බ්‍රේකප් එකකින් පසු කරන්න ඕනි සහ නොකරන්න ඕනි දේවල්

එයා එක්ක ගතකරපු කාලය කොච්චර සුන්දර වුණත්, එයා දාල ගියාට පස්සේ ආයේ ඒ ගැන හිතලා මතලා, අඬලා දොඩලා, වැළපිලා තේරුමක් තියේද? ගියාට පස්සෙ ඉතින් ආයේ අපි වරක් දෙකක් උත්සාහ කරනව කොහොමත් වැරදි හදාගෙන ආයේ එකතු වෙන්න. ඒත් ඒකත් හරිගියේ නැත්තම් ඉතින් ගිය කෙනා ගිය එක හොඳයි කියලා හිත හදාගන්න අපි පුරුදු වෙන්න ඕනි. ඉතින් එහෙම ගියාට පස්සේ කරන්න ඕනි නොකරන්න ඕනි දේවල් ටිකක් කියන්න තමයි අපි උත්සාහ ගන්නේ. 

 

1. බ්ලොක් කිරීම

බ්‍රේකප් එකක් කියන්නේ වෙන්වීමකට. වෙන්වීමකට කලින් අයෙ එක්වෙන්න තියෙන පොසිබිලිටි හැම එකක්ම බලලා ඉන්න ඕනි. ඒත් බැරිනම් ඉතින් වෙන් වීම තමයි හොඳ. ඒ කරලත් ආයේ ආයේ ටෙක්ස්ට් කරන්නයි, චැට් කරන්නයි තියාගන්න එක හොඳ නැහැ. ඒකෙන් වෙන්නේ පරණ තුවාලය ආයේ ආයේ පෑරෙන එක විතරයි. තමුන්වම රවට්ටාගෙන, ෆෝන්බුක් එකෙන් විතරක් බ්ලොක් කරල තේරුමක් නැහැ. පුළුවන් තරම් සියළුම සෝෂල් නෙට්වර්ක් වලින් ඔහුව, ඇයව සම්බන්ධ වීම් හැම එකකින්ම ඈත් වෙන්නට ඕනි.

 

2. හිතේ හැටියට අඬන්න

හිත හිත ඉන්නෙ නැතුව මොනාහරි අවුලක් වුනාම හොඳ යාළුවෙක් හම්බෙලා දුක කියන්න ඕනි. දුක කියලා අඬන්න ඕනි. කොල්ලෙක් නම් මොනාහරි කරන ගමන් දුක කියන්න පුළුවන්. කෙල්ලෙක් නම් යාළුවෙක්ව මීට් වෙලා හෝ ගෙදරට එක්කං ඇවිත් තමුන්ට වුණ සන්තෑසිය නැවත මෙනෙහි කරලා, ඒ ගැන කියලා, හිත සැහැල්ලු කරගන්න පුළුවන්. මෙහෙම දුක අහන අය තෝරාගනිද්දිත් සැළකිලිමත් වෙන්න ඕනි. වැරදි හොයාගෙන පස්සේ රට වටේ කියවන චීත්ත ඩෑල් මේ දුක කියන වැඩේට තෝරගත්තොත් ඔයා ආයෙම අමාරුවේ වැටෙනවා. ඒ නිසා යාළුවාව ආරක්ෂා කරන, යාළුවාගේ දුක තේරෙන හොඳ කෙනෙක් තෝරාගෙන දුක කියන එකෙන් හිතට සහනයක් ලැබෙනවා.

 

3. ඕවර් ඇනලයිස් වලට යන්න එපා

තිබුණා නම් මිල මුදල් අහිමිවෙන එකක් නැහැ. එයාට මාව විතරක් හිටියනම් එයාව නැතිවෙන එකක් නැහැ. කියලා වැළපෙන සිංදු තියෙනවා. ඒ විදිහට බ්‍රේකප් එකක් වුණාට පස්සේ ඒක එහෙම මෙහෙම වුණානම් කියලා හාංසිවෙලා වරු ගණන් කල්පනා කරන්න තියාගන්න එපා. ඒකෙන් ඇතිවෙන සෙතක් නැහැ. මොන විදිහට අතීතයේදි ඉත්තෝ වෙනස් කරන්න හිතුවත්, අද වෙන්න ඕනි දේ වෙලා ඉවරයි. එතනින් එහාට අරක මේක වුණානම්, මෙයා හමු නොවුණ නම්, ඒ සිද්ධිය පොඩ්ඩක් වෙනස් වුණානම් කියලා හිතන එකෙන් අවසානයේ රිදෙන්නේ අපේ හිතම තමයි. ඒ නිසා යාළුවෙක් එක්ක සිද්ධිය කියද්දි ඔක්කොම කියලා සැහැල්ලු වුණාට ආයේ ආයේ ඒ සිදුවීම් ඇනලයිස් කරන්න යන්න එපා.

 

4. ඔබව හඳුනාගන්න 

අපි හැමෝටම දක්ෂතාවයන් තියෙනවා. ඒවා එකිනෙකාට විවිධයි. අපි හැමෝම ආසා කරන ටාගට්, ගෝල්ස් තියෙනවා. බ්‍රේකප් එක්ක කියන්නේ ඒ වගේ අපේ දක්ෂතා හඳුනාගෙන, අලුත් පාත් එකක් පටන් ගන්න හොඳ අවස්ථාවක්. මෙතෙක් රිලේශන්ෂිප් එක වෙනුවෙන් කැපවුණු කාල අවකාශය ඒ වෙනුවෙන් යොදාගන්නත් ඔයාට පුළුවන්. අලුත් දෙයක් ඉගෙනගන්න බ්‍රේකප් එකකින් පස්සේ කාලය කැප කරන්න පුළුවන්. අලුත් දෙය හැමතිස්සේම ඇකඩමික්ම වෙන්න අවශ්‍ය නැහැ. අපි නොදන්න, කැමැත්තෙන් ඉගෙනගන්න හුරුවෙන්න ආස හිතෙන ගොඩක් දේවල් තියෙනවා. උදාහරණ විදිහට නැටුම්, මැහුම් ගෙතුම්, ක්‍රීඩා කටයුතු, කේන්දර බැලීම්, වගේ විවිධ දේවල් ඉගෙනගන්නට අපිට පුළුවන්.

 

5. විනෝදෙට වැඩි අවධානය

විනෝද වෙනවා කියලා අපි මෙතෙක් කල් කරපු දේවල් තියෙනවා. එත් එතනින් එහාට තව කරන්න පුළුවන් දේවල් තියෙනවා. මුහුද ගත්තොත් අපි ගොඩක් වෙලාවට කරන්නේ මූදේ ගිහින් වෙරළ බලලා එන එක විතරයි. ඒත් එතනින් එහාට කිමිදීම, ස්නෝක්ලින්, දූපත් බලන්නට යෑම්, කොරල් නැරඹීම් ආදී දේවල් ගොඩක් තියෙනවා. කඳු බලන්න යනවා නම් හයිකින්, ට්‍රෙකින්, මවුන්ටන් බයිකින්, දිය ඇළි නැරඹීම් වගේ විනෝද කටයුතු ගොඩක් තියෙනවා. අලුත් අලුත් විනෝදයන් හොයනවා කියන්නේ සමහර අයට නම් අලුතින් මත්වෙන දෙයක් සොයාගැනීමක්. ඒත් නිතර නිතර මතට හුරු වෙන එක බ්‍රේකප් එකකින් පස්සේ එච්චර හොඳ නැහැ. මොකද මත් වීමට හුරු වීම දීර්ඝකාලීනව අපිව දුර්වල කරනවා. 

 

6. සෝෂල් මීඩියා වලින් මදක් ඈත්වීම

සෝෂල් මීඩියා වල අපේ බ්‍රේකප් එකක් දැම්මහම ඒකෙන් පිරිසක් ඇත්තට දුක් වෙනවා. තවත් අය සතුටු වෙනවා. ඒ වගේම සෝෂල් මීඩියා වල බ්‍රේකප් අදහස් දැම්මහම නැති ප්‍රශ්නත් ඇතිවෙනවා. නිතර තමුන් දුකින් කියලා හිතලා ඕවරැක්ටින් කමෙන්ට් හිතවතුන්ගෙන්, නෑදෑයින්ගෙන් එනවා. සමහර විට හිතින් දුක තුනී වුණාමත් සෝෂල් මීඩියා කවුළුවෙන් ඔයාගේ ජීවිතේට එබිලා බලලා කට්ටිය දුක අහන්න, උපදෙස් දෙන්න එන එක වාතයක් වෙනවා. ඒ නිසා, ඔයාව තේරුම් ගන්න හොඳ යාළුවන්ට බ්‍රේකප් එක කිව්වාට, සෝෂල් මීඩියා වලින් රටටම කියන්න යන එක නම් හොඳ දෙයක් නෙමෙයි.

 

7. ගෙදරට සහ මිතුරන්ට වඩාත් සමීප වීම

අපේ තියෙන රැකියා සහ අධ්‍යාපන කටයුතු එක්ක ගෙවල් එක්ක ඉස්සර වගේ සම්බන්ධතා පවත්වාගන්න අපට වෙලාවක් නැහැ. ඒ වගේම ගෙදර ලස්සන කරන මල් වැවීම, විනෝදෙට කරන ගේම් ගැහීම වගේ ගෙදර ඉඳන් කරපු වැඩ වලටත් වෙලාව නැතිවෙනවා. ඒත් බ්‍රේකප් එකකින් පස්සේ ආයෙම අම්මලා තාත්තලා සහ ළඟම අයියලා අක්කලා සහ බබාල එක්ක සමීප වෙන එක හොඳ දෙයක්. පෙළක් වෙලාවට ගෙදර අය අපිට බාධාවක් වගේ හිතුණාට හිත රිදීමක් ආවම ගෙදර අය අනෙක් හැමෝටම වඩා අපි ගැන හිතනවා. ඒ වගේම ළඟ යාළුවන් සමග තිබුණ ඇයි හොඳයිකම් ආයෙත් දියුණු කරගන්නත් උත්සාහ ගන්න ඕන.

 

හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බැහැ කියලා වික්ටර් රත්නායක සහ සංඛ දිනෙත් ඉතා මෑතකදි කිව්වා. ඒ වගේ ගිය අය සහ ඒ දේවල් ගැන හිතනවාට වඩා වැදගත් වැඩ ගොඩක් අපිටම හොයාගන්න පුළුවන්. ඒවයෙන් අපිට අලුත්ම පාත් එකක් ජීවිතයට පාදගන්නත් පුළුවන්. ඉතින් බ්‍රේකප් වුණාට පස්සේ හිත හදාගන්න වැදගත් වෙන ටිප්ස් ගොඩක් ඔයාට ලැබෙන්න ඇති. ඒ වගේම ඔයා කොහොමද ඔයාගේ අහිමි වීමකදි හිත හදාගත්තේ කියල ලස්සන මතකයනුත් ඔයාට ඇති. ඉතින් ඒවත් මතක් කරගන්න මේක වෙලාවක් කරගනිමු. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *