කොවිඩ් 19 තත්ත්වය එක්ක සිරුරේ වැඩිපුරම පීඩාවට පත්වෙන ඉන්ද්‍රියක් තමයි මනස. මානසික සෞඛ්‍යය මේ කාලේ සමබරව තියාගන්න එක ලෝකයටම අභියෝගයක්. ඉතින් එදිනෙදා ජීවිතයේදි අපි මුහුණ පාලා තියෙන හුදකලා තත්ත්වය එක්ක මේ මානසික සෞඛ්‍යය හොඳින් තියාගන්න ටිප්ස් කිහිපයක් ඔයාලට ඉදිරිපත් කරන්නට අපි හිතුවා. අපි දැන් ඒ කිහිපයක් බලමු.
1. ප්රවෘත්ති බැලීම සීමා කිරීම
පුවත් නැරඹීම කියන්නේ රටේ ලෝකේ තියෙන හැම කුණු ගොඩක්ම අපේ සාලයට එන මාර්ගයක්. ප්රවෘත්ති අපිට නැතිව බැහැ. රටේ තොටේ දේවල් දැනගන්න අපිට පුවත් උවමනා වෙනවා. ඒත් නිතර නිතර ප්රවෘත්ති බලන්නට හුරු වීම කියන්නේ මනසට අමතර වදයක්. ඇරත් කොවිඩ් 19 ව්‍යසන තත්ත්වය නිසා එන්න එන්න සංඛ්‍යාලේඛන වල මරණ සංඛ්‍යාව, රෝගීන් සංඛ්‍යාව වැඩිවෙනවා. රටේ ලෝකේ ආර්ථික, සමාජීය වටපිටාව සවුත්තු වෙන විදිහක් තමයි පේන්න තියෙන්නෙ. ඒ නිසා දිනකට එක් වරක් පමණක් අවශ්‍යම කාරණාවකට පමණක් ප්රවෘත්ති බැලීම අපේ මානසික සෞඛ්‍යයට හොඳයි.
2. ඇත්තටම සමීපතමයන් සමග ඔන්ලයින් සබඳතා වැඩි කරගැනීම
අලුත් සමීපතමයින් ඔන්ලයින් මාර්ගයෙන් ඇතිකරගැනීම මේ කාලෙදි ලේසියි. ඒත් හැමදාම දන්න අපේ අඩුලුහුඬුකම්, අපේ ගතිසොබාව දන්න අයම ඔන්ලයින් මාර්ගයෙන් ආශ්‍රය කරන්න පුළුවන් නම් වේදනාව අඩුයි. අපි ගැන කාලාන්තරයක් දන්න උදවිය අපි එක්ක ආශ්‍රය කරන්න ඕනි කොහොමද කියලා දන්නවා. අපේ රුචි අරුචිකම් දන්නවා. අලුත් අලුත් සම්බන්ධකම් වලට යන එකේ ලොකු අවුලක් නැහැ. ඒත් ඇත්තටම අපේ සතුටකදි විපතකදි ළඟින්ම ඉන්න ළඟම ඥාතීන්, ළඟම මිතුරන් ඔන්ලයින් මාර්ගෙනුත් වඩාත් සමීප කරගැනීම මානසික සෞඛ්‍යයට හොඳයි.
3. සෞඛ්‍ය නිර්දේශ හැකි සෑම විටම පිළිපැදීම
අපිට හෝ අපේ ආශ්රිතයෙක්ට රෝගය වැළඳුනා කියලා දැනගත්තම ඒකේ ඇතැම් විට රෝග ලක්ෂණ එන්නත් කලියෙන්ම අපි මානසිකව පසුබෑමකට ලක් වෙනවා. ඒ නිසා අපිට ලෙඩේ ඇතිවෙන්න තියෙන අවස්ථා අඩුකරගන්න ඕනි. මුව ආවරණ දැමීම, නිතර අත් සේදීම, දුරස්ථභාවය තබාගැනිම වගේ කොවිඩ් 19 සෞඛ්‍ය පුරුදු දැන් අපිට කටපාඩම්. ඒවා අනෙක් අය පිළිපදිනවාද කියා බැලීමත් අපේ අතින් ඉබේම වෙනවා. ඒ වගේම අපිත් කාලෙත් එක්ක ඒ දේවල් අනුගමනය කරන එක අඩු කරන්න හොඳ නැහැ.
4. වර්ක් ෆ්‍රොම් හෝම් සැලසුමකට අනුව සිදුකිරීම
ගෙදර ඉඳන් වැඩ කරන එක ලේසි නැහැ. දරුවන්ගේ කරදර, ගෙදර අයගේ කරදර, කෑම බීම, ඉවුම් පිහුම් වගේ දේවල් නිසා ගෙදර ඉඳන් වැඩකරනකොට බාධා වෙනවා. වඩාත්ම හොඳ දේ තමයි කාලසටහනක් සකස් කරගන්න එක. හරියටම දශමයටම අපිට කාලසටහන අනුගමනය කරන්න අමාරුයි. ඒත් අපි වැඩ කරන්නේ මේ වෙලාවට, කන්න බොන්න, තේ වතුර බොන්න ගන්නෙ මේ වෙලාව, ගෙදර අය එක්ක ගත කරන්නේ මේ වෙලාව, විනෝද වැඩසටහන් බලන්න ටීවී එක දාන්නේ මේ වෙලාවට කියලා වෙන් කරගත්තොත් ගෙදර ඉඳන් වැඩ කිරීමේ මානසික පීඩනය ටිකක් අඩු කරගන්න අපිට පුළුවන් වෙනවා.
5. සුභවාදී දේ කෙරේ වැඩි අවධානය
කොවිඩ් නිසා ඇතිවන තත්ත්වයන් අතුරින් සුභවාදී දේවල් තියෙන්නේ අතළොස්සයි. ඒක අපි හොඳටම දන්නවා ආර්ථික ප්‍රශ්න. අපේ පවුල් ප්‍රශ්න, රස්සාවේ ප්‍රශ්න වගේම සෞඛ්‍ය ප්‍රශ්නත් කොවිඩ් එක්ක එකම රැල්ලක එනවා. මේවා ගැනම හිතහිතා ඉන්න එකෙන් වෙන්නේ ප්‍රශ්න තවත් ඔළුවට වද දෙන එක. කට්ටියට එකතු වෙලා ඉස්සර වගේ සාද පවත්වන්නට දැන් බැහැ. ඒත් අපි හැකිතාක් සුභවාදී දේවල් හඹායෑම වටිනවා. චිත්‍රපටියක්, පොතක් තෝරද්දි අපිට විනාශ කතාන්දරම තෝරන්නේ නැතිව සුභවාදී කතා තෝරාගන්න පුළුවන්. ගෙදර අයගේ තොරතුරු හොයද්දි වුණත් එයාලගේ තියෙන වැරදිම හොයන්නේ නැතිව එක් එක් අයගේ තියෙන සුළු හෝ හොඳ දේවල් අගය කරන්න පුළුවන් නම් ඒක වටිනවා.
6. ගැටළු සහගත අවස්ථාවලදී වෘත්තීයමය උපදේශනය ලබා ගැනීම
මනස වගේම සිරුරත් මානව පරිණාමයේ සිටම එකම තැනකට වෙලා කල් ගතකරන්න හුරු වෙලා නැහැ. අපි මිනිස්සු විදිහට සමාජීය ජීවිතයක් හුරු වුණ අය. ඒ නිසාම මේ කොවිඩ් කාලයේ ඒ නිසා ඇතිවෙන මානසික ප්‍රශ්න වලින් ලෝකයේ හැම රටක්ම වගේ පීඩා විඳිනවා. ඉතින් මේ වෙලාවේ හිතට ලොකු අසහනයක් තිබෙනවා නම් වෘත්තීයමය උපදේශකයෙක් මුණගැහෙන්නට ඕනි. එසේ නැතිව වෙන වෙන විකල්ප වලට යොමු වෙන්න හදන එක අවදානම් වැඩක්. මේ කාලෙට ලෝකෙම එපා වුණා වගේ තේරීම, හිස පුපුරන්න තරම් බරක් තිබීම, ඉක්මනින් තරහ යෑම, නුරුස්නා ගතිය, සිහිය මද වීම වගේ දේවල් දරුණුවට තිබෙනවා නම් වහාම උපදේශකයෙක් හමු වෙලා ප්රශ්නය නිරාකරණය කරගන්න උත්සාහ කිරීම වැදගත් වෙනවා.
7. ඇවිදීම සහ ව්‍යායාම
කොවිඩ් නිසා අපේ ගමන් බිමන් අඩු වුණා. ඒත් තිබෙන අවකාශයේ ගැටීම් අඩුවෙන් ඇවිදීමට පුරුදු වෙන්න ඕනි. මොකද ඇවිදීම කියන්නේ අපිට මූලිකව ව්‍යායාම ලැබෙන මගක්. ඒ වගේම නිවස තුළ සිටින සුළු පිරිස එකතු වෙලා රූපවාහිනිය හෝ අන්තර්ජාල ව්‍යායාම වැඩසහනක් නරඹන ගමන් සැහැල්ලු ව්‍යායාම කරන්න පුළුවන් නම් හොඳයි. ජිම් යාම නැවතිලා කෑම බීම වැඩිපුර කලට වෙලාවට ඇඟ ඇතුළට යද්දි සිරුර ස්ථුලවන්නට පුළුවන්. ව්‍යායාම සහ ඇවිදීම සහ මානසික සෞඛ්‍යය අතර සෘජු සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මනස වගේම සිරුරේ සුවතාවය ආරක්ෂා කරගන්න මහන්සිගන්න එක හැම අතින්ම වැදගත් වෙනවා.
අපේ මානසික සෞඛ්‍යය ගැන අවධානය යොමු කිරීම වගේම අපේ ළඟපාත අය ගැනත් ලෙංගතුව අවධානයෙන් ඉන්නට ඕනි. මොකද අපි හැමෝගෙම කලින් තිබ්බ ජීවිතය කොවිඩ් නිසා ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවෙන් පළා යනවාට වඩා පොඩි පොඩි සුභදායී දේවල් හරහා නැවත ගොඩනැගෙන්නට අපි හැමෝම උත්සාහ ගන්නට ඕන.
Leave a Reply