කොරෝනා වැක්සීන් තරඟයෙන් කවුරු දිනයිද?

කොරෝනා ආපු මුල් කාලේ පටන්ම ලංකාවේ අයත් හරි හරියට දේශීය ඔසු හොයාගත්තා. මුල් කාලේ කොරෝනාවට හෙළසුවය මගින් දුම් හට්ටියක් නිර්දේශ කෙරුණා. ඉන් පසුව වෛද්‍ය චන්න ජයසුමන ඇමතිතුමා සුදර්ශන පැණිය කොරෝනා වෙනුවෙන් හොඳ යැයි නිර්දේශ කළා. පසුකාලීනව තවත් පැණියක් කොරෝනා වලට ඇවිත් මහත් ආන්දෝලනයක් ඇති කළා. ඉතින් මේ වගේ දේශීයව සාර්ථක පර්යේෂණ රැසක් තිබුණත් අපිත් කොරෝනාවෙන් වැළකෙන්න එන්නත් රටින් එනවා නම් හොඳයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ එන්නත් ගැන ඇතිවෙන කතාබහ විස්තර ගැන අපි ටිකක් හොයා බලමු..

 

1. mRNA වැක්සින්

මොඩර්නා සහ ප්ෆයිසර් එන්නත් වලදී කොරෝනා වෛරසයේ ජානමය කේත හෙවත් ආර් එන් ඒ කොටස් වෙනස් කරනවා. ඉන් පසු ඒ ආර් එන් කොටස් වලට ට්‍රිගර් වෙන අපේ සිරුර වෛරස ප්‍රෝටීන නිෂ්පාදනය කරගන්නවා. එතනදී සම්පූර්ණ කොරෝනා වෛරසයම සිරුර තුළ නිර්මාණය වෙන්නේ නැහැ. ඇතිවන්නේ ආර් එන් ඒ කොටස් වලින් වැඩිදියුණු කරපු ප්‍රෝටීන විශේෂයක් විතරයි. ඉතින් මේ ප්‍රෝටීන දැකපු අපේ සිරුර හිතනවා ‘අඩේ දැන් වෛරස් එක ඇටෑක් කරන්න තමයි එන්නේ’ කියලා. ඉන් පස්සේ වෛරස් එකට වගේම අර ප්‍රෝටීන වලටත් එරෙහි ප්‍රතිදේහ සිරුර තුළ නිපදවා ගන්නවා. එම් ආර් එන් ඒ හෙවත් ආර් එන් ඒ කොටස් වැඩිදියුණු කරලා එන්නත හදන ප්ෆයිසර් යොදාගන්නා තාක්ෂණය නැවුම් එකක්. ඒකෙදි ඒ ක්‍රමය මෙතෙක් රෝගවලට එන්නත් නිපදවන්න වැඩිපුර පාවිච්චි කරපු ක්‍රමවේදයක් නෙමෙයි.

 

2. ෆයිසර් වල සාර්ථකත්වය

ප්ෆයිසර් එන්නත එක්සත් රාජධානියේ පුළුල් ලෙස විදින්නට අනුමත වුණා. එහිදී කිහිප දෙනෙකුට යම් ආසාත්මිකතාවයන් ඇතිවුණත්, එන්නත් ලබාදීම බොහෝදුරට සාර්ථක වුණා. ඒ ප්ෆයිසර් එන්නත මගින් 95%ක් පමණ සාර්ථක වන බව සොයා ගැනුණා. ෆයිසර් එන්නත මුල් වටයේදී ඇමරිකාවේ වෛද්‍ය කාර්යමණ්ඩල වලට විදින්නට නියම වෙලා තියෙනවා. ඒ ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමත් ඒක ඇමරිකාවේ නැවුම් සොයාගැනීමක් ලෙස උදම් අනලා තිබුණා. ප්ෆයිසර් එන්නත දීමේදී එම එන්නත සති තුනක් තුළ දෙවතාවක් දෙන්නට වෙනවා. පළමු වර එන්නත ලබා දී දින හතකින් පසුව දෙවැනි වර එන්නත ලබාදිය යුතු වෙනවා.

 

3. ප්ෆයිසර් බෙදාහැරීමේ ගැටළු

අපි කලින් පෝස්ටුවක මේ කොරෝනා වළක්වන එන්නත් මුහුණ පාන අභියෝග ගැන පුළුල්ව කතා කළා. ඒ අනුව මේ ෆයිසර් එන්නතත් අනුමත තත්ත්වයන් යටතේ බෙදාහැරීම, ගබඩා කිරීම ගැටළුවක් වෙලා තියෙනවා. මේ ප්ෆයිසර් එන්නත ගබඩා කළ යුතු වන්නේ, ප්‍රවාහනය කළ යුතු වන්නේ සෙල්සියස් අංශක -70ක උෂ්ණත්වයේ තබාගෙන. මේ උෂ්ණත්වය ලබාගන්න වෙනමම ශීතාගාර සහ ගබඩා පහසුකම් උවමනා වෙනවා. කොටින්ම වියළි අයිස් වල තිබ්බත් -70 උෂ්ණත්වය පවත්වාගන්නට බැහැ. මේ ගබඩා සහ ප්‍රවාහන ගැටළු නිසාම එන්නත ලබාදීමටත් සැළකිය යුතු කාලයක් ගතවන බව වාර්තා වෙනවා. මෙයින් ආකෘතියෙන් ප්ෆයිසර් වලට සමාන මොඩර්නා එන්නතට ප්ෆයිසර් වලට තරම් -70 සෙල්සියස් උෂ්ණත්වයක් උවමනා නැහැ. එම වැක්සීනය සෙල්සියස් උෂ්ණත්වය -20 යටතේදිත් තබාගන්නට පුළුවන්.

 

4. සයිනෝවැක් කොරෝනාවැක්

චීනයේ රජයේ කොම්පැණියක් තියෙනව සයිනෝවැක් කියලා. ඒ කොම්පැණියෙනුත් වැක්සීන් එකක් ඩිවලොප් කරලා දැන් ඒක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලක්ෂ ගාණකට එන්නත් කරලායි තියෙන්නේ. ඒ වගේම ඉන්දුනීසියාවේත් ලක්ෂ ගණනක් ජනතාවට මේ සයිනෝවැක් කොරෝනාවැක් එන්නත විද්දා. එතනදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කරපු පර්යේෂණ වලින් මේ එන්නත 86%ක පමණ සාර්ථකත්වයක් පෙන්නුම් කරනවාය කියලා සොයාගෙන තියෙනවා. සයිනෝවැක් වැක්සීන් එක සෙල්සියස් අංශක -2-8 මට්ටමේ තිබුණාම හොඳටම ඇති.

 

5. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා

සයිනොවැක් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා සාමාන්‍ය චිම්පන්සින්ට හැදෙන වෛරස ඇසුරෙන් ජානමය වශයෙන් වැඩිදියුණු කරලා හදල තියෙන්නේ. මෙයින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනකා මගින් තැනූ එන්නත සාර්ථකත්වය අතින් 62%-90% අතර පහළ අඩියක තිබුණත්, එහි මිල නම් ඇමෙරිකානු ඩොලර් 3-4ක් වන තරමට අඩුයි. ඒ වගේම එය සාමාන්‍ය ශීතකරණ වල ගබඩා කරන්න පුළුවන් මට්ටමේ තියෙන එකත් තවත් එක් වාසියක්. මේ එන්නත හැදෙන්නේ වෛරස ප්‍රභේද ජානමය වශයෙන් වැඩිදියුණු කිරීමෙන්. වෛරස ආර් එන් එකේ කොටස් නවීකරණය කරන ප්ෆයිසර් සහ මොඩර්නා වැඩේ තරම් සංකීර්ණ එකක් නොවීමත් මේ ඔක්ස්ෆර්ඩ් මගින් දියුණු වෙන එන්නතේ තියෙන විශේෂතාවයක්.

 

6. වැක්සීන් ගොඩක් කරළියේ 

චීනයේ දැනට වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ සයිනෝවැක් එක වුණාට චීනයේම තවත් වැක්සීන් 4ක් වැඩිදියුණු කරමින් තියෙනවා. ඒ අතර ඉන්දියාව, ඇමරිකාව, ජර්මනිය, එක්සත් රාජධානිය සහ විශාල සමාගම් මගින් නිපදවන්නට නියමිත එන්නත් මහා පරිමාණයෙන් නිපදවන්නට තමුන්ගේ එන්නත් නිපදවීමේ යාන්ත්‍රණය පාවිච්චි කරන්නට හැකි බව කියලා තියෙනවා.

 

7. වැක්සීන් එකක කාර්යභාරය සහ ගැටළු

වැක්සීන් නැතිනම් ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් කරන්නේ සිරුරේ කොවිඩ්-19 වලට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය කලින්ම නිපදවීම. එතකොට පස්සේ කාලෙක කොවිඩ්-19 ආසාදනය වෙන්නේ නැතිව ඒ ප්‍රතිශක්තිකරණ හැකියාව මතින් කොරෝනා වෛරසය මැඩපවත්වනවා. ඉතින් මේ අලුත් එන්නත් වලිනුත් විවිධ ආකාරයේ අතුරු ආබාධ තිබෙන්නට පුළුවන්. එක්සත් රාජධානියේ ප්ෆයිසර් එන්නත් කරපු මුල් වටේදි දෙතුන් දෙනෙක්ට ආසාත්මිකතා ඇතිවෙලා තිබුණා. ඒ වගේම මේ ප්‍රතිශක්ති හැකියාව කොපමණ කලක් සිරුරේ රඳාපවතිනවාද කියන එකත් මේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සාර්ථක වෙන්නට බලපානවා. කොහොම හරි එන්නත් කිහිපයකින් හරි ලොව පුරා මිනිස් ජන ජීවිතය උඩු යටිකුරු කළ නව කොරෝනාව මැඩපැත්වෙනවා නම් ලොකු දෙයක්. 

 

8. අපේ එන්නත්කරණ වැඩකිඩ 

අපේ රට යම් යම් අතින් පසුගාමී වුනත් සෞඛ්‍ය සේවාව අතින් යහපත් රටක්. අපේ රටේ එන්නත් කටයුතු කොහොමත් සාර්ථකව ඉටු වෙනවා. ඉතින් යම් විදිහකින් එන්නතක් සාර්ථක වෙලා අපිට මිලදී ගෙන හසුරුවාගන්න පහසු මට්ටමට ආවොත් අපේ රටත් යුහුසුළුව ඒ එන්නත වෙත යාවි. ඉතින් නිරන්තරයෙන් කොරෝනා කවුන්ට් එක, ලොක්ඩවුන් ගැන වගේම අලුත් එන්නත් ගැනත් අවධානයෙන් ඉන්න එක කොරෝනා කාලේ බලාපොරොත්තු දල්වාගන්නට අපිට උදව් වේවි. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *