ලංකාවේ ජනගහණය ගත්තහම සියේට හැටකටත් වඩා ප්‍රමාණයක් ෆේස්බුක් එකේ ඉන්නවලු. ඉස්සර නම් ෆේස්බුක් එකවුන්ට්ස් හදාගත්තේ ඔය කම්පියුටර් එක්ක වැඩ කටයුතු කරන වෘත්තිකයෝ, අලුත් පරම්පරාවල අය එහෙම තමයි. හැබැයි දැන් වෙනකොට ස්මාට්ෆෝන් එකක් තියෙන ඕනම කෙනෙක්ට බොහොම පහසුවෙන් ෆේස්බුක් එන්න පුළුවන්. ඒකේ කිසිසේත්ම වැරැද්දකුත් නෑ. ෆේස්බුක් එක කියන්නේ හරියට පාවිච්චි කරනවා නම් බොහොම ඵලදායී මෙවලමක්. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි, ෆේස්බුක් එකේ මොට්ට මෝල් ඩයල්ස් එහෙමත් වැහි වැහැලා ඉන්න එක. ෆේස්බුක් එකේ ඉන්න වැඩිහිටියොයි කියන්න පුළුවන් සමහරු දාන ඒ සමහර ගොන් පාට් නං දෙයියන්ගේ පිහිටයි, පහවසරේ දරුවෙක්ගෙන් වුනත් බලාපොරොත්තු වෙන්න බෑ.
ඉතින් අන්න ඒ නිසා අපි හිතුවා ඔය වගේ අපි නිතර ෆේස්බුක් එකේ දකින ගොන් පාට් කීපෙක ලැයිස්තුවක් හදන්න. අන්න එතකොට ලැයිස්තුව කියවලා තමන්ටත් තිරණය කරගන්න පුළුවන්, තමන් ෆේස්බුක් මෝඩයෙක්ද කියලා. එහෙම ෆේස්බුක් මෝඩයෙක් නං, තමන්ට පුළුවන් පෙර වැරදි හදාගෙන, හොඳ ෆේස්බුක් පරිශීලකයෙක් වෙන්න.
ෆේස්බුක් කියලා කිව්වට, මේ ගොන් පාට් ඔය වට්ස්ඇප් චැට් වල ඉඳලා තව ගොඩක් තැන්වලට අදාළ වෙන්නත් පුළුවන්. අපි කතා කරන්නේ ෆේස්බුක් ගැන විතරයි.
1. දෙයියෝ බුදුන්!
මේ උන්දැලා ආගම් පිස්සෝ. ආයෙ ආගම් කතන්දරයක් කියලා ඉණ ඉහ අතගාගත්තත් සාදු සාදු කියනවා. සරල උදාහරණයක් විදියට ගත්තොත්, මොකක් හරි මූදු වෙරළක ෆොටෝ එකක අහස තියෙන හරියට බුද්ධ රූපයක් හරි දේව රූපයක් හරි ජේසු රූපයක් හරි බස්සලා, මෙන්න ජීවමාන බුදුන්/ජේසුන්/දෙවියන් ප්‍රාදූර්භූත වූ අවස්ථාවක් කියලා කැප්ෂන් එකක් දාලා නිකමට ෆේස්බුක් එකට දාලා බලන්න. හරි විදියේ සාමාන්‍ය දැනීමක් තියෙන මනුස්සයෙක්ට නං දැක්ක පමණින් තේරෙනවා මේක එඩිට් එකක් කියලා. හැබැයි ඉතින් අති විශාල ජනකායක් ඉන්නවා ෆේස්බුක් එකේ, ආගම් භක්තියෙන් අන්ධ වෙලා නිසාත්, නොදැනුවත්කම නිසාත් මේක එඩිට් එකක් කියලා හිතාගන්න බැරි. ඊටත් වඩා, එඩිට් එකක් වුනත් මේ වගේ අයට ඒක අදාළත් නෑ. ඔන්න ඉතින් සාදු සාදු කියලා කමෙන්ට් වැහි වහින්න පටන් ගන්නවා. ආයෙ කමෙන්ට් පන්හයදාහ යනවා දිගටම.
ආන්න එව්වා ගොන් පාට් තමයි. ආගම ධර්මය දේවඇදහිල්ල භක්තිය වගේ දේවල් හොඳයි, ඒවායින් අන්ධ වෙන්නෙ නැතිනම්.
2. ඇන්ටි-දෙයියෝ බුදුන්!
මේ ගොන් පාට් සෙට් එක සම්පූර්ණයෙන්ම උඩින් කියපු සෙට් එකට ප්‍රතිවිරුද්ධයි. හැබැයි මේ සෙට් එකත් එකිනෙකාට සම්පූර්ණයෙන්ම වෙනස් තවත් සෙට් දෙකක් විදියට දෙකට බෙදෙනවා. එක කොටසක් සම්පූර්ණයෙන්ම දෙයියෝ බුදුන් ජේසුන් කවුරු වුනත් විරුද්ධයි. කොටින්ම ආගම් වලට විරුද්ධයි. ඒකියන්නේ නිරාගමිකද? දන්නෑ. මේ අය සාමාන්‍යයෙන් ලෝකේ නිරාගමික කියලා හඳුන්වන්න පුළුවන් කොටසට වඩා උන්මත්තකයි. නිරා-ඇරියස් වගේ නමකින් සමහර විට අඳුන්වන්න පුළුවන්. දැන් මේ අයගේ කාර්ය භාරය වෙන්නේ, කවුරුහරි පෝස්ට් එකක් දාලා අන්තිමට තෙරුවන් සරණයි කියලා දැම්මත් ගිහින් කුණුහරුපෙන් බණින එක. ගොඩ් බ්ලෙස් යූ කිවුවොත් ගිහින් අහනවා ගොඩ් බ්ලෙස් යූ කියන්නෙ තෝ ගෝඩ්ව දැකලා තියේද කියලා.
එතකොට ඔය දෙවෙනි කොටස එක ආගමක එල්බගත්තු උන්මත්තකයෝ. ඒ කියන්නේ මේ කොටසේ ඉන්න මෝඩයෝ අර පළවෙනි එකේ කියපු දෙයියෝ බුදුන් කොටසටත් අයිති වෙන්න පුළුවන්. මේ අයගේ විදිය වෙන්නේ තමන්ගේ ආගම මාරයි කියන ගමන්, අනික් ආගම් වලට අම්මමෝ නැතුව බණිනවා. විශේෂයෙන්ම අනික් ආගම් වල කියල තියෙන මෙලෝ අලබෝලයක් දන්නෙ නැතුව තමයි මරාගන්න එන්නෙත්. මුනුත් දාන්නේ ගොන් පාට්ම තමයි. වෙනසක් නෑ.
3. නයාගෙ සරණයි!
අපි කැප්ෂන් එක මේ විදියට දැම්මේ හේතුවකට. දැන් ඔය නයෙක් බැරිනං ගැරඬියෙක් හරි අතෑරලා ගිය හැවක් දැක්කත් මේ මෝඩයෝ ෆොටෝ එකක් ගහලා ෆේස්බුක් දානවා. දාලා කියනවා නාගරාජ නමාමි කියලා කමෙන්ට් කරන්න කියලා. තවත් සමහරු අර සමහර රටවල නයි එහෙම බෝතලේට දාලා හදපු නයි විස්කි බෝතලේක සංරක්ෂණය වුණු නයෙක්ගේ මළසිරුරක්, සමහර වෙලාවට ඔය ලස්සනට ගල් වලින් කපපු නයි ප්‍රතිමාවක් එහෙම වුනත් ෆොටෝ ගහලා ෆේස්බුක් දානවා. දාලා කියනවා “මේ නාගරාජයා භාවනා කරලම මැරිලා ගිහින් එහෙමම ගල් වෙලා, සාදු කියන්න” කියලා. හම්මේ ඉතින් එතනින් එහාට “නාගරාජං නමාමි”, “නාගරාජ වන්දේ”, “සාදු නාගරාජං” වගේ කමෙන්ට්‍ස් කිසි කිසි ගාලා වැටෙන්නේ. මුන්දැලා අර හැරී පොටර් බලනකොට වොල්ඩෙමෝට්ගේ සර්ප බඩියා නාගිනී පෙන්නනකොටත් දණ ගහලා ටීවී එකට වඳින්න ඇති ෂුවර්!
මේක අපි නයා ගැන දැම්මට, ඔය මොකක් හරි ෆොටෝ එකක් දැම්ම ගමන් ඇන්දිලා, ලෝකේ හැම දෙයක්ම ගුප්ත බලවේග තියෙන සුපර්නැචුරල් දේවල් කියලා හිතාගන්න ඔක්කොමල්ලා මේකට අදාළයි.
4. රාවණා ගෘපීස්!
මෙන්න කතන්දරේ. දැන් කාලේ සෑහෙන්න උද්‍යෝගයක් තියෙනවනේ රාවණා ගැන. එතකොට ගොඩක් දෙනෙක් රාවණා සම්බන්ධයෙන් හොයනවා කරනවා. ඒකේ කිසි අවුලක් නෑ. රාවණා කියලා රජෙක් ගැන ඓතිහාසික සාධක තාමත් මුණගැහිලා නැතත්, ඔය විදියට හරි පුරාවෘත්ත ගැන උද්‍යෝගීමත් වෙන එක, එව්වා ගැන හොයන බලන එක හොඳයි.
හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ රාවණා ගෘපීස්ලා, ඒ කිව්වේ පිස්සුවෙන් වගේ රාවණාව අදහන ෆෑන්ස්ලගේ තමයි. මෙවුන්දැලා තමයි ඇත්තටම රාවණා වගේ පුරාවෘත්ත ජෝක් එකක් කරන්නේ. ඔන්න එක ගෑණු කෙනෙක් ඇවිත් යූටියුබ් මල්ලියෙක්ට ඉන්ටවීව් එකක් දෙනවා. එයා කියනවා තමන් රාවණාගේ අක්කා නිකුම්බලා කියලා. ඔන්න තව එකෙක් එතකොට ඇවිත් කියනවා තමන් රාවණාගේ බාප්පා එබීබලා කියලා. අන්තිමට රාවණාගේ සංගීත ගුරුවරයා තමන් කියලා කියාගත්තු මුක්කාලා මුකාබලා කියලා තව හාදයෙකුත් ඇවිත් ඉන්ටර්වීව් දෙනවා. අන්න එතකොට මේ රාවණා ගෘපීස්ලා ඒවා ෆේස්බුක් එකේ වපුර වපුර ආඩම්බරෙන් කියනවා, මේවා රාවණා හිටි බවට තියෙන නොසැලෙන සාධක කියලා!
ගොන් පාට් පුතාලා, ගොන් පාට්!
5. විසි දෙනෙකුට මේක යැව්වෙ නැත්තං තෝ කපෝති!
මේක නං ඇත්තටම ෆේස්බුක් එන්න කලිනුත් තිබ්බා. ඔය පෝස්ට්කාඩ් එනවා හිටි ගමන් විශ්ව ශක්ති කේන්ද්‍රය වගේ අමුතු නං දාගත්තු තැන් වලින්. ඒවල කියන්නේ ජේසු ජීවමානයි/බුදුගුණ අනන්තයි/ඊෂ්වරං පරම ශිවං වගේ එව්වා. හැබැයි ඒ එක්කම තියෙනවා, මේක විසි දෙනෙකුට යැව්වොත් සතියෙන් හොඳ දෙයක් අහන්න ලැබෙනවා, හැබැයි යවන්නෙ නැතුව හිටියොත් දේපල ඔක්කොමත් සුන්නද්දූලි වෙලා යන එන මං නැතිවෙනවා කියලා. කාල වරෙංකෝ.
ආන්න ඒකේ ෆේස්බුක් වර්ෂන් එකක් එහෙමත් දැන් තියෙනවා. මෙන්න මේ බුදු රැස් මාලාව කැරකෙන පොටෝ එක, නැතිනම් දෙවියෝ අහසේ වැඩ ඉන්න පොටෝ එක විසි දෙනෙක්ට ඉන්බොක්ස් කළේ නැතිනම් කෙලින්ම සතියෙන් දේපල විනාස වෙලා වැලිගම්පිටි තමයි, යැව්වොත් ලොතරැයි පවා ඇදෙයි කියලා. ඕන්න ඉතින් කට්ටිය පණ නැහීගෙන ඔය ෆොටෝ යවනවා තමන්ගේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකටම.
උඹලත් බත් කනවනේ අම්මපා!
6. පේනවද අහවල් පක්ෂේ අහවලාගෙ වැඩ? මේං පොටෝ!
ඔන්න එක කාලයක් අසූ තුනේ කළු ජූලියේ ෆොටෝ එකක් ෂෙයාර් වුනා ෆේස්බුක් එකේ. ඒකේ දමිළ මනුස්සයෙක් වට කරගෙන ඉන්නවා මැර සෙට් එකක්. දැන් මේ ෆොටෝ එකත් එක්ක කැප්ෂන් එකක් තියෙනවා, මේ ඉන්නේ අහවල් පක්ෂේ අහවලා. පේනවා නේද ඉස්සර මුන් තමයි දෙමළ මිනිස්සු මරලා කඩ ගිනි තිබ්බේ කියලා! හැමෝම ඉතින් අම්මමෝ නැතුව පක්ෂෙට බණිනවා. ඒ විතරක් නෙවෙයි, අසූ හාරදාහට ඔය ෆොටෝ එක ශෙයාර් කරනවා. හැබැයි එකෙක්ටවත් පොඩ්ඩක් නැවතිලා හිතන්න මොළයක් නෑ, බොඳ වුණු ෆොටෝ එකක ඉන්නෙ මේ මනුස්සයාමයි කියන්නේ කොහොමද, මේවට තියෙන මූලාශ්‍ර මොනවද කියලා.
මේක ඉතින් ඇත්තටම හැම පක්ෂෙකම ඉන්න වහල්ලුන්ට පොදුයි. ආයෙ මොකක් හරි තඩි පත බොරුවක් හරි රවුම් කරපු කෙබරයක් හරි දේශපාලනමය අරමුණකින් ෆේස්බුක් එකට දාන්න විතරයි ඕන. ආයෙ ගව රැළ ඒක හිටු කියලා ෂෙයාර් කරනවා. මුන්දැලා නිකම්ම ෆේස්බුක් මෝඩයෝ නෙවෙයි, මෝඩ වහල්ලු!
7. සංස්කෘතිය සදාචාරේ පොලිස්!
මේක ඉතින් ෆේස්බුක් ම ඕන නෑ. හැමතැනම දකින්න තියෙනවා. හැබැයි ෆේස්බුක් එකේ වැඩිපුර තියෙනවා. ඒ තමයි සංස්කෘතිය සදාචාරේ රකින්න එන නොනිල පොලිස් බලකාය. මුන්දැලාට අනුව සංස්කෘතිය කියන්නේ අපේ ආගම, අපේ ජාතිය තමයි. හැබැයි සංස්කෘතිය කියන එකට අද ලංකාවෙ හැමතැනම තියෙන මැක්ඩොනල්ඩ්ස් වුනත් අයිති වෙන බව, සංස්කෘතිය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක් බව මුන්දැලා දන්නෙ නෑ. මේ අයට ආයෙ කෙල්ලෙක් කොටට ඇන්දොත් සංස්කෘතියට සදාචාරෙට අවුල්. කොල්ලෙක් ටැටූ එකක් ගැහුවොත් සංස්කෘතියට සදාචාරෙට අවුල්. කෙල්ලෙක් බියර් එකක් බිවුවොත් අවුල්, කොල්ලෙක් තමන්ගේ වයිෆ්ට පොදු තැනක කිස් එකක් දුන්නොත් අවුල්. වෙන එකක් තියා මේ අයියලා එක පාරක් නැවේ සුක්කානම අතේ උඩ කොටසේ පච්ච ගහගත්තු සීමන් අයියා කෙනෙක්ගෙන් ධර්ම චක්කරේ පච්ච කෙටුවේ කාගෙන අහලද ඩෝහ් කියලා ගේම ඉල්ලන්න ගිහින්, හොදි නැතුවම කාලා තිබ්බා!
8. අපේ කම, හෙළ සීන් එක!
මේක ගැන නං අමුතුවෙන් කියන්න දේකුත් නෑ. මේ දවස් වල සෑහෙන්න මාකට් වෙන මාතෘකාවක්නේ. අන්න ඒ නිසා මේ ගැන අපිත් වැඩිය මොකුත් කියන්නෙ නෑ.
අපේ කම, දේශීයත්වය, හෙළ අභිමානය වගේ දේවල් ඇත්තටම රටේ මනුස්සයෙක්ට හිතට දැනෙන එක හොඳයි. කිසිම නරකක් නෑ. විශේෂයෙන්ම සැබෑ දේශීයත්වයක් ප්‍රමෝට් කරන බිස්නස් පවා මේ ලංකාවේ ඕන තරම් තියෙනවා. හැබැයි ඉතින් රෙදි නැතුවම ගිහින් ඇඳගන්න එක, තක්කඩියන්ට රැවටෙන එක, සහ වඩාත්ම වැදගත් දේ: අපේ දේ හෙළ අබිමානේ කියලා දුවලා ගිහින් කිසිම වගවිබාගයක් නැතුව බොරු ප්‍රමෝට් කරලා ඇත්ත වහන එක, ආන්න එව්වා ගොන් පාට්!
දැන් මේ ප්‍රශ්න එක්ක ඇයි අපි වොරි වෙන්නේ? ඕනම සමාජෙක හොඳ මිනිස්සු නරක මිනිස්සු දෙකොටසම ඉන්නවා වගේ, ෆේස්බුක් එකෙත් සිහිනුවණ, සාමාන්‍ය දැනීම තියෙන මිනිස්සු වගේම මැටි වහන්සෙලාත් ඉන්නවා. ඕක ලොකු දෙයක් නෙවෙයි. ඒක හරි. හැබැයි නිකමට හිතලා බලනකොට, මුන්දැලාටත් ඡන්ද අයිතිය තියෙනවා නේද කියලා, ඇඟ කිළිපොලා යන්නෙ නැද්ද හා???
Leave a Reply