින්දාය.

 

2. පළමු විවාහය 

වයස අවුරුදු පහළොවේ දී තමන් විඳි කටුක ජීවිතයෙන් ගැලවීමට සිතා ඊවා තරුණ සංගීතඥයෙකු සමග සබඳතාවක් ඇති කොටගෙන ආජන්ටිනාවේ අගනුවර වන බුවානෝස් අයර්ස් වෙත පලා ගියාය. නමුත් සබඳතාවය කෙටිකලකින් බිඳී ගිය අතර ඊවා රැකියාවක් සොයමින් කාලය ගත කොට අවසානයේ දී සිනමා නිළියක බවට පත් වූවාය.

 

3. නිළියක ලෙස ස්ථාවරත්වයට පත්වීම

නිසි අධ්‍යාපනයක් නොලැබීම නිසා මුල් කාලයේ දී ඇයට නිළියක ලෙස ස්ථාවර වීමට අපහසු වූ අතර ගුවන්විදුලි ශිල්පිණියක් ලෙස විවිධ ගුවන් විදුලි නාට්‍ය සඳහා තම දායකත්වය ලබා දුන්නාය. කෙමෙන් කෙමෙන් ආර්ථික අතින් ස්ථාවරත්වයට පැමිණි ඇය  ආජන්ටිනාවේ වැඩිම වැටුපක් ලබන නිළියක් බවට පත්වීමට  සමත් වූවාය. එහි ප්‍රතිඵලය වූයේ අන්ත දිළිඳු පවුලක උපන් ඇය බුවනෝස් අයර්ස්හි ධනවත්ම ප්‍රදේශයක නිවසක උරුමක්කාරියක වීමයි. තම ජනප්‍රියත්වයත් සමඟම  දේශපාලනය පිළිබඳවත් ඇය උනන්දුවක් දක්වන්නට පටන් ගත්තාය.

 

4. ජුවාන් පෙරෝන් මුණගැසීම

සැන් ජුවාන් ප්‍රදේශයට බලපෑ භූ කම්පනයක් නිසා විපතට පත් වූ ජනතාවට ආධාර පිණිස පවත්වනු ලැබූ සන්දර්ශනයක් සඳහා සහභාගී වන අතරතුර දී එවකට ආජන්ටිනා  දේශපාලනයේ ජනප්‍රිය තරුවක් වුණු කර්නල් ජුවාන් පෙරෝන්ව ඈට මුණ ගැසුණාය. ඒ වනවිටත් පෙරෝන් විවාහකයෙකුව සිටි අතර  දෙදෙනා අතර ආදරයක් ඇතිවීමට එය බාධාවක් නොවුණි. කෙමෙන් කෙමෙන් ඔහු හරහා දේශපාලනයෙත් සැළකිය යුතු භූමිකාවක් නිරූපණය කිරීමට ඇයට අවස්ථාව ලැබුණි. මේ කාලයේදී පෙරෝන්ගේ පළමු බිරිඳ මියගිය අතර ඔහු විසින් ඊවාව විවාහ කරගැනීමට කටයුතු කරනු ලැබීය…

 

5. ජනාධිපති ආර්යාව 

1946 වසරේ දී පැවති ජනාධිපතිවරණයෙන් ජුවාන් පෙරෝන් ජයගත් අතර ඔහුගේ දෑත් ශක්තිමත් කිරීමට ඊවා කටයුතු කළාය. ඔහුගේ පාලනය සඳහා ජාත්‍යන්තර සහයෝගය දිනා ගැනීමට යුරෝපයේ සංචාරයක යෙදුණු ඇය විවිධ අභියෝග වලට මුහුණ දුන්නාය. විශේෂයෙන්ම හයවැනි ජෝර්ජ් රජු ඇයව හමුවීම ප්‍රතික්ෂේප කළ අතර ස්විස්ටර්ලන්තයේදී ඇය වෙතට කුණු තක්කාලි ප්‍රහාර ද එල්ල විය. මීට ප්‍රධානම හේතුව වූයේ පෙරෝන් රජය ෆැසිස්ට්වාදීන්ට දැක්වූ මිත්‍රශීලී ප්‍රතිපත්තියයි.

 

6. කාන්තාවන් සඳහා ඡන්ද අයිතිය දිනා ගැනීම 

මේ දක්වා ආජන්ටිනාව තුළ ඡන්ද අයිතිය හිමි වූයේ පිරිමි පාර්ශ්වයට පමණයි. නමුත් ඊවා පෙරෝන් එරට කාන්තාවන් සංවිධානය කරමින් එරට පළමු කාන්තා දේශපාලන පක්ෂය පිහිටුවීමට සමත් වුණා. කෙටි කාලයක් තුළ මෙම පක්ෂයේ පූර්ණ කාලීන සාමාජිකයන් ප්‍රමාණය ලක්ෂ පහ ඉක්මවා ගිය අතර එහි ප්‍රතිඵලයක් වූයේ ආජන්ටිනානු පාර්ලිමේන්තුව මගින් ඡන්ද අයිතිය එරට කාන්තාවන්ට ප්‍රදානය කිරීමයි.

 

7. අකල් මරණය 

1952දි පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයේ උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස ආරම්භයේ දී තරඟ වැදීමට ඊවාගේ නම යෝජනා වී තිබුණා. කෙසේ වෙතත් මේ වන විට පිළිකා රෝගය ඇයව තම ගොදුරක් කරගෙන තිබුණා. මේ නිසා ඇය තම අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගත්තේ පාක්ෂිකයන්ගේ දැඩි විරෝධතාවය මධ්‍යයේයි. ඇයගේ අවසාන සමය ලං වෙමින් තිබෙන බව වටහා ගත් ආජන්ටිනානු කොංග්‍රස් සභිකයින් ජාතියේ ආධ්‍යාත්මික නායක ලෙස ඇයව ප්‍රකාශයට පත් කළා. අවසානයේ සිදු කරන ලද කිසිදු ප්‍රතිකාරයකින් සුව නොලත් ඊවා, 1952 ජුලි 26 වනදා ජාතියට සමුදුන්නා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *