දෙසැම්බර් නිවාඩුවේදී නෙට්ෆ්ලික්ස් එකේ බලන්නම වටිනා වාර්තා චිත්‍රපටි/ වාර්තා ටෙලි මාලා කීපයක්!

දැන් සෑහෙන පිරිසක් අතර Netflix ඉතාම ජනප්‍රියයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මාසෙකට ඩොලර් අටක් විතර – ඒ කියන්නේ එක්දාස් පන්සීයකටත් අඩු ගාණක්- දළ වශයෙන්  වියදම් කරලා Netflix සේවාව ලබාගත්තට කාරියක් නෑ. විශේෂයෙන්ම ටීවී සීරීස්, ෆිල්ම් එහෙම හොරාට ඩවුන්ලෝඩ් කරලා, සබ්ටයිටල්ස් හොය හොයා දඟලනවාට වඩා, මාසෙකට ඔය ගාණ වියදම් කරන එක පාඩුයි කියන්න පුළුවන්ද? හොඳ ඩේටා ප්ලෑන් එකකුත් තියේ නම්, Netflix ඇප් එකෙන් ඕෆ් පීක් ඩේටා වලින් ඕන ඒවා ඩවුන්ලෝඩ් කරලා බලන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඉස්සරහට එන දෙසැම්බර් නිවාඩු දවස් වලට එහෙම ඒක සෑහෙන්න වටියි.

 

දැන් ඔය ඩොකියුමන්ට්‍රි වලට, ඒ කිව්වේ වාර්තා චිත්‍රපටි වලට ආස අය ඉන්නවනේ. ඇත්තටම වාර්තා චිත්‍රපටි කියන්නෙත් විනෝදාස්වාදය එක්කම යම් කිසි විෂයක් ගැන, යම් කිසි දෙයක් ගැන සෑහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් මාධ්‍යයක්. ආන්න එහෙම ඩොකියුමන්ට්‍රි වලට ආස අයට Netflix එකේ වෙනම ලිස්ට් එකක්ම තියෙනවා ඩොකියුමන්ට්‍රීස්. ඉතින් අපි හිතුවා, Netflix එකේ තියෙන බලන්න වටින ඩොකියුමන්ට්‍රීස් ලිස්ට් එකක් ලබාදෙන්න කියලා. එතනින් හොඳ එකක් දෙකක් හරි තෝරගෙන බලන්න පුළුවන් වෙන්න.

 

1. The Social Dilemma

මේ වෙනකොට අපි කී දෙනෙක් සමාජ මාධ්‍ය ජාල වල ඉන්නවද? කොටින්ම කියනවා නම්, මේ ආටිකල් එක Lifie.lk වෙබ් සයිට් එකේ කියවන කෙනෙක් නම්, ඒ කෙනා මොකක් හරි සමාජ ජාලයක ඉන්න තියෙන ඉඩ 99.9% කටත් වැඩි වෙන්න ඕනේ. හැබැයි මේ සෝෂල් මීඩියා වල තියෙන අහිතකර පැත්ත මොකද්ද? ඒ කියන්නේ අපිට ඔය අහන්න ලැබෙන ලව් හබක් වීම්, පවුල් කැඩීම්, සල්ලි ගැරීම්, බොරු ප්‍රචාර වලට අහු වීම්, පෞද්ගලිකත්වය නැති වීම් වගේ දේවල් ඇරෙන්න, සෝෂල් මීඩියා වලින් වෙන්න පුලුවන් තවත් ගැටළු තියෙනවද? ආන්න ඒ ගැන දැනගන්න පුළුවන් මේ ඩොකියුමන්ට්‍රිය බලලා. විශේෂයෙන්ම විවිධ ක්ෂේත්‍ර වල ඉන්න ප්‍රවීණයෝ මේ සෝෂල් මීඩියා සහ, ඒවල තියෙන ඇල්ගොරිදම් වලින් සිදුවෙන සෘණාත්මක ප්‍රතිඵල ගැන විග්‍රහ කරනවා මේ ඩොකියුමෙන්ට්‍රි එකේ. ඒක බලලා සෝෂල් මීඩියා වලින් අයින් වෙන්න හිතන්න ඕන නෑ. හැබැයි තමන් වඩාත් සවිඥාණිකව, සෝෂල් මීඩියා තමන්ගේ හොඳ පැත්තට පාවිච්චි කරන්න හරි මේක බලලා පුළුවන් වෙයි.

