රැවුල වැවීම කියන්නේ අද කාලෙ කොල්ලො අතර ජනප්‍රිය විලාසිතාවක්. රැවුල වවන කොල්ලො අතරත් දෙවර්ගයක් ඉන්නව. සමහරු ඔහේ වවන්නන් වාලේ කැළේ වගේ රැවුල වැවෙන්න ඇරල ඉන්නව. තවත් කොල්ලෝ ලස්සනට පෙනුම ඔප් නැංවෙන විදිහට රැවුල වවල මේන්ටේන් කරනව. හරි අපි මේ කියන්නෙ ඉහත මොන ආකාරයේ රැවුලක් වුණත් පිරිසිදුකම පවත්වාගෙන වවනවනම් එයින් ලැබෙන සුවිශේෂී වාසි 7ක් ගැනයි.
1. ආකර්ෂණීය පෙනුමක්
කොල්ලෙක්ට හොඳ ආකර්ෂණීය පෙනුමක් ලබාගන්න රැවුලෙන් ලොකු උදවුවක් හම්බ වෙනව. මුහුණේ තියන සමහර අසමතුළිතතා වගේම අඩුපාඩුත් වසන් කරල කැපී පෙනෙන ගතියක් මූණට ගෙන එන්න හොඳ රැවුල් විලාසිතාවකට පුළුවන්. විශේෂයෙන්ම රැවුලක් මගින් පිරිමියෙකුට එන හොඳ ශක්තිමත් පෙනුමට බොහෝ කාන්තාවන් ප්‍රිය කරනව කියලයි පර්යේෂණවලිනුත් ඔප්පු වෙලා තියෙන්නෙ. සාමාන්‍ය ප්‍රමාණයට කෙටි වෙන්න කපපු රැවුලකට කාන්තාවන් වඩාත් ආකර්ෂණය වෙන බවක් තමයි කියවෙන්නෙ. ඒ වගේම ටිකක් දිගට වවපු රැවුලක් තියන පිරිමින්ටත් කාන්තා ආකර්ෂණය යම් පමණකට වැඩියෙන් ලැබෙනවලු. ඒකට හේතුව වෙන්නේ ඒ වගේ පිරිමින්ගෙන් හොඳ තාත්තා කෙනෙක්ගේ වගේ සුරක්ෂිත හැඟීමක් පහළ වෙනවලු. ඒ නිසා විවාහ ජීවිතයක් දක්වා දුරදිග යන සම්බන්ධයක් හොයන කාන්තාවන් රැවුල වැඩියෙන් වවපු පිරිමින්ට ආකර්ෂණය වීම සිදුවෙනවලු.
2. හිරුගේ අහිතකර කිරණවලින් ලැබෙන ආරක්ෂාව
මේ කාරණාව ගැන නම් රැවුල වවන ගොඩක් පිරිමි දන්නෙවත් නැතුව ඇති. නමුත් ඇත්ත වශයෙන්ම රැවුලක් වැවීම මගින් මුහුණේ සමට හිරුගේ අහිතකර කිරණවලින් ආරක්ෂාවක් ලැබෙනවා. කොහොම වුණත් ඒ ආරක්ෂාවේ මට්ටම රැවුලේ ස්වභාවය එක්ක වෙනස් වෙනවා. 100%ක්ම නොවුණත්, අහිතකර හිරුකිරණ පරාවර්තනය කිරීම මගින් සෑහෙන ප්‍රමාණයක ආරක්ෂාවක් රැවුල නිසා සමට ලැබෙනවා. මේ නිසා සමේ පිළිකා ආදියට ලක්වීමේ අවදානමත් රැවුල වවපු පුද්ගලයන්ට අඩුවෙනුයි අත් විඳින්න සිද්ධ වෙන්නෙ.
3. කාලය ඉතුරුයි
අද වර්තමානයේ අපි ගෙවන කාර්යබහුල ජීවන රටාව ඇතුළේ අපිට කොයිතරම්නම් එදිනෙදා වැඩ රාජකාරි පැවරිලා තියනවද? සමහර ඒවා නිම කරන්න අපිට කාලවේලාවත් මදි. ඉතින් එහෙවු එකේ රැවුලක් ෂේව් කර කර කාලෙ නාස්ති කරන්නේ මොකටද කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් රැවුල කපන මනුස්සයෙක්ට ජීවිත කාලයෙන් මාස 5ක විතර කාලයක් වැය වෙනවලු රැවුල කපන්න විතරක්ම. හිතලා බලන්න කොයි තරම් නම් කාලය වැයවීමක්ද කියල ඒක? හැබැයි රැවුල වවන කෙනෙක්ට ඉඳහිට රැවුල නඩත්තු කරනවා හැරෙන්න ලොකු කාලයක් රැවුල වෙනුවෙන් වැය කරන්න වෙන්නෙ නැහැ.
4. කුරුළෑ වළකයි
කාන්තාවො විතරක් නෙමෙයි, පිරිමින්ට වුණත් කුරුළෑ කියන්නෙ වධයක්. රැවුලක් වැවීම මගින් සමට අමතර ආවරණයක් ලැබෙනවා වගේම බැක්ටීරියා ආසාදනවලිනුත් සම ආරක්ෂා කරනු ලබනව. නිතර රැවුල බෑම මගින් සමත් එක්ක බැක්ටීරියාවල ගැටීම සහ පැතිරීම වැඩි කරන්න වගේම කුරුළෑ ඇති කරන්නත් ඉඩ තිබෙනවා. කුරුළෑ පවතින සමක ඒවා තවත් වැඩි කරන්නටත් නිතර රැවුල බෑම හේතු වන්න පුළුවන්. මේ නිසා රැවුල වැවීම සමේ ආරක්ෂාවට වගේම සෞඛ්‍යයටත් යහපත්ව බලපාන කාරණයක් වෙනවා.
5. ආත්ම විශ්වාසයත් වැඩි කරයි
රැවුලක් වැවීම මගින් පිරිමියෙකුගේ පෙනුම ආකර්ෂණීය වෙනවා කියල අපි කලිනුත් කිවුවනෙ. තමන්ගේ පෙනුම ගැන තෘප්තිමත් කෙනෙකුගේ ආත්ම විශ්වාසයත් ඉහළ යනවා. ඒ විතරක් නෙමෙයි, රැවුලක් වැවීම මගින් පිරිමින් තමන් ගැන හොඳ බලවත් හැඟීමක් ලබනව කියලත්, රැවුල වවපු පිරිමින් හොඳ ආත්ම විශ්වාසයක් හඟිනව කියලත් මෑතකදී කරපු පර්යේෂණවලින් සොයාගෙන තියනවා. මේ ආත්ම විශ්වාසය ජීවිතේ සාර්ථකත්වය කරා ගමන් කරන්න ලොකු රුකුලක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.
6. ලෙඩ රෝග වලින් ආරක්ෂාව
රැවුලක් වැවීම මගින් සමට විතරක් නෙමෙයි, ශරීර සෞඛ්‍යයටත් යහපත් ප්රතිලාභ හිමි වෙනවා. රැවුලක් වවපු කෙනෙක්ගේ රැවුල අමතර ෆිල්ටර් එකක කාර්යබාරය ඉටු කරනවා. ඒ කිවුවේ වාතයේ ඇති අහිතකර බැක්ටීරියා වැනි අපේ ශරීරවලට නොයෙකුත් ලෙඩ රෝග ඇතුළු කරවන දේවල් රැවුල මගින් පෙරීමකට, අවහිර වීමකට ලක්වෙනවා. මේ නිසා හතිය සහ උගුරේ අසාදන වැනි රෝග තත්ත්ව වැළකෙන්න හේතු වෙනවා.
7. සමේ තරුණ බව රැකෙයි
රැවුලක් වැවීම මගින් සම අහිතකර හිරු කිරණවලින් ආරක්ෂා වෙනවා කියල අපි කලිනුත් කිවුවනෙ. මේ ආරක්ෂාව නිසා සම අඳුරු වීම මගේම සම රැළි වැටීමත් වළක්වනවා. ඒ වගේම පරිසරයේ ඇති දුහුවිලි ආදියෙනුත් රැවුලකින් සම ආරක්ෂා කරනව. රැවුල වැවීම මගින් කුරුළෑ වැළකෙනව කියලත් අපි කලින් කිවුවනෙ. ඊට අමතරව රැවුල මගින් සමට තෙතතමනය ලබාදෙන සමේ ස්වභාවික තෙල් තට්ටුව ආරක්ෂා වෙනව. රැවුල කපන පුද්ගලයෙක්ගේ මේ තෙල් තට්ටුව ඉක්මනින්ම ඉවත් වෙනවා. මේ හැම කාරණාවක්ම සලකල බැලුවම රැවුල වවන කෙනෙක්ගේ සම සාපේක්ෂව වයස්ගත වෙලා, හානියට ලක්වීම අඩුයි.
මේ ඉහත කියපු වාසි අත්විඳින්න නම් ඉතින් තමන්ගේ රැවුලත් සෝදලා, පීරලා, නිසි පිරිසිදුකමින් පවත්වාගැනීමත් කළ යුතුයි කියලත් අපි අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි.
Leave a Reply