ලෝක ප්‍රකට දියමන්ති ගැන අපූරු විස්තර දැනගන්න

රසායනික විද්‍යාත්මකව ගත්තොත් දියමන්ති කියන්නේ  කාබන් මූලද්‍රව්‍යයේ ඝන ස්වභාවයක්. දියමන්ති  සඳහා පෙර අපරදෙදිගම භාවිතාවෙන වචන වල තේරුම ගත්තොත් එක හා සමානයි. මේ වචනවල මූලයන් සොයා යද්දී පැහැදිළි වෙන්නේ “නොබිඳිය හැකි” අර්ථයෙන්  ඒ වචනය ගොඩනැඟුණා කියලායි.

වසර දසදහස් ගණනක් තිස්සේ දියමන්ති මේ නිසාම ආභරණ සඳහා භාවිතා කරන්නට පටන් ගත්තා. අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ සුප්‍රකට දියමන්ති කීපයක් ගැන.

 

1. කොහිනූර් දියමන්තිය (Kohinoor Diamond)

කොහිනූර් දියමන්තියේ අතීතය පිළිබඳව විස්මයජනක ජනප්‍රවාද රැසක් අහන්න ලැබෙනවා. නමුත් මේ ජනප්‍රවාදවල අවසානයේදී කියවෙන්නේ මෝගල් අධිරාජ්‍යයේ මොණර සිංහාසනය අලංකාර කරන්න මේ දියමන්තිය භාවිතා කරා කියලායි. පස්සෙ කාලෙකදි මේ දියමන්තිය පන්ජාබ රජ පවුලේ භාරයට පත් වෙලා තියෙනවා. පන්ජාබය ආක්‍රමණය කළ ඉංග්‍රීසින් රජ මාළිගය කොල්ල කෑමෙන් අනතුරුව කොහිනූර් දියමන්තිය ලන්ඩනය වෙත යවනු ලැබුවා. වික්ටෝරියා රැජින විසින් අත් පළඳනාවකට අල්ලා මෙම දියමන්තිය භාවිතා කළත්, ඇයගේ මරණයෙන් පසුව එංගලන්තයේ රජ බිසෝවරුන් බවට පත්වූ ඇලෙක්සැන්ඩ්‍රා, මේරී සහ එලිසබත් මව්රැජින විසින් තම ඔටුණු සඳහා මෙම දියමන්තිය භාවිතා කළා. මෙම දියමන්තිය සඳහා ඉන්දියාව, පාකිස්ථානය  සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් උරුමකම් කියනවා. නමුත් සෑම රටකම ඉල්ලීම් බ්‍රිතාන්‍ය රජය විසින් දැඩිව ප්‍රතික්ෂේප කරනවා.

 

2. කලිනන් දියමන්තිය (Cullinan Diamond)

දකුණු අප්‍රිකාවේ කලිනන් දියමන්ති පතලෙන් හමුවූ මෙම දියමන්තිය බ්‍රිතාන්‍යයේ හත්වන එඩ්වඩ් රජුට ත්‍යාගයක් ලෙස පිරිනැමීමට කටයුතු කරනු ලැබුවා. එවකට ලෝකයේ තිබූ විශාලතම දියමන්තිය වූ මෙය කුඩා දියමන්ති නමයකට කොටස් කර බ්‍රිතාන්‍ය රජ පවුලේ විවිධ ආභරණ සඳහා භාවිතා කිරීමට පටන් ගත්තා. The Star of Africa ලෙස හැඳින්වුණු එහි තිබුණු විශාලතම කොටස බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයේ එක් සංකේතයක් වන ජයකොන්තය අගට සවි කරනු ලැබුවා. ඊළඟ කොට Imperial State Crown ලෙස හැඳින්වෙන කිරුළ සඳහා භාවිතා කෙරුණා.

 

3. එක්සෙල්සියොර් දියමන්තිය(Excelsior Diamond)

කලිනන් දියමන්තිය හමුවන තෙක් ලෝකයෙන් හමුවූ සුවිශාලම දියමන්තිය වීමේ ගෞරවය සතුවූයේ එක්සෙල්සියොර් දියමන්තියටයි. මෙයත් හමුව ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්. පසුව මෙම දියමන්තිය ඇම්ස්ටර්ඩෑම් වෙත ගෙන ගිය අතර රැගෙන ගිය අතර, එහිදී එය කුඩා දියමන්ති වලට කපනු ලැබුවා. ඇතැම් ස්වරණාභරණ විශේෂඥයන්ට අනුව මෙම දියමන්තිය කොටස්වලට කැපීම දියමන්ති වංශකතාවේ අවාසනාවන්තම පරිච්ඡේදය ලෙස හඳුන්වනු ලබනවා. මෙම කොටස් ලොව පුරා ගැනුම්කරුවන් විසින් මිලදී ගත් අතර වර්තමානයේ දී ඒවා කා සන්තකයේ පවතීද යන්න පිළිබඳව නිශ්චිතව එකඟතාවයක් නෑ.

