කොවිඩ් 19 වල තිබෙන බලපෑම කොපමණ දරුණුද කියන එක ගැන පැහැදිළිවම දැන් ලෝකයේ බොහෝ පිරිසක් දන්නවා. එය නැවත පැහැදිලි කළ යුතු නැහැ. එන්නත් කීපයක්ම දැන් මේ කොවිඩ් වෙනුවෙන් නිමවෙලා තියෙනවා. ලංකාවෙත් පළමු වර දුම් හට්ටියක් ලෙසිනුත්, ඉන් පසුව සුදර්ශන පැණිය ලෙසිනුත්, අවසානයට තවත් පැණියක් ලෙසිනුත් අලුත් ඔසු සහ ප්‍රතිකාර කොවිඩ් වෙනුවෙන් නිමවුණා. ඒවා දවසක් දෙකක් නිවුස් මවලා ඉන් පස්සේ නැතිවෙලා ගියා. ලෝක මට්ටමින් සාර්ථක වුණු එන්නතකට වුණත් ලෝකයෙන්ම කොවිඩ් තුරන් කරන්න පුළුවන්ද? අපි බලමු ඒ ගැන…
1. නිෂ්පාදන ගැටළු
එන්නතක් හෝ බේතක් හදනකොට විවිධ ආකාරයේ රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ රසායන ද්‍රව්‍ය සපයා ගැනීම ලේසි පාසු කාර්යයක් නෙමෙයි. මුල් අවස්ථාවේදී පර්යේෂණ කරලා සාම්පල් ටෙස්ටින් වලට අවශ්‍ය දාහක් හමාරක් එන්නත් හදාගන්න නම් පුළුවන්. ඒත් එතනින් එහාට මුළු ලෝකයටම මිලියන ගණනින්, බිලියන ගණනින් මේ එන්නත නිෂ්පාදනය කරගන්න අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරගැනීම ගැටළුවක්. එන්නත නිපදවන්න අවශ්‍ය කරන තාක්ෂණික ක්‍රමවේදත් මහා පරිමාණව දියුණු කරගන්නට ඕනි. ෆැක්ටරි හදලා, සප්ලයි චේන් හදලා එන්නත දවසකට දාස් ගාණකින් නිෂ්පාදනය කරන අභියෝගය කොවිඩ් 19 ඕනිම අලුත් බේතකට තියෙනවා.
2. බෙදාහැරීමේ ගැටළු
කොවිඩ් මර්දනය කරන්නට නම් මුළු ලෝකයම සුළු කාලයකින් එන්නතක් හෝ බේතකට යටත්වෙන්න ඕනි. එතකොට තමයි වෛරසය මර්දනය කරන්නට හැකි වන්නේ. ඉතින් මේ සඳහා වේගවත් පරිවහණ මාධ්‍යයක් ඕනි. අපි හිතන්නේ නම් දැන් ලෝකයම සම්බන්ධ වෙලා ඉතා වේගයෙන් ඕනිම තැනකට බඩුවක් යවන්නට පුළුවන් කියලා. ඒත් ඇත්ත ඒක නෙමෙයි, අප්‍රිකාවේ ඈත ගම්මාන වලට, ඉන්දියාවේ හිමාල ගිරි දුර්ග වලට, මධ්‍යම ආසියාවේ කෙළවරවල් වලට එන්නත යැවීම සෞඛ්‍ය බලධාරීන් මුහුණ පාන තවත් ප්‍රබල අභියෝගයක්. කොරෝනා චීනයේ සිට මේ වෙද්දි වසරකට අඩු කාලයකින් ලෝකේ හැම කෙළවරකටම පැතිරිලා තියෙනවා. ඒත් බේතට මේ වේගයෙන් ලෝකයේ හැම අස්සකටම යන්න පුළුවන් වෙයිද? ඒක අභියෝගයක්.
3. බේත වැඩකරන කාල සීමාව
අපිව හදිසියේ බල්ලෙක් සපාකෑවොත් අපි ගිහින් පිටගැස්ම සහ ජලභීතිකා එන්නතක් විදගන්නවා. සාමාන්‍ය විදිහට ඒ එන්නත උරහිස් දෙකට වාර තුනකට විදිනවා. එහෙම වුණත් වසර පහකට පමණයි ජල භීතිකා එන්නතට ප්‍රතිශක්තිය පිහිටන්නේ. අලුතින් කොවිඩ් සඳහා එන එන්නත් කොපමණ කාලයක් කොවිඩ් වලින් මිනිසුන් ආරක්ෂා කරනවාද යන්න කියන එක තාමත් පර්යේෂණ මට්ටමේ තියෙන දෙයක්. දැනට සාර්ථක වූ එන්නත් කිහිපයේම මේ ගැටළුව තියෙනවා. එක් එන්නතකින්, බේතකින් වසර 5කටවත් ආරක්ෂාවක් තිබුණොත් මුළු ලොවින්ම කොවිඩ් තුරන් කිරීම ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. එසේ නැතිව වසරක් දෙකක් පමණක් අලුත් එන්නතින් ප්‍රතිශක්තිය ලැබෙනවා නම් එහිදී කොවිඩ් මර්දනය සෑහෙන අමාරු කරුණක් වෙනවා.
4. ගබඩා කිරීම සහ අවශ්‍ය තත්ත්වයන් ලබා දීම
අලුතින් හදපු ජර්මානු, ඇමරිකානු එක් එන්නතකට සෙල්සියස් අංශක 0ට අඩු උෂ්ණත්වයක ඒ එන්නත ගබඩා කරන්නට, ප්‍රවාහනය කරන්නට අවශ්‍ය වෙනවා. ඒ තත්ත්වය ලබාදීම ඇමරිකාව, ජර්මනිය වගේ රටවල ට්‍රාන්ස්පෝට් චැනල් වලට පවා අභියෝගයක් වෙනවා. සාමාන්‍ය මාළු, එළවළු ප්‍රවාහනය කරන අඩු උෂ්ණත්වයක් වන මේ තත්ත්වය පවත්වාගෙන ප්‍රවාහන විසඳුමක් හොයාගන්නත් කාලයක් උවමනා වෙනවා. ප්‍රවාහනයේදී, ගබඩා කිරීමේදී එන්නතට අවශ්‍ය තත්ත්වයන් ලබාