වන් නයිට් ස්ටෑන්ඩ් එකකට යන්න කලින් අනිවාර්යයෙන්ම කියවන්න

වන් නයිට් ස්ටෑන්ඩ්! නම කියපු ගමන් දන්න සමහරුන්ට නම් නිකම් බඩේ සමනල්ලු පියඹනවා වගෙත් දැනෙයි. නොදන්න අය ඒ මොන කුණුහබ්බයක්දෝයි කියලා අහයි. හරි, දන්න නොදන්න හැමෝටම කියලා දෙන්න අපි ලෑස්තියි. වන් නයිට් ස්ටෑන්ඩ් කියන්නේ නමේ කියවෙන විදියටම එක් සරාගී රාත්‍රියක් කියන එක. ගොඩක් වෙලාවට නාඳුනන්නෙක් එක්ක එක් රාත්‍රියකට විතරක් සිද්ධ වෙන සරාගී සම්බන්ධයක් තමයි වන් නයිට් ස්ටෑන්ඩ් කියන්නේ. හරි අපි විස්තරාත්මකව බලමු එහෙම එකක් කොහොමද ඇත්තටම වෙන්නේ කියලා.

 

අපි හිතමු ඔන්න අපි මොකක් හරි ප්‍රදර්ශනයක් බලන්න යනවා. අපි ප්‍රදර්ශනේ බලාගෙන බලාගෙන යනකොට ඔන්න ඉන්නවා අපේ හිතට අල්ලන පන්නේ ගෑණු ළමයෙක්. මේ ගෑණු ළමයා අපි දිහා බලනවා. අපිත් ඉතින් හිනාවෙනවා. ගෑණූ ළමයත් හිනාවෙනවා. ඊට පස්සේ ආයෙ වටයක් ගිහින් එනකොට ඔන්න ආයෙමත් මේ ළමයව අපි දකිනවා. ඔන්න අපි හලෝ කියනවා. එයත් හලෝ කියනවා. ඊට පස්සේ ඔන්න දෙන්නත් එක්ක ප්‍රදර්ශනේ ගැන කතා කරනවා. දැන් ඔහොම පටන් ගන්න කතාව නවතින්නෙ නෑ. අපිට දැනෙනවා මෙයා හරිම ඉන්ටරෙස්ටින් කෙනෙක් කියලා. එයාටත් එහෙම හිතෙනව ඇති. නැත්තං මගෑරලා යනවනේ. ඔන්න ඉතින් දෙන්නත් එක්ක වැඩිපුර කතා කරන්න කියලා කෝපි එකක් බොන්න යනවා. තවත් කතා කරනවා. ඊට පස්සේ ඕන්න අපි එයාට ආරාධනා කරනවා ලඟ පාත තියෙන අපේ ගෙදරට යන්න, තව කෝපි එකක් බොන්න. එයත් හා කියනවා. ඊට පස්සේ කෝපි බොන්න ගෙදර ගිහින්, එක දේකින් තව දේකට ගිහින්, ඒ දෙයින් තවත් දේකට ගිහින් අන්තිමට කතාව ඇඳෙන් තමයි නතර වෙන්නේ! පොඩි රොමෑන්ටික් ගතියකුත් නැද්ද හා?

 

කතාව ඉවර නෑ. ඔන්න උදේ නැගිටලා අපි බ්‍රෙක්ෆස්ට් හදනවා දෙන්නටම. ඊට පස්සේ දෙන්නා වෙන් වෙලා යනවා. අඩුම ගාණේ නොම්බරයක්වත් හුවමාරු කරගන්නෙ නෑ. දෙන්නා ආයෙ මුණගැහෙන්නෙත් නෑ. ඔච්චර තමයි!

 

1. තමන් ඇත්තටම කැමති පාට්නර් කෙනෙක්

ඇයි අපි මේකත් එක් කරුණක් විදියට කියන්නේ? සරලයි. වන් නයිට් ස්ටෑන්ඩ් එකක් කියන්නේ සෙක්ස් කරන්න ඕන කමට කඩි ගුලකට හරි ඔබන්න තියෙන අසහනේට යන ගමනක් නෙවෙයි. මුදලට ලිංගික ශ්‍රමය ලබාදෙන පිරිමියෙක් හෝ ගැහැණියෙක් එක්ක යනවා වගේ අහුවෙන ඕනම කෙනෙක් එක්ක සෙක්ස් කරන්න යන ගමනකුත් නෙවෙයි. ඇත්තටම එහෙම දේකින් වන් නයිට් ස්ටෑන්ඩ් එකක තියෙන ආහ්ලාදය ලැබෙන එකකුත් නෑ. ඊට වඩා, තමන් ඇත්තටම ආකර්ෂණය වෙන මනුස්සයෙක් එක්ක එක රාත්‍රියකට ඇතිවෙන සුන්දර සහ සරාගී සම්බන්ධතාවයක් තමයි වන් නයිට් ස්ටෑන්ඩ් එකක් ඇත්තටම වෙන්න ඕන. එතනදී තමයි වන් නයිට් ස්ටෑන්ඩ් එකක නියම සතුට විඳින්න පුළුවන් වෙන්නේත්. 