 

4. ඔර්ලෝව් දියමන්ති (Orlov Diamond)

රුසියාවේ මහා කැතරින් අධිරාජිණියගේ ජයකොන්තයට සවි කර තිබු මෙම දියමන්තිය වර්තමානයේ ක්‍රෙම්ලීනයේ දියමන්ති භාරයේ කොටසක් ලෙස මහජනතාවගේ නැරඹීමට විවෘතව පවතිනවා. ඇතැම් විද්වතුන් පවසන්නේ ඉන්දියාවේ මහා මෝගල් දියමන්තිය ලෙස (The Great Mogul Diamond) හැඳින්වුණේද  මෙම දියමන්තිය බවයි. නමුත් මෙම දියමන්තිය වටා පවතින තවත් ජනප්‍රවාදයකට අනුව කර්ණාටක යුද්ධය සඳහා සහභාගි වූ ප්‍රංශ සොල්දාදුවෙකු හින්දු භක්තිකයකු ලෙස වෙස් වලාගෙන, කෝවිලක පුද සත්කාර ලබමින් තිබූ ප්‍රතිමාවක ඇසකට සවිකර තිබූ මෙම දියමන්තිය සොරාගෙන තිබෙනවා. එය විකිණීමෙන් අනතුරුව කැතරින් අධිරාජිණියගේ හිමිකාරීත්වයට පත්ව තිබෙනවා.

 

5. අයිඩ්ල්ස් අයි දියමන්තිය (Idol’s Eye Diamond)

මෙම සුප්‍රකට දියමන්තිය වටාත් විවිධ ජනප්‍රවාද ගෙතී පවතිනවා. හින්දු දේව ප්‍රතිමාවක ඇසක් ලෙස මුල් යුගයේදී මෙම දියමන්තිය පැවති නිසා මෙම නම ලැබුණු බව කියවෙනවා. පළමු වතාවට යුරෝපයට මෙම දියමන්තිය ගැන දැන ගැනීමට ලැබෙන්නේ දෙවෙනි අබ්දුල් හමීඩ් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයා විසින් ආභරණයක් ලෙස මෙම දියමන්තිය පැළඳීමටත් පටන් ගැනීමත් සමගයි. කෙසේ වෙතත් ඔහුව බලයෙන් පහ කිරීමත් සමගම මෙම දියමන්තියට සිදු වූ දේ  පිළිබඳව බොහෝ දෙනා පර්යේෂණ කළ අතර කළ අතර අවසානයේදී එය නිව්යෝක් නුවරදී වෙන්දේසි වූ බවට වාර්තා පළ වුණා. ඇතැම් අය සැක පළ කරන පරිදි පිලිපීනයේ ඒකාධිපති පාලක ෆර්ඩිනන්ඩ් මාකෝස් විසින් මෙම දියමන්තිය මිලදීගෙන තිබෙනවා.

 

6. රීජන්ට් දියමන්තිය (Regent Diamond)

ඉන්දියාවෙන් සොයා ගත් මෙම දියමන්තිය පහළොස් වන ලුවී රජුගේ බාල කාලයේ  භාරකාරයා ලෙස කටයුතු කරමින් ප්‍රංශය පාලනය කළ ඕර්ලියන්ස්හි ආදිපාද දෙවැනි පිලිප් විසින් මිලට ගනු ලැබුවා. පසුව මෙය පිළිවෙලින් පහළොස් වැනි සහ දහසය වැනි ලුවී රජවරුන්ගේ රාජාභිෂේක සඳහා භාවිතා කරනු ලැබූ ඔටුණු සැරසීමට භාවිතා කෙරුණා. මේරි ඇන්ටනට් බිසව විසින් මෙම දියමන්තිය සිය හිස්වැසුමකට සවිකර පැළඳීමට ප්‍රිය කළා. නැපෝලියන් බොනපාට් විසින් තම කඩුව අලංකාර කිරීමට මෙම දියමන්තිය භාවිතා කළ අතර ඔහුගේ ඇද වැටීමෙන් පසුව පත් වූ සියළුම ප්‍රංශ රජවරු පාහේ සිය ඔටුණු සැරසීමට මෙම දියමන්තිය භාවිතා කරනු ලැබුවා. වර්තමානයේ මෙම දියමන්තිය ලූවර් මාලිගයේ දකින්නට පුළුවන්.

 

7. හෝප් දියමන්තිය (Hope Diamond)

වර්තමානයේදී ස්මිත්සෝනියන් ආයතනය මගින් පාලනය කරනු ලබන ස්වභාවික විද්‍යාව පිළිබඳව ජාතික කෞතුකාගාරයේ දකින්නට ලැබෙන මෙම දියමන්තිය ලෝකයේ වඩාත් සුප්‍රකට (කුප්‍රකට?) දියමන්තියක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඉන්දියාවෙන් හමු වූයේ යැයි විශ්වාස කරන මෙම දියමන්තිය ප්‍රංශ රජ පවුලේ භාරයට පැමිණි අතර ප්‍රංශ විප්ලවයෙන් අනතුරුව බ්‍රිතාන්‍යය වෙතටත්, අවසානයේදී  ඇමරිකා එක්සත් ජනපදය වෙතත් හිමිකාරීත්වය වෙනස්වීම මත සංසරණය වුණා. හිමිකරුවන්ට අවාසනාව ගෙන එන දියමන්තියක් ලෙස මෙය හැඳින්වෙන අතර එහි ප්‍රතිඵලය වූයේ මෙහි අවසන් භාරකරුවන් විසින් ස්මිත්සෝනියන් ආයතනයට මෙය පරිත්‍යාග කරනු ලැබීමයි.

 

එහෙම නම් යෙදීම වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *