පුංචි දරුවන්ට ඩිජිටල් තිරය අහිතකර ඇයි?

පුංචි දරුවන්ට TV බලන්න, phones බලන්න, වීඩියෝ ගේම් ගහන්න දෙන්න හොඳ නැහැ කියන එක අපි දැන් දැන් නිතරම අහන කතාවක්. හැබැයි එහෙම කියන හුඟක් දෙනෙක් ඒ ඇයි කියන ප්‍රශ්නෙට හරිම උත්තරය දෙන්නනම් දන්නෙ නැහැ. Screen Time එපා කියල විතරයි කියන්නෙ. ඒ හැමෝම කියන නිසා, නිතර ඇහෙන නිසා. ඉතින් අපි හිතුව මේ Screen Time එපා කියල කියන නියම හේතුව මොකක්ද කියල හොයල බලන්න. ඉස්සෙල්ලාම කියන්න ඕන මේ Screen Time කියල කියන්නෙ TV එකට විතරක්ම නෙමෙයි. අපි පොදුවේ TV බලන්න එපා කිව්වට Screen Time කියන කාණ්ඩයට TV, ජංගම දුරකථන, ටැබ්ලට් පරිග​ණක, පරිග​ණක තිර වගේ හැමදෙයක්ම ඇතු​ළත් වෙනවා. අපි මේ හැම දෙයක්ම කැමැත්තෙන් තෝරගත්තට පොඩි දරුවන්ව මේ ඩිජිටල් තිරයන්ට යොමුකිරීම මුලින්ම වෙන්නෙ වැඩිහිටි අපේ අතින්. ඒ නිසාම digital screen එහෙමත් නැත්තම් screen time දරුවන්ට අහිතකර ඇයි කියන එක හරියට තේරුම් අරගෙන දරුවන්ව මේ දේවල් වලින් ඈත් කරන එක වැඩිහිටි අපේ වගකීමක්. 

ඉතින් මේ කිසිම දෙයක් පුංචි දරුවන්ට දෙන්න එපා. ඒවා පොඩි ළමයින්ට අහිතකරයි කියලා වෛද්‍යවරු කියන්නෙ මෙන්න මේ හේතු නිසයි. 

 

1. Virtual Autism

මේ Virtual Autism කියන්නෙ බොහොම මෑතක කෙරුණ වෛද්‍ය සොයාගැනීමක් කිව්වත් වැරදි නැහැ. වෛද්‍යවරුන් සහ පර්යේෂකයින් කියන විදිහට ඩිජිටල් තිරයට වැඩිපුර යොමුවුණ දරුවන් තු​ළ ඔටිසම් රෝගයේ යම් යම් ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. ඔටිසම් ගැන අපි මීට කලින් කතා කළා ලිපි කිහිපයක් මඟින්. කොහොම උනත් මේ ඩිජිටල් තිරය ඔටිසම් රෝග ලක්ෂණ ඇතිකරන්න හේතුවක්. එක දිගට පැය ගා​ණක් ඩිජිටල් තිරයක් දිහා බලාගෙන ඉන්න එකෙන් දරුවන්ගේ මො​ළේ වර්ධනය අඩාල වෙන්න පුළුවන්. ඒ ඔස්සේ තමන්ගේ නමට ප්‍රතිචාර දැක්වීම, ඇස දිහා සෘජුව බලාගෙන සන්නිවේදනය නොකිරීම වගේ ලක්ෂණ මූලිකවම ඇතිවෙන්න පුළුවන්. මේවා ඔටිසම් තත්ත්වයේත් මූලික ලක්ෂණ.

 

2. හැසිරීම් සම්බන්ධ ගැටළු

 

අනවශ්‍ය ලෙස දරුවන්ට ඩිජිටල් තිර වෙත යොමු කරන එකේ ඊළඟ ලොකුම ගැටළුව තමයි වැඩෙන දරුවන්ගේ හැසිරීම සම්බන්ධ ගැටළු. TV, පරිගණ​ක වගේ දේවල් වලට යොමු නොවුන සාමාන්‍ය දිනචර්යාවක් ගත කරන දරුවෙක් සහ මේ කියන ඩිජිටල් උපාංග වලට වැඩි වශයෙන් යොමුවුණ දරුවෙක් ගත්තහම දෙවන කාණ්ඩයේ දරුවන් තු​ළ සාමාන්‍ය වයසට අවශ්‍ය හැසිරීම් වල ගැටළු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් අවට පරිසරයේ සිදුවෙන දේවල්වලට දක්වන සංවේදනයන්, සමාජ සම්බන්ධතා වගේම ඒ ඒ දේවල් වලට ප්‍රතිචාර දක්වන විදි පවා ගැටළු සහගත වෙන්න පුළුවන්.

 

3. අධ්‍යාපන ගැටළු

ඊළඟ එක තමයි අධ්‍යාපනය සම්බන්ධ ගැටළු. අධ්‍යාපනය කියන්නෙ පාසල් අධ්‍යාපනය විතරක්ම නෙමෙයි. පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ ඉඳලම දරුවන් යම් යම් දේවල් ඉගෙන ගන්නවා. එහෙම ඉගෙන ගන්නනම් ඔවුන් අවට පරිසරය නිරීක්ෂණය කරන්න ඕන. හැබැයි ඩිජිටල් තිරය මඟින් දරුවන්ගේ මේ නිරීක්ෂණ හැකියාවන්ට ඇති කාලය වගේම උනන්දුවත් අඩු කරනවා. ඉතින් පූර්ව ළමාවිය සහ පාසල් සමයේ කියන දෙකේම අධ්‍යාපනය සම්බන්ධ ගැටළුකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

 

4. ස්ථුලතාවය

ඩිජිටල් තිරය කියන්නෙ එක තැනක ඉඳගෙන පැය ගා​ණක් කාලය නාස්ති කරන්න පුළුවන් මෙවලමක්. දරුවෝ ස්වාභාවිකවම බොහොම ක්‍රියාශීලී ජීවීන් කොට්ඨා​සයක්. මේ ක්‍රියාශීලි බව අඩුවෙලා TV, පරිගණ​ක දිහා බලාගෙන වැඩිවෙලාවක් ගත කරන එකෙන් දරුවන් ස්ථුලභාවයට පත්වෙන්න පුළුවන්. කුඩාකාලයේ ඇතිවෙන මේ ස්ථුල තත්ත්වයන් වැඩුණු පසුවත් ශරීරයට බලපෑම් කරන, බොහෝවිට නිවැරදි කරගන්න අපහසු තත්ත්වයන්.

 

5. ප්‍රචණ්ඩකාරී බව

TV, ජංගම දුරකථන, පරිගණ​ක වැනි ඩිජිටල් උපාංග වලට වැඩි වශයෙන් යොමුවුණ දරුවන් ඒවගේ කලහකාරී චිත්‍රපටි, ටීවී වැඩසටහන් සහ වීඩියෝ ක්‍රීඩා නිසා කාලයත් එක්ක ප්‍රචණ්ඩකාරී ගති ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. මොකද ඩිජිටල් තිරයෙන් එහාට පරිසරය, කලාව වගේ දේවල් නොදකින නිසා ඒවාට සංවේදී වෙන්න අවශ්‍ය කුසලතාවය ඔවුන් තු​ළ ගොඩනැගෙන්නෙ නැහැ. අවට සමාජයේ තමන් එක්ක ජීවත් වෙන අයගේ විවිධ සංවේදනයන් මේ දරුවන්ගේ ඇස ගැටෙනව අඩුයි. ඒ තුළින් ඔවුන්ට ඉගෙන ගන්න තියෙන සමාජීය කුසලතා හුඟක් මේ ඩිජිටල් තිර ඉදිරියේ ගෙවෙන කාලය නිසා අහිමි වෙනවා. 

 

6. නින්ද අහිමිවීම

මේක ඩිජිටල් තිරයත් එක්ක සෘජුවම නොවුනත් වක්‍රාකාරව සම්බන්ධ වෙන කාරණාවක්. ටීවී, පරිගණ​ක වගේ මෙවලම් වලට ඇබ්බැහි වු​ණ දරුවන්ට සාපේක්ෂව නින්ද ලබාගන්න තියෙන හැකියාව අඩුයි. ඒකට හේතුවෙන්නෙ මෙන්න මේ කාරණාව. රාත්‍රී කාලයේ වගේම දහවල් කාලයේත් ඩිජිටල් තිරය හරහා ඇසට බොහොම සමීපව ලැබෙන අනවශ්‍ය ආලෝකය නිසා මො​ළයේ නින්ද සම්බන්ධ සන්නිවේදනයන් හරියට සිදුවෙන්නේ නැහැ. ඒ නිසා නින්ද අහිමි වෙන්න පුළුවන් හුඟක් වෙලාවට. 

 

7. පවුලේ සම්බන්ධතා

ඩිජිටල් තීරයන්ට ඇබ්බැහි වීම නිසා අහිමිවෙන ලොකුම දේ තමයි තමන්ගේ ලඟම ඉන්න පවුලේ අය. ලොකු අයටනම් මේ බව තේරුණාට, ඔවුන් ඕනෑකමින්ම ඩිජිටල් තිරය තොරාගත්තට පුංචි දරුවෝ මේ පවුල අහිමි කරගන්නෙ නොදැනුවත්ව. පවුලේ අයත් එක්ක ගතකරන්න, ඔවුන්ව හඳුනා ගන්න, ඔවුන්ගේ රුචි අරුචිකම් හඳුනගන්න තියෙන කාලය තමයි මේ ඩිජිටල් තිරය ඉස්සරහ නිකරු​ණේ වැයවෙන්නේ. මේ හඳුනා ගැනීමත් ඔවුන්ගේ මානසික වර්ධනයේ එක කඩඉමක් නිසා මේක දරුවන්ගේ වර්ධනයට හානිකර තත්ත්වයක්. දෙමව්පියන්ගේ හෝ දරුවන්ව රැකබලා ගන්න ඉන්න අයගේ පහසුවට දරුවන්ව ඩිජිටල් තිරයට යොමු කළාට පසුකාලීනව ඒවගේ ආදීනව දරුවන්ට වගේම ඔවුන් අවට ඉන්න අයටත් විඳින්න සිද්ධ වෙනව කියල කියන්නෙ මෙන්න මේ නිසයි.