 

2. Wild Wild Country 

භග්වාන් ශ්‍රී රාජ්නීෂ් කිව්වහම දන්නෙ නැති ගොඩක් දෙනෙක් ඕෂෝ කිව්වහම දන්නවා. ඇත්තටම ලංකාවේ අපිටත් ඉන්දියාවේ ඉපදිලා තමන්ගේ දර්ශනය ලෝකේ පුරාම අරගෙන ගියපු ඕෂෝව බොහොම සමීපයි. එතකොට මේ Wild Wild Country කියන ඩොකියුමන්ට්‍රි සීරීස් එකෙන් ලෝකේ පුරාම බැතිමතුන් ඉන්න, සමහරුන් බොහොම මතභේදකාරී ගුරු කෙනෙක් විදියට අඳුනා ගන්න ඕෂෝ ගැන පුළුල්ව සහ ගැඹුරින් දකින්න උත්සාහ කෙරෙනවා. ඒ වගේම ඇමරිකාවේ ඔරිගන් වල වස්කෝ කවුන්ටි වල ඕෂෝ වටා ස්ථාපනය වුණු රාජ්නීශ්පුරම් ප්‍රජාව සහ ඒ අයගේ ජීවන රටාවන් ගැනත් මේ ඩොකියුමන්ට්‍රි එකෙන් අවබෝධයක් ලබාගන්න උත්සාහ කරනවා. මේ ඩොකියුමන්ට්‍රි එකට මල් වගේම ගල් මුල් එහෙමත් ආවත්, මේක සන්ඩාන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ පෙන්නුවට පස්සේ සම්මාන පවා ලැබිලා තියෙනවා.

 

3. Tiger King 

නම කිව්ව ගමන් හිතෙන්නේ නිකම් එක්කෝ කැලේ ඉන්න කොටි රජෙක් ගැන කියන, එහෙම නැතිනම් කොටි ඇති කරන හාදයෙක් ගැන කියන ඩොකියුමන්ට්‍රියක් කියලා නෙහ්? සංකේතාත්මකව ගත්තොත් වැරදිමත් නෑ. හැබැයි මේ ඩොකියුමන්ට්‍රියේ කතන්දරේ කාටවත් හීනෙන් වත් අනුමාන කරන්න බැරි තරමට මේක එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට පිස්සු මඤ්ඤං වෙනවා. ඇත්තටම මේක අපරාධ සම්බන්ධ වාර්තා මිනිසීරීස් එකක්. ජෝ එක්සොටික් කියන සත්වෝද්‍යාන පාලකයා තමයි කතාවේ ප්‍රධාන චරිතය. මේ කතාවේ කියවෙන්නේ කොටි වර්ගේ සත්තුන්ව සං‍රක්ෂණය කරන අයගේ කතන්දර වුනාට, ඒ සමහරු ජෝ එක්සොටික් මේ සත්තුන්ට වද දෙනව කියලා චෝදනා කරනවා. දැන් මේ කතන්දරේ ක්‍රමයෙන් ජෝට කේන්ද්‍රගත වෙනවා. ජෝ අමුතුම හාදයෙක්. තව සමකාමී පුරුෂයෝ දෙන්නෙක්ව විවාහ කරගෙන ඉන්න ජෝ, ඇමරිකාවේ ජනාධිපති වෙන්නත් ඉල්ලනවා. අන්තිමට ඝාතන චෝදනා දක්වාත් කතන්දරේ දුර දිග යනවා!

 

4. Evil Genius: The True Story of America’s Most Diabolical Bank Heist

අපි ඔය හයිස්ට් මූවීස් කියලා කියන්නේ. ඒ කියන්නේ පට්ට ප්ලෑන් හදලා, සල්ලි හරි වෙන වටිනා කියන දේවල් හරි මංකොල්ල කන අයියලා අක්කලා සහ, සමහර වෙලාවට උන්ට නොදෙවෙනි ක්‍රයිම් ගැන බුද්ධියක් තියෙන පොලිස් නිලධාරීන් සහ මේ පොලිස් කට්ටිය අර හොරුන්ව අල්ලන්න දෙන පට්ට ගේම් ගැන එහෙම තියෙන ෆිල්ම්ස් තියෙන්නේ. අන්න ඒවා බලන්න සෑහෙන්න දෙනෙක් ආසයි. එහෙමනම්, Evil Genius: The True Story of America’s Most Diabolical Bank Heist ඩොකියුමන්ට්‍රි එකත් ඒ අයටම විශේෂයි. ඇත්තටම මේකේ කියන්නේ බොහොම සාමාන්‍ය පීසා බෙදන හාදයෙක් විසින් කරන බැංකු මංකොල්ලයක් ගැන. හැබැයි එයාට වුවමනාවට නෙවෙයි. පීසා බෝයිව පැහැරගන්න නියම මංකොල්ලකාරයෝ, පීසා බෝයිගේ බෙල්ලේ බෝම්බයක් සෙට් කරලා තියෙන්නේ. පනින්න, පොලිසියට කියන්න අරක මේක කරන්න ගියොත් කුඩු තමයි. දැන් පීසා බෝයිට කරන්න දෙයක් නෑ, බැංකුව කොල්ල කනවා ඇරෙන්න. එතකොට මේකේ තියෙන පිස්සුම කොටස මේකයි. මේ ඇත්තටම වුණු මංකොල්ල සැලසුමක් ගැන කතාවක්. අන්තිමට පීසා බෝයි බේරෙනවද, බැංකුව මංකොල්ල කනවද, ඇත්ත හොරු අහුවෙනවද වගේ ප්‍රශ්න තියේ නම් ගිහින් ඩොකියුමන්ට්‍රිය බලන්න.

 

5. Salt Fat Acid Heat

කෑම හදන වීඩියෝ, එක එක තැන් වලින් කෑම ටේස්ට් කරන වීඩියෝ, කෑම ගැන විචාර දෙන වීඩියෝ එහෙම බලන්න ඕනම කෑමදාස කෙනෙක් කැමතියිනේ. ආන්න ඒ අයට හරියන ඩොකියුමන්ට්‍රියක් තමයි මේ Salt Fat Acid Heat කියන්නේ. විශේෂයෙන්ම මේකට පාදක වෙලා තියෙන්නේ මේ ඩොකියුමන්ට්‍රියේ ඉන්න නොස්රත් ලියපු මේ නමින්ම තියෙන පොත බවත් කියන්න ඕන. ඔන්න ඉතින් කතා නායිකාව යනවා කැලිෆෝනියාවේ, ජපානේ, මෙක්සිකෝවේ, ඉතාලියේ වගේ රටවල තියෙන රෙස්ටුරන්ට් වලට. ගිහින් ඒ වල  තියෙන කෑම ගවේෂණය කරලා බලනවා. හැබැයි නිකම්ම කාලා “ෂා මාර රසයි” කියන්නෙ නෑ, ඊට වඩා ගැඹුරට ගිහින්, මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න, මිනිස්සුන්ව සතුටු කරන හොඳ කෑමවේලක් පිළියෙල කරන එකේ පසුබිම ගැන, එහෙම කෑමක් නිර්මාණය කිරීමේ මූලික කරුණු ගැන පවා හොයාබලනවා.

 

6. Senna

ෆෝමියුලා වන් රේසින් ගැන දන්න, ධාවන තරඟ බලන්න ප්‍රිය කරන අය අයර්ටන් සෙන්නා ගැන නොදැන ඉන්න කොහෙත්ම විදියක් නෑ. මෙන්න මේ ඉතිහාසගත බ්‍රසීල ජාතික ෆෝමියුලා වන් රේසින් ලෙජන්ඩ් එක ගැන තමයි මේ ඩොකියුමන්ට්‍රිය හදලා තියෙන්නේ. ඇත්තටම අයර්ටන් සෙන්නාගේ මරණයත් ලෝකය කළඹවන සුළු වුනා. මොකද, සෙන්නා මිය යන්නේ 1994 දී සැන් මරීනෝ ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේදී රේසින් කාර් එක ඇක්සිඩන්ට් වීමෙන්. මේ වාර්තා චිත්‍රපටිය තුළ අධ්‍යක්ෂවරයා අයර්ටන් සෙන්නා ෆෝමියුලා වන් රේසින් ලෙජන්ඩ් එකක් බවට පත් වුණු ඔහුගේ අතිවිශිෂ්ටත්වය ගැන, ඔහුගේ ජයග්‍රහණ ගැන සහ ෆෝමියුලා වන් රේසින් වලට සෙන්නා ගෙනාපු උද්වේගකාරී බව ගැන විතරක් නෙවෙයි කතා කරන්නේ. අයර්ටන් සෙන්නා වටා තිබුණු මතභේදකාරී කරුණු ගැනත් ඒ විදියටම කතා කෙරෙනවා. ඒ නිසා අයර්ටන් සෙන්නාට ආදරය කරන සෙන්නා ලෝලීන්ට විතරක් නෙවෙයි, ෆෝමියුලා වන් රේසින් වලට ඇළුම් කරන අයටත් මේ ඩොකියුමන්ට්‍රි එක බොහොම ආහ්ලාදයක් වෙයි.

 

7. Our Planet

ඩේවිඩ් ඇටෙන්බරෝගේ හඬින් අහන්න ලැබෙන මේ වාර්තා ටෙලි සීරීස් එක, අපි ජීවත් වෙන පුංචි නිල් කැටයක් වගේ ගෝලය කොයි තරම් විශ්මයජනකද කියන එක හැම තත්පරයක් පාසාම ඔප්පු කරලා පෙන්නනවා. ලෝකේ වටේම එක් එක් සුවිශාල තැන්, සුවිශාල දේවල් වගේම, පෘථිවිය මත තියෙන අතිශයින්ම සියුම් තැන් පවා බොහොම සිත්ඇදගන්නා සුළු විදියට ගෙන හැර දක්වන මේ ඩොකියුමන්ට්‍රිය, අපිට අපේ නිවහන වුණු පෘතුවිය ගැන වෙනත් ඇහැකින් දකින්න, පෘතුවියේ අපි නොදකින සුන්දරත්වය දකින්න බල කරනවා. හැබැයි ඒ වගේම කාලගුණ වෙනස්කම් වල ඉඳලා පෘථිවිය මුහුණ දෙන දහසකුත් එකක් අන්තරායන් ගැනත් මතක් කරන මේ ඩොකියුමන්ට්‍රිය, අපිට ජීවත් වෙන්න තියෙන්නේ මේ ග්‍රහලෝකය විතරක් බවත් අපිට මතක් කරනවා.

 

8. බෝනස්: Alien Worlds

කලින් කියපු Our Planet ඩොකියුමන්ට්‍රි එක බලපු කෙනෙක්ට කුතුහලයක් ඇතිවුණොත් පිටසක්වළ ලෝක කොයි වගේද කියලා, මෑතකදී Netflix ඔරිජිනල් එකක් විදියට හඳුන්වා දුන්නු Alien Worlds ඩොකියුමන්ට්‍රි සීරීස් එකත් බලන එක ඉතාම වටිනවා. විශේෂයෙන්ම අපි දන්න පෘථිවිය හා සංසන්දනාත්මකව බලමින්, පිටසක්වළ ජීවීන් සහිත ලෝකයන් කොයි වගේ වෙයිද කියලා බොහොම විචිත්‍ර, ඇත්ත වගේම තියෙන සජීවීකරණයන් එක්ක ගැඹුරට කරන සාකච්ඡා කිරීමක් තමයි මේ Alien Worlds එකේ තියෙන්නේ.

 

තවත් දෙයක් කියන්න ඕන. ඇත්තටම Netflix එකේ මේ කියපු ඩොකියුමන්ට්‍රීස් වලට අමතරව සිත් ඇදගන්නා සහ නරඹන්න වටින තවත් බොහෝමයක් වාර්තා චිත්‍රපට සහ වාර්තා ටෙලි මාලාවන් තියෙනවා. කරන්න තියෙන්නේ, genre ටැබ් එකෙන් Documentaries තෝරගෙන, තමන්ගේ රුචිකත්වයට ගැලපෙන ඩොකියුමන්ට්‍රීස් හෙමි හෙමිහිට බලන එක තමයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *