ප්‍රශ්න නැත්තේ කාටද? ඕනම මනුස්සයෙක්ට වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඉතින් ලෝක ප්‍රශ්නයක් වෙන්නේ, එහෙම ප්‍රශ්න තියෙන අතරේ කොරේ පිටට මරේ වගේ තව ප්‍රශ්න කඩා වැටෙනකොට තමයි. එහෙම කඩාගෙන වැටෙන්න පුළුවන් ප්‍රශ්න වලට එක උදාහරණයක් තමයි, ප්‍රශ්නේ විසඳන්න ට්‍රයි කර කර ෆුල් මූඩ් එකේ ඉන්නකොට තමන්ගේ ගෑණි ඇවිත් තව මොකක් හරි මොට්ට මෝල් වැඩක් කරන එක. එහෙම නැතිනම් ප්‍රශ්නේ විසඳන්න කියලා හිතාගෙන ප්‍රශ්නේ දෙක කරන එක. ඔව්වා පාත් වෙන්නේ ඉතින් කසාද බැඳපු උදවියට නැතිනං ලව් එකේ ඉන්න උදවියට තමයි!
1. ඔයාට ඔව්වත් මහ ලොකු ප්‍රශ්න කියලද හිතෙන්නේ?
“අනේ මෙහ්, මිනිස්සුන්ට ඔයිට වඩා ප්‍රශ්න එනවා. ඔයට ඕක මහලොකු ප්‍රශ්නයක් වුනාට රටේ ලෝකෙ මිනිස්සු ඔව්වා ප්‍රශ්න කියලා හිතන්නෙ නෑ. නිකං හිතන්න මට පුංචි කාලේ ඉඳලා තිබුණු ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට මම හිත් කලබල කරගත්තා නං මං මැරුණු තැන්වල ගස් පැළවෙලා, ඒ ගස් බදුර්ඩීන් ඇවිත් කපාගෙනත් ගිහිල්ලා. නිකං බොරුවට ප්‍රශ්න කියලා පෙන්නන්නෙ නැතුව ඉන්නවා!”
ආන්න එහෙම ටෝකක් දුන්නහම ඉතින් හිතෙන්නේ “මැරුං නොකා මෙතනින් පලයං” කියන්න තමයි. කාරණේ මෙච්චරයි. ප්‍රශ්නේ ලොකු හෝ පොඩි වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක්ට ඒක ඔළුවට කරදරයක් නං, ඒ ප්‍රශ්නේ අරයගේ මෙයාගේ ප්‍රශ්න වලට සාපේක්ෂව කිරන්න මනින්න යන්න නරකයි.
2. හයියෝ දෙයියනේ ඉතිං අපි ඉඳලා ඉවරයි!
“හයියෝ දෙයියනේ, ඔයාව රස්සාවෙන් අස් කලාද? නෑ, එහෙනං ඔයාව දාව වෙන ගෑණියෙක්ට දරුවෙක් ලැබිලද? නෑ, එහෙනං ඔයාගෙ පපුවේ හිලක්ද? ඒත් නෑ?”
“හයියෝ, දෙයියනේ කාර් එක වැදුණා, හනේ දෙයියනේ කී ලස්සයක් වියදං කරලා ගත්තු වාහනේද, ගත්තා විතරයි. දැන් එකත් එකටම පැත්තක් ගිහින් ඇති. අනේ ඉතින් ඕක හදන්න සල්ලි හොයාගන්න මට එක්කෝ කඩයප්පං තම්බන්න වෙයි, නැත්තං මැදපෙරදිග යන්න වෙයි. අනේ අපි ඉවරයි”
මිනිහට ප්‍රශ්නයක් වෙලා තියෙනකොට ගෑණිත් ඔහොම විලාප ගහන්න තියාගත්තහම මිනිහට හිතෙන්නේ ඉතින් පොලිඩෝල් හොයන්ඩ තමයි. ඇයි හද්දෙයියනේ ප්‍රශ්නේ විසඳන්නයි, ගෑණිගේ අඬවැඩියාව නවත්තලා ගෑණිව නලවන්නයි දෙකක් පුළුවනැයි!
3. අපේ තාත්තට කියමු!
“මෙහ්, අනං මනං වැඩක් නෑ, ඔයා අපේ තාත්තිට කියන්න ඔය ප්‍රශ්නේ. තාත්ති අඳුනන අය ඕන තරම් ඉන්නවා හැමතැනම. පාප් වහන්සෙත් තාත්තිගේ පරණ යාලුවෙක්. ඔය ප්‍රශ්නේ තාත්තිට නතිං”
සමහර මිනිස්සුන්ට ඉතින් මෙහෙම සීනුත් පත්තු වෙනවා. ඒ කියන්නේ අර චක් නෝරිස්ගේ දුවව බැන්ඳහම වගේ තමයි. ඕන එකකට තාත්ති. අන්තිමට මිනිහට තියෙන ප්‍රශ්නෙට අමතරව ගෑණිගෙ පවුලේ අය ඉස්සරහා පීචං වෙන්නත් වෙලා. ඇත්තටම ප්‍රශ්නයක් ආවහම, ඒක තමන්ට විසඳගන්න බැරි නම්, තමන්ගේ මාමණ්ඩිට ඒකට උදවුවක් දෙන්න පුළුවන් නම් ඒ උදවුව ඉල්ලන එක කිසිසේත්ම ගැටළුවක් නෙවෙයි. හැබැයි ඉතින් එතනට යන්න වෙන්නේ තමන්ව ගැඩවිලෙක් ගාණට දාගෙන නම්, ආත්ම ගෞරවය කියන එක කලිසමත් එක්කම ගලවලා තියලා නම් අන්න ඒක ප්‍රශ්නයක්!
4. ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ට, බුදු හාමුදුරුවොත් කියලා තියෙනවනේ එහෙම!
“ඉධ නන්දති පෙච්ච නන්දති, කතපුඥ්ඥෝ උභයත්ථ නන්දති, පුඤ්ඤං මේ කතන්ති නන්දති, භීය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ” ආන්න එහෙම තමයි බුදුහාමුදුරුවෝ බුදු බණේ කියලා තියෙන්නේ. දැං ඕකේ තේරුම මගෙං අහන්න එපා. හැබැයි ඉතින් ඔයා ඔය ප්‍රශ්නයක් කියලා මූණ එල්ලගෙන ඉඳලා හරියන්නෙ නෑනේ, ගිහිං අර අහවල් හාමුදුරුවන්ගේ කැසට් එක දාගෙන අහන්න. එතකොට ඔයාට ඉබේම නින්ද යයි, ප්‍රශ්නෙත් අමතක වෙයි”
හතර පෝයට සිල් ගන්න උපාසකම්මා කෙනෙක් බිරිඳ වුනාම, බිරිඳ එහෙම අර සිහියෙන් දහම් අවබෝධ කරගන්න තාලේ උන්දෑ කෙනෙකුත් නොවුනාම ඔන්න ඔය වගේ බණ කතන්දර අහගන්න පුළුවන් ප්‍රශ්නෙකින් ඉන්න වෙලාවට. ඒ වෙලාවට ඉතින් හිතෙනවා ගිහිං යෙහෝවංගේ සාක්කිකාරයෙක් වෙන්න. ඇයි හද්දෙයියනේ ඔය බණ පද වලින් ප්‍රශ්නේ විසඳෙනවැයි. අඩු ගාණේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් විදියට ඔලුව හැදෙන්න හරි බණ පදයකින් උපදේශයක් දුන්න නං ඒකත් එකක්!
5. ඔය ඔක්කොටම මුල අර සෙකට්‍රි ගෑණි වෙන්නැති!
“මම දැනගත්තා මූණ එල්ලගෙන ඉන්නකොට. එකත්එකටම අර සෙකට්‍රි ගෑණිගේ සිහියෙන් පාගලා යන්න ඇති ඔෆිස් එකට කලින් යන්න. නැත්තං මොකද වෙලාවට ගෙදරින් ගියපු මිනිහා වාහනේ හප්පගන්නේ. නැත්තං සෙකට්‍රි ගෑණිට වැඩ පෙන්නන්න කියලා රේස් යන්න ගියාද? ඔය ප්‍රශ්න ඔක්කොටම මුල ඔය සෙකට්‍රි ගෑණි තමයි. මගේ ප්‍රශ්න වලට මුලත් ඔය සෙකට්‍රි ගෑණි තමයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්න හේතුවත් ඔය සෙකට්‍රි ගෑණිම තමයි!”
ඔහොම දෙස්දෙවොල් පූජාව පටන් ගත්තහම ඉතින් ඇත්තටම සෙකට්‍රි නෝනා එක්ක මෙව්වා එකක් තියෙන සැමියෙක්ට නං ඉතින් පූසා වගේ අහගෙන ඉන්න වෙනවා. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ඔය කියන සෙකට්‍රි කිසිමාකාරයකින් මනුස්සයාට සම්බන්ධයක් නැති, අඩු තරමින් මනුස්සයාගේ බොස්ගේ සෙකට්‍රි මිසක් මනුස්සයාගේ සෙකට්‍රි නොවෙන්නත් හොඳ ඉඩක් තියෙනවා. ඉතින් ප්‍රශ්නේ විසඳෙන්නෙ නෑ, මනුස්සයගෙ ප්‍රෙෂර් වැඩිවෙනවා මිසක්කා!
6. අනේ මට ඔයාගෙ ප්‍රශ්න වැඩක් නෑ, මේ මගෙ වැඩේ කරල දෙන්ඩ!
“මේ මට මෙන්න මේක ගෙනැල්ලා ඕන. අනේ ඔයාගෙ ප්‍රශ්න මට වැඩක් නෑ අනේ, කරුණාකරලා මට ඉල්ලපු දේ ගෙනැල්ලා දෙන්නකෝ. වෙන මිනිස්සු නං සතියකට සැරයක් තමන්ගෙ ගෑණිට මොකක් හරි තෑග්ගක් ගේනවා. ඒකට මේ මිනිහා. ගිය මාසෙ ඇනිවසරි එකට තෑග්ගක් ඉල්ලගත්තට පස්සේ ගෙදර ගෑණියෙක් ඉන්නවා, ඒ ගෑණිට මොනවා හරි ලොකු දෙයක් ගෙනිහින් දෙන්න ඕන කියලා මතකයක්වත් තිබ්බද!”
ප්‍රශ්නයක් තියෙනකොට ඔන්න ඔහොම කතන්දර නං අහන්න ලැබෙන්නේ, ප්‍රශ්නේ විසඳගන්න ඔළුව හදාගන්න කාරුණික වචනයක් තියා, ප්‍රශ්නේ මොකද්ද කියලාවත් ගණන් ගන්නේ නැති නං, ඒ මනුස්සයාට කරන්න පුළුවන් දෙයක් ගැන අපිට හිතාගන්නත් බෑ. කරන්න තියෙන්නේ ප්‍රශ්නේ අමතක කරලා දාන්න තමයි. ඇයි වදේ, මේක එයිට හපං ජීවිත කාලීන ප්‍රශ්නයක්නේ.
7. ඔයාට මාවද ලොකු ප්‍රශ්නෙද ලොකු?
“ඉහි ඉහි, අම්මලා එපා කියද්දී මම මේ කසාදේ කරගත්තේ. දැන් අන්තිමට මට කවුරුවත් නෑ. මට ඇත්තම කියන්න සුදූ, ඔයාට මේ ප්‍රශ්නෙද ලොකු නැත්නම් මාවද ලොකු?”
දැන් මනුස්සයා නෝනට සලකන විදියේ කිසිම අවුලකුත් නෑ. දැන් මේ ප්‍රශ්නේ ගැන කියලා වයිෆ්ට කිසිම අනාදර වචනයක් කියලත් නෑ. එහෙම තියෙනකොටත් මෙහෙම කියනකොට දැන් මොකද්ද කරන්න පුළුවන්? එක්කෝ ප්‍රශ්නේ පැත්තක තියලා වයිෆ්ව නලවගන්න ඕන. එහෙම නැතිනං වයිෆ්ට පොඩ්ඩක් ඇති වෙනකල් අඬ අඬා ඉන්න කියලා ප්‍රශ්නේ විසඳගන්න බලන්න පුළුවන්.
හරි, දැන් ඔය ඔක්කොම නෙවෙයි නං, තමන්ගේ මනුස්සයා හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි ප්‍රශ්නෙක ඉන්නකොට ගෑණියෙක් මොනවද කරන්න ඕන? වාතයක් නොවී, මනුස්සයාට ශක්තියක් වුනොත් ඇති. ප්‍රශ්නේ ගැන හාර හාර අහ අහා වද නොදී, එයා ප්‍රශ්නේ කියනකල් ඉවසිල්ලෙන් හිටියා නම් ඇති. ඕන ප්‍රශ්නේකට මූණ දෙන්නේ අපි දෙන්නම එකට කියන එක දැනෙන්න ඉඩ ඇරියා නම් හරි. අන්න එතකොට මොන ප්‍රශ්නේ ආවත් ෆුල් ෆිට් එකේ මූණ දෙන්න පුළුවන්!
එතකොට ගෑණිට ප්‍රශ්නයක් තියෙනකොට මිනිහා මෙහෙම ගොං පාට් දාන්නෙ නැද්ද? දානවා, දානවා. ඒක අපි වෙනම ලියනවා!
Leave a Reply