 

2. රාගයත් එක්ක සම්බන්ධතාවයත්

මේක තමයි ඒ එක්කම ඔළුවේ තියාගන්න ඕන දෙවෙනි කරුණ. ඇත්තටම ආදරයකින් තොර රාගී සම්බන්ධතාවයක කිසිම වැරැද්දක් තියෙනවා කියලා අපි කියන්නෙ නෑ. හැබැයි රාගය මුල් කරගත්තු සම්බන්ධතාවයකට ගියත්, එතන පොඩි හරි කෙයාරින්ග් එකක්, ගරුත්වයක් තියෙන්න ඕන. කොටින්ම කියනවා නම්, අපිට හරිහමන් වන් නයිට් ස්ටෑන්ඩ් එකක සෙක්ස් විතරක් එන්ජෝයි කරන්න බෑ. එතනදී අපි අලුතෙන් ඇතිවෙන මානව සම්බන්ධතාවයකුත් එන්ජෝයි කරනවා. ඇත්තටම අබිසරුලියකගෙන් එක් රාත්‍රියකට ලබාගන්නා ලිංගිකාස්වාදයත්, වන් නයිට් ස්ටෑන්ඩ් එකකුත් දෙකක් වෙන්නේ මෙතනදී. වන් නයිට් ස්ටෑන්ඩ් එකක්දී ලව් එකක් වුණත් ඇතිවෙන්න පුළුවන්. හැබැයි වන් නයිට් ස්ටෑන්ඩ් එකකදී ලව් එක අනිවාර්ය නෑ. හැබැයි අර කියපු සුන්දර මානව සම්බන්ධතාවය අනිවාර්යයි.

 

3. ආරක්ෂාවත් ඕන

මෙතනදී පරිස්සම් වෙන්න ඕන දේවල් දෙකක් තියෙනවා. මොකද, ඇත්ත ලෝකේ වන් නයිට් ස්ටෑන්ඩ් එකක් ෆිල්ම් එකක වගේ නෙවෙයි. එකක් තමයි තමන් ආගන්තුකයෙක්ව තමන් ඉන්න තැනට එක්කගෙන යන්නේ කියන එක. හොටෙල් එකකට වගේ එක්කගෙන යනවා නම් ලොකු ගැටළුවක් නෑ. ඒ නැතත්, තමන්ගේ ආරක්ෂාව ගැන කලින් හිතන්න ඕන. ඒක ඇත්තටම වන් නයිට් ස්ටෑන්ඩ් එකට කලින් කෙරෙන හඳුනාගැනීමේදී විශ්වාසය තහවුරු වෙන්න ඕන. එහෙම නැතුව අන්ෂුවර් මිනිස්සු හෝ ගැහැණු එක්ක වන් නයිට් ස්ටෑන්ඩ් වලට ගිහින් ප්‍රශ්න ඇති කරගන්න එපා.

 

දෙවෙනි දේ ලිංගිකත්වය සම්බන්ධයෙන් තමන්ගේ ආරක්ෂාව. අපි පැය කීපයක් ඇතුළත කොයි තරම් තදින් කෙනෙක්ට බැඳිලා, ඒ කෙනාව ඇඳට එක්කගෙන ගියත්, මේ ඇඳට එක්කගෙන යන්නේ නන්නාඳුනන්නෙක්ව කියන එක අමතක කරන්න නරකයි. එතනදී හිතේ කරදරයක් නැතුව සෙක්ස් කරන්න හොඳම ක්‍රමේ තමයි කොන්ඩම් පාවිච්චි කරන එක. ඒ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් රෝග වලින් ආරක්ෂා වෙන්න. ඒ ඇරෙන්න ගැබ්ගැනීම් වගේ ප්‍රශ්න වළක්ව ගන්නත් කොන්ඩම් පාවිච්චිය හොඳයි.

 

4. මූඩ් එකත් සෙට් කරමුද?

ඇත්තටම වන් නයිට් ස්ටෑන්ඩ් එකක් කියන්නේ අර සෙක්ස් නැතුව අසහනෙන් ඉඳලා, තමන් එක්ක සෙක්ස් කරන්න කැමති කෙනෙක් මුණගැහුණු ගමන් එක්කගෙන ඇවිත් ඇඳට පෙරළාගන්න එක නෙවෙයි කියන එක අපි පළවෙනි සහ දෙවෙනි කාරණා වලදී කිවුවනේ. අන්න ඒ නිසා, වන් නයිට් ස්ටෑන්ඩ් එකකදී ඇඳට යන්න කලින් සෙක්ස් කරන්න මූඩ් එක සෙට් කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් කළාට කිසිම වරදක් නෑ. සුවඳ ඉටිපන්දම්, සුවඳ කූරු, වයින් වීදුරුවක්, නිස්කලංක මියුසික් එකක්, පිරිසිදු ඇඳ රෙදි වගේ දේවලට එක රාත්‍රියක වුනත් කරන මේ සෙක්ස් අත්දැකීම අමරණීය එකක් කරන්න පුළුවන්. 

 

5. කමියුනිකේෂන්ස්!

මෙන්න මේක ඉතින් අපි සෙක්ස් ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන්ම කියන දෙයක්. ඒ තමයි දෙන්නා අතර ඉතාම හොඳ සන්නිවේදනයක් තිබීම. හැබැයි ඉතින් ඔය ලව් රිලේෂන්ශිප් එකකදී සෙක්ස් කරනවා වගේ නිවීහැනහිල්ලේ සති ගාණක් දෙන්නට දෙන්නා කැමති දේවල් කතා කරලා වැඩේට බහින්න බෑනේ. මොනව කරන්නත් තියෙන්නේ පැය ගාණයිනේ. අන්න ඒ නිසා, කෙටියෙන් සහ පැහැදිලිව සෙක්ස් කරනකොට තමන් ආස දේවල්, තමන් අකමැති දේවල් ගැන හොඳ අවබෝධයක් ලබාගන්න එක තමයි කරන්න ඕන. 

 

සමහර වෙලාවට අපි කරන්න ආස දෙයක්, හැබැයි එයා ආස වෙයිද දන්නෙ නැති දෙයක් තියෙනවා නම් එක්කෝ අවසර ඉල්ලන්න පුළුවන්. එයා ආසයි බයයි වගේ නම් එයා අපහසුතාවයකට පත් නොවෙන විදියට ඒකේ පොඩි එක්ස්පීරියන්ස් එකක් දීලා බලන්න පුළුවන්. 

 

6. ඩිමාන්ඩ් කළාට කමක් නෑ

වන් නයිට් ස්ටෑන්ඩ් එකක් කියන්නේ ඇත්තටම සුභසාධන සේවයක් නෙවෙයි. දෙන්නෙක් අතර අවබෝධයෙන් සිද්ධ වෙන, දෙන්නම සතුටු විය යුතු දෙයක්. එතනදී එක්කෙනෙක්ට තමන්ගේ සතුට හොයාගෙන ඊට පස්සේ අනික් පැත්ත හැරිලා නිදාගන්න ඔට්ටු නෑ. අන්න ඒ නිසා යම් හෙයකින් තමන්ට සුරතාන්තයක් හෝ මේ සෙක්ස් කිරීමේ පොදුවේ සතුටක් ලැබෙන්නේ නැති නම්, ඒක ඩිමාන්ඩ් කරන එකේ වැරැද්දක් නෑ. හැබැයි මේ කියන්නේ ඇඳේ ඉඳන් ගේම ඉල්ලන්න කියලා නෙවෙයි. අර උඩ කියපු කමියුනිකේෂන්ස් වලටම අයිති වෙන දෙයක් තමයි මේ කියන්නේ.

 

7. ඕනෑවට වඩා දේවල් ඉල්ලන්න නොයන්න! 

මේක ඉතාම වැදගත් කාරණාවක්. දෙන්නෙක් රිලේෂන්ශිප් එකකට නොයා වන් නයිට් ස්ටෑන්ඩ් එකකට යනේම යම් කිසි හේතුවකට. අපි සුබවාදී පැත්ත ගත්තොත්, ඒක දුටු මනතින් ඇතිවෙන ආකර්ෂණයත් එක්ක සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. එක් සරාගී රාත්‍රියකට පස්සෙත් දෙන්නට දෙන්නා තව අඳුනගන්න එයාගෙත්, අපේත් අකමැත්තක් නැති වෙන්න පුළුවන්. එහෙම තමන්ට කැමැත්තක් ඇති වුණොත්, පහුවෙනිදා උදේට හරි ඒක කියන්න පැකිලෙන්න ඕන නෑ. හැබැයි ඒකට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණේ නැතිනම්, වහාම ඒ කතාව එතනින් එහාට නතර කරන්න අපිට පුළුවන් වෙන්න ඕන.

 

එතකොට වඩාත්ම වැදගත් දේ: අපිත් එක්ක වන් නයිට් ස්ටෑන්ඩ් එකකට යන කෙනාගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න, එයාගෙ ප්‍රයිවසි එක උල්ලංඝනය නොකරන්නත් අපි වග බලා ගන්න ඕන. ඒ කියන්නේ දැන් කාලේ මුල් නම, වැඩ කරන තැන වගේ කරුණක් දෙකක් දැනගත්තත්, සාමාන්‍යයෙන් කෙනෙක්ව සෝෂල් මීඩියා වලින් හොයාගන්න පුළුවන්. හැබැයි අපිත් එක්ක වන් නයිට් ස්ටෑන්ඩ් එකකට එන කෙනා ඒ රාත්‍රියෙන් එහාට සම්බන්ධතාවයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා පැහැදිලිවම කියනවා නම්, අපි ඒ අනවශ්‍ය අතපෙවීම්, පස්සෙන් යෑම්, හෙවුම් බැලුම් නොකර ඉන්නත් සදාචාර සම්පන්න වෙන්න ඕන. 

 

ඉතින් එහෙමනම්, හැපි වන් නයිට් ස්ටෑන්ඩ් එකක්! 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *