මලලසේකර කියන නම අද වෙනකොට බොහෝ දෙනෙක් දන්නේ මලලසේකර ශබ්දකෝෂය නිසා කියන කතාව අවාසනාවකට ඇත්ත කතාවක්. හැබැයි ඒ ශබ්දකෝෂය පරිහරණය කරන කීදෙනෙක් මේ කෘතිය මුලින්ම සම්පාදනය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ ගුණපාල මලලසේකර පඬිතුමාට කියන එක දන්නවද කියන එක ප්‍රශ්නයක්. මේ නිසා අපි හිතුවා අද වෙනකොට බොහෝ දෙනෙක්ට අමතක වෙලා ගිහිල්ලා තියෙන අපේ රටේ විශිෂ්ට පඬිවරයෙක් සහ රාජතාන්ත්‍රිකයෙක් වන ගුණපාල මලලසේකර මැතිතුමා පිළිබඳව මතකය අවදි කරන්න .
1. ධර්මපාලතුමාගෙන් ලැබුණු ආශීර්වාදය
ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ තම පියාගේ සෙවණේ වැඩුණු මලලසේකර මහතාගේ උප්පැන්නය ලියා පදිංචි කළ නම වූයේ ජොර්ජ් පීරිස් යන නමයි. එහෙත් මේ කාලයේදී අනගාරික ධර්මපාල තුමා විසින් පරගැති නම් අත්හැර දේශීය නම් භාවිතා කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට තිබුණා. ධර්මපාලතුමාගේ ආභාෂය ලැබූ ගුණපාල මලලසේකර දරුවා සිය පියාගේ ආශීර්වාදය යටතේ ගුණපාල මලලසේකර යන නම භාවිතා කිරීමට පටන් ගත්තා. මේ පිළිබඳව ධර්මපාල තුමා වෙත දැනුම් දුන් අතර එතුමන් ලිපියකින් මලලසේකර දරුවාට තම ආශීර්වාදය පිරිනමනු ලැබුවා. අනාගතයේදී මේ දරුවා රට දැය සමයට වැඩදායී පුද්ගලයෙකු වන බව ධර්මපාලතුමාට නිතැතින්ම දැනෙන්නට ඇති.
2. දොස්තර සහ ඩොක්ටර්
තම පුතාව බටහිර වෛද්‍යවරයෙකු බවට පත් කිරීම මලලසේකර මහතාගේ පියාගේ ප්‍රධාන බලාපොරොත්තුව වී තිබුණා. නමුත් අවාසනාවකට මෙන් මලලසේකර මහතා වෛද්‍ය විද්‍යාලයේ තෙවැනි වසරේ ශිෂ්‍යයකු වී සිටියදී පියාගේ මරණය සිදුවීම එතුමාගේ අධ්‍යාපනයට එල්ල වුණු මරු පහරක් බවට පත්වුණා. වියදම් අධික වීම නිසා වෛද්‍ය විද්‍යාල ජීවිතයට සමුදුන් මල්ලසේකර අනතුරුව රැකියාවල නිරත වෙමින් කලා අංශයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තා. බටහිර වෛද්‍යවරයෙකු ලෙස ඩොක්ටර් හැඳින්වීම එතුමන්ට අහිමි වුවත්, ආචාර්ය උපාධිධාරියෙකු ලෙස ඩොක්ටර් ලෙස හැඳින්වීමේ ගෞරවය එතුමාට හිමි වුණා.
3. බකිංහැම් මාළිගයේ ලද පිළිගැනීම
උපාධිය සඳහා එංගලන්තයේ ගත කරන සමය තුළදී බකිංහැම් මාළිගයේ පැවැත්වෙන තේ පැන් සංග්‍රහයක් සඳහා ආරාධනා පත්‍රයක් මලලසේකර මහතාට ලැබුණා. නමුත් එම ආරාධනා පත්‍රයේ යුරෝපීය ඇඳුමින් සැරසිය යුතු බවට සඳහනක් තිබුණ නිසා ඔහු නැවතත් තමන්ට ජාතික ඇඳුමින් සැරසී සාදයට සහභාගී විය හැකි දැයි යන්න විමසා තිබෙනවා. ඊට අනුමැතිය ලැබුණු අතර එහි ප්‍රතිඵලය වූයේ තේපැන් සංග්‍රහයේ යුරෝපීය ඇඳුමෙන් සැරසුණු පුද්ගලයන් අතර ජාතික ඇඳුමින් සැරසී ගත් මල්ලසේකර මහතා කැපී පෙනීමයි. පස්වැනි ජෝර්ජ් රජු සහ මේරි රැජන මේ තරුණයා සමඟ කථාබහ කිරීමෙන් අනතුරුව ඔහුගේ සුහදශීලීත්වය සහ බුද්ධිමත් බව පිළිබඳව පැහැදීමට පත් වී යළි යළිත් විවිධ උත්සව සඳහා බකිංහැම් මාළිගය වෙත ඔහුට ආරාධනා කරනු ලැබුවා.
4. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති රීති වෙනස් කිරීමට හේතුවූ මලලසේකරගේ වික්‍රමය
ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලය වෙත ගිය මලලසේකර මහතා ලන්ඩන් කෞතුකාගාරයේ තිබූ පාලි භාෂාව පිළිබඳව පුස්කොළ පොත් ඇතුළු විවිධ රටවල ලියැවුණු අත් පිටපත් සහ විවිධ විද්වතුන්ගේ ග්‍රන්ථ අධ්‍යයනය කොට “ලංකාවේ පාලි සාහිත්‍යය” නම් මාහැඟි ග්‍රන්ථයක් රචනා කරනු ලැබුවා. බාහිර ශිෂ්‍යයෙකු ලෙස පී.එච්.ඩී උපාධියත් ලැබිය හැකි බව වටහා ගත් එතුමා ඒ සඳහා ද ලියා පදිංචි වනු ලැබුවා. මේ නිසා එම්.ඒ උපාධිය සහ පී.එච්.ඩීය යන උපාධි දෙකම එකවර ලබා ගැනීමට ඔහු සමත් වූ අතර තමන්ට විශ්ව විද්‍යාලයේ ආදායම අහිමි වී යනු ඇතැයි බිය වූ ලන්ඩන් විශ්ව විද්‍යාල පරිපාලනය එම්.ඒ සහ පී.එච්.ඩී උපාධි එකවර හැදෑරිය නොහැකි බවට විශේෂ නීතියක් ඇති කිරීමට මින් පසුව කටයුතු කළා.
5. මලලසේකර මහතා චිත්‍රපටිය බලපු හැටි
වරක් ගාමිණී ෆොන්සේකා පවසා තිබෙන්නේ තමන් මලලසේකර මහතාට අතිශයින් ගෞරවාදරය දැක්වූවත් ඔහු සමග චිත්‍රපටි බැලීමට නම් ප්‍රිය නොකරන බවයි. ඊට හේතුව වන්නේ මලලසේකර මහතා සෑම විටම විවිධ ශාස්ත්‍රීය කරුණු පිළිබඳව කල්පනාවේ යෙදීමයි. චිත්‍රපටි නරඹන අතරතුරත් එයාකාරයෙන්ම විවිධ කරුණු පිළිබඳව කල්පනා කරන ඔහු හදිසියේම තමන් චිත්‍රපටි ශාලාවේ සිටින බව මතක් වූ වහාම ළඟ සිටින පුද්ගලයාගෙන් චිත්‍රපටියේ මේ දක්වා සිදු වූ සියල්ල පිළිබඳව විමසා සිටීමට පුරුදු වී තිබෙනවා.
6. රුසියාවේදී ඉගැන්වූ මලලසේකර
එක්දහස් නවසිය පනස් හයේ පෙරළියෙන් පසුව ලෝකයේ සමාජවාදී රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට බණ්ඩාරනායක රජය විසින් කටයුතු ආරම්භ කරනවා ලැබුවා. ඒ අනුව සෝවියට් රුසියාවේ පළමු තානාපතිවරයා ලෙස පත්කරනු ලැබුවේ මලලසේකර මැතිතුමාවයි. එහිදී විශේෂත්වය වූයේ රුසියානු ජනාධිපතිවරයාට පිරිනැමූ අක්ත පත්‍රය එතුමා විසින් සිංහලෙන් කියවනු ලැබීමයි. රුසියානුවන්ගේ සිත දිනාගැනීමට මලලසේකර මැතිතුමා කොතරම් සමත් වූයේ ද කියතොත් මොස්කව් විශ්වවිද්‍යාලයේ සිංහල සහ බුද්ධාගම ඉගැන්වීම සඳහා ආරාධනාවක් ද එතුමා වෙත කරනු ලැබුවා. තානාපතිවරයෙකුට රුසියාව තුළ එවැනි අවස්ථාවක් හිමි වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා
7. අගමැති තනතුර ප්‍රතික්ෂේප කළ අසහාය මිනිසා
එස්.ඩබ්ලිව්.ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දිය යුත්තේ කවරෙක් ද යන්න පිළිබඳව මහා සංඝරත්නය අතර මෙන්ම දේශපාලන ලෝකය තුළත් විවිධ සංවාද පැවතුණා. එහිදී හේනපිටගෙදර ඤාණසීහ වැනි හිමිවරුන් ගේ අදහස වූයේ එම තනතුර සඳහා බණ්ඩාරනායක මැතිණිය සුදුසු බවයි. නමුත් බණ්ඩාරනායක මැතිණිය දිගින් දිගටම මෙය ප්‍රතික්ෂේප කළ අතර ඇගේ මතය වූයේ එම තනතුර සඳහා මලලසේකර මහතා පත් කළ යුතු බවයි. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටි මලලසේකර මහතාව මැතිණිය විසින් සම්බන්ධ කරගත් අතර තම යෝජනාව පිළිබඳව ඔහුට දැනුම් දෙනු ලැබුවා. ඇගේ යෝජනාව කාරුණිකව ඔහු ප්‍රතික්ෂේප කළේ තමන්ට දේශපාලනය කිසිසේත්ම නොගැලපෙන බව පවසමින්
මලලසේකර මහතාගේ විශිෂ්ටත්වය මෙවැනි එක ලිපියකින් පැවසීම අපහසුයි. විශේෂයෙන්ම ලංකාවේ අධ්‍යාපනයේ දියුණුව සඳහා එතුමා දැක්වූ දායකත්වය පිළිබඳව කතා කිරීමට තව ලිපි කීපයක්ම ලියන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැනත් ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply