රට යන කෙනෙක්ට ගෙනියන්න පුළුවන් කල් තියාගන්න කෑම 7ක්

ලංකාවේ ඉඳලා තවත් රටකට යන කෙනෙක්ට තියන ලොකුම ගැටළුව තමයි කෑම. ඉතින් මෙහෙ කාපු විදියට ඔය රටවල් වල කන්න බෑනේ. ඒ නිසාම අපේ අම්මලා අක්කලා රට යන කෙනෙක්ට බෝතල් පුරවලා කෑම හදලා දෙනවා ගිහින් තියාගෙන කන්න. මේක දැන් සිරිතක් වෙලානෙ තියෙන්නෙ. ඔන්න අද අපි ගෙනාවෙ ඒ විදියට රට ගෙනිහින් තියාගෙන කන්න පුළුවන් රසම රස රෙසිපි ටිකක්. යූකේ යනව කියල උස්වැටකෙයියාවට ට්‍රිප් එකක් යන අයටත් මේව හදන් යන්න බැරි නෑ ඔන්න.

 

1. කරපිංචා රටකජු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලියාගත් බී ළූණු කිලෝ 1
  2. කරපිංචා කොළ කෝප්ප 2
  3. උම්බලකඩ කෝප්ප 1/2
  4. පොතු ඇරගත් රටකජු කෝප්ප 2
  5. සීනි මේස හැඳි 2
  6. මිරිස්කුඩු තේ හැඳි 2
  7. රස අනුව ලුණු
  8. දෙහි බෑයක යුෂ
  9. තෙල්
  10. කඩල පරිප්පු මේස හැඳි 2

 

  • ළූණු ටිකක් ලොකුවට ලියාගන්න. ළූණු ටික ටිෂූ එකක් උඩ අතුරලා වතුර ගතිය හිඳෙන්න තියලා, ළූණු ටික ගැඹුරු තෙලේ බැදගන්න. කරකරගන්නෙ නැතුව ක්‍රිස්පි ගතියට එනකොටම තෙල්න් අයින් කරගන්න. 
  • ඊළඟට කරපිංචා, රටකජු වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න. කඩල පරිප්පු  හා උම්බලකඩ ටිකත් බැදගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් තේ හැඳි දෙකක් දාලා මිරිස්කුඩු, සීනි හා ලුණු ටික දාගන්න. ඊළඟට බැදගත් සියල්ලම දාලා දෙහියුෂ දාලා කලවම් කරගන්න. හොඳට නිවෙන්න තියල බෝතල් කරගන්න.

 

2. හාල්මැස්සන් සියඹලා බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල්මැස්සන් ග්‍රෑම් 500
  2. දෙහි ගෙඩියක යුෂ
  3. කහකුඩු තේ හැඳි 1/2
  4. කරපිංචා කොළ කෝප්ප 1
  5. රම්පේ කෑල්ලක්
  6. වියළි මිරිස් කරල් 2
  7. කහකුඩු තේ හැඳි 1/2
  8. ලියාගත් ළූණු ගෙඩි 6
  9. පලාගත් අමුමිරිස් කරල් 4
  10. සියඹලා ග්‍රෑම් 50ක යුෂ කෝප්ප 1/2
  11. සීනි තේ හැඳි 2
  12. කුරුඳු පොතු කෑල්ලක්
  13. පොල්තෙල්
  14. ලුණු හා දෙහි යුෂ ස්වල්පයක්

 

  • හාල්මැස්සන් සෝදලා තෙත අයින් කරගන්න. මේකට කහකුඩු හා දෙහි යුෂ ටිකක් දාලා කලවම් කරලා පැය 1/2ක් සීසන් කරගන්න. 
  • පෑන් එකකට සියඹලා යුෂ සහ සීනි ටික දාගෙන හැඳිගාන්න. ටිකකින් සියඹලා වල වැඩි වතුර අයින් වෙලා සියඹලා පේස්ට් එක හැදෙයි. මේක ලිපෙන් බාගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් දාලා  හාල්මැස්සන් ටික රන්වන්පාට වෙනකල් බැදගන්න. 
  • ඊළඟට ළූණු, කරපිංචා, රම්පේ අමුමිරිස්  ටිකත් වෙන වෙනම බැදගෙන අන්තිමට වියළි මිරිස් ටික තෙලට දාලා ඉක්මණින් අරගන්න. සේරම තෙල් බේරෙන්න තියන්න. 
  • මේ පෑන් එකේ තෙල් චුට්ටක් ඉතුරු කරල අනික් ටික අයින් කරගන්න. ගින්දර අඩු කරලා කුරුඳු පොතු කෑල්ල, කහකුඩු හා කෑලිමිරිස් දාගන්න. විනාඩි 2ක් විතර තෙම්පරාදු කරගන්න. 
  • දැන් බැදගත් සියල්ලම මේකට එකතු කරන්න. ටිකකින් සියඹලා පේස්ට් එක දාලා මදගින්නෙ විනාඩි 5ක් විතර පිසගන්න. රස අනුව ලුණු දාලා ලිපෙන් බාලා දෙහි යුෂ ටිකක් දාගන්න. 

 

3. වම්බටු මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වම්බටු ග්‍රෑම් 500
  2. රතුළූණු ගෙඩි 15-20
  3. හාල්මැස්සන් ග්‍රෑම් 100
  4. අමුමිරිස් කරල් 10
  5. ඇට ඉවත් කර කපාගත් රටඉඳි 7-8
  6. සීනි මේස හැඳි 1
  7. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 1
  8. කරපිංචා කොළ 10
  9. තෙල්
  10. කෑලිමිරිස් මේස හැඳි 1
  11. ලුණු හා ගම්මිරිස්කුඩු
  12. කහකුඩු තේ හැඳි 1/2
  13. විනාකිරි මේස හැඳි 1

 

  • වම්බටු තීරු කපලා බැදගන්න. හාල්මැස්සන් ටික රන්වන්පාට වෙනකම් බැදගන්න. රතුළූණු, අමුමිරිස් හා කරපිංචා වෙන වෙනම ලාවට බැදගන්න. 
  • මැටි භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සුදුළූණු, කෑලිමිරිස්, කහකුඩු හා ගම්මිරිස්කුඩු දාගන්න. රස අනුව ලුණු එකතු කරගන්න. 
  • ටිකකින් රටඉඳි සහ සීනි දාලා විනාඩියක් වහලා තියන්න. ඊළඟට විනාකිරි ටික දාල කලවම් කරගෙන බැදගත් සියල්ලා දාගන්න.  ලිපෙන් බාගන්න. 

 

4. ක්‍රිස්පි හාල්මැස්සන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල්මැස්සන් ග්‍රෑම් 500
  2. තෙල් කෝප්ප
  3. සුදුළූණු බික් 5
  4. ලුණු
  5. කොච්චි කරල් 15-20
  6. වියළි මිරිස් කරල් 7-8
  7. ලෙමන් ගෙඩියක යුෂ
  8. සීනි මේස හැඳි 1
  9. සෝයාසෝස් මේස හැඳි 1 1/2
  10. කරපිංචා ස්වල්පයක්

 

  • සුදුළූණු, ලුණු, වියළි මිරිස් හා කොච්චි ටික හොඳට අඹරගන්න. 
  • හාල්මැස්සන් ටික රන්වන්පාට වෙනකල් බැදගන්න. කරපිංචා කොළ ටිකත් බැදගන්න. දැන් පෑන් එකේ වැඩි තෙල් අයින් කරලා තෙල් මේස හැඳි 2ක් ඉතුරු කරගන්න. 
  • මේකට අඹරාගත් මිශ්‍රණය දාලා බැදගන්න. ගින්දර අඩු කරලා ලෙමන් යුෂ, සීනි, සෝයාසෝස් හා රස අනුව ලුණු එකතු කරන් තෙම්පරාදු කරගන්න. 
  • ඒකට බැදගත් හාල්මැස්සන් ටික දාලා විනාඩි 5ක් තෙම්පරාදු කරගන්න. 

 

5. කරවල අච්චාරු බැදුම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තලපත් කරවල ග්‍රෑම් 200 පමණ
  2. තලාගත් ඉඟුරු, සුදුළූණු මේස හැඳි 1
  3. කරපිංචා කොළ 20 පමණ
  4. සීනි මේස හැඳි 1
  5. පොල්තෙල් ස්වල්පයක්
  6. කුරුඳු පොතු කෑල්ලක්
  7. ලියාගත් රතුළූණු ගෙඩි 4
  8. මිරිස්කුඩු මේස හැඳි 1
  9. ලුණු
  10. පලාගත් අමුමිරිස් කරල් 4
  11. අබ ස්වල්පයක්
  12. දෙහි බෑයක යුෂ

 

පේස්ට් එක සෑදීමට

 

  1. අබ තේ හැඳි 1
  2. වියළි මිරිස් කරල් 4
  3. උළුහාල් තේ හැඳි 1/2
  4. කහකුඩු තේ හැඳි 1/4
  5. ගම්මිරිස් ඇට 10-15
  6. විනාකිරි මේස හැඳි 4

 

  • කරවල සෝදා කහකුඩු හා දෙහි යුෂ දාලා  පැය 1/2ක් සීසන් කරගෙන ගැඹුරු තෙලේ හොඳට බැදගන්න. මේ ටික වංගෙඩියට දාලා කොටාගන්න හෝ අතින් පොඩි කරගන්න. 
  • පේස්ට් එකට අවශ්‍ය සියල්ලම හොඳින් අඹරගෙන පැත්තකින් තියාගන්න. 
  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. රත්වෙනකොට කුරුඳු පොතු, අබ, කරපිංචා, රතුළූණු, ඉඟුරු, සුදුළූණු හා අමුමිරිස් දාලා විනාඩි 2ක් විතර බැදගන්න. 
  • මේකට හදාගත්තු පේස්ට් එක එකතු කරන්න. ටිකකින් කුඩුකරගත් කරවල ටික දාලා මිරිස්කුඩු හා සීනි එකතු කරන්න. රස අනුව ලුණු දාගන්න. 
  • දෙහි යුෂ ටිකත් දාලා කලවම් කරලා අඩු ගින්දරේ විනාඩි 8-10ක් හැඳිගාලා ලිපෙන් බාගන්න. 

 

6. උම්බලකඩ බැදුම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලියාගත් ළූණු ග්‍රෑම් 500
  2. උම්බලකඩ ග්‍රෑම් 200
  3. කරපිංචා කෝප්ප 1
  4. කෑලිමිරිස් ග්‍රෑම් 80
  5. ලුණු
  6. මිරිස්කුඩු මේස හැඳි 2
  7. දෙහි යුෂ

 

  • ළූණු හීනියට ලියාගන්න. උම්බලකඩ ටිකත් පොඩියට කපාගන්න. 
  • ළූණු රන්වන්පාට වෙනකල් ගැඹුරු තෙලේ බැදගන්න. කරපිංචා හා උම්බලකඩ ටිකත් වෙන වෙනම තෙලට දාලා ඉක්මණට අරගන්න.
  • පෑන් එකකට තෙල් මේස හැඳි 2ක් දාගන්න. මේකට කෑලිමිරිස් හා මිරිස්කුඩු  ටික දාලා බැදෙන්න අරින්න. ටිකකින් උම්බලකඩ, ළූණු හා කරපිංචා දාලා රස අනුව ලුණු දාලා ලිපෙන් බාගන්න. දෙහි යුෂ එකතු කරලා නිවෙන්න තියන්න. 

 

7. අන්නාසි අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෑලි කපාගත් අන්නාසි කෝප්ප 2
  2. ලියාගත් සුදුළූණු බික් 6-7
  3. කරපිංචා ස්වල්පයක්
  4. අබ ස්වල්පයක්
  5. කපාගත් අමුමිරිස් කරල් 2
  6. උළුහාල් තේ හැඳි 1
  7. මිරිස්කුඩු මේස හැඳි 2
  8. විනාකිරි මේස හැඳි 2
  9. රස අනුව ලුණු
  10. සීනි මේස හැඳි 3ක් සහ වෙනම සීනි මේස හැඳි 2ක්
  11. අන්නාසි කෑලි බ්ලෙන්ඩ් කර හදාගත් අන්නාසි ජූස් කෝප්ප 1/4
  12. තෙල් ස්වල්පයක්

 

  • අන්නාසි කෑලි වලට සීනි මේස හැඳි 3ක් හා ලුණු එකතු කරලා විනාඩි 15ක් තියන්න. මේකෙන් එළියට එන අන්නාසි ජූස් එක බ්ලෙන්ඩ් කරලා හදාගත්තු අන්නාසි ජූස් එකට එකතු කරන්න. 
  • දැන් මේ අන්නාසි ජූස් එක ලිපේ තියලා රත්කරගන්න. ටිකකින් විනාකිරි ටික එකතු කරන් ටිකක් රත්වෙන්න තියල ලිපෙන් බාගන්න. 
  • වෙන පෑන් එකකට තෙල් ස්වල්පයක් දාලා අබ ටික දාගන්න. අබ පුපුරනකොට ලියාගත් සුදුළූණු, කරපිංචා හා අමුමිරිස් එකතු කරන්න. හැඳිගාන ගමන් මිරිස්කුඩු, උළුහාල් දාලා රස අනුව ලුණු එකතු කරගන්න. 
  • මේකට සාදාගත් අන්නාසි ජූස් එක දාලා අන්නාසි කෑලි ටිකත් දාගන්න. සීනි මේස හැඳි 2 දාගන්න. රස අනුව ලුණු එකතු කරගන්න. අඩු ගින්දරේ විනාඩි 5-6ක් හිඳෙනකම් පිසගන්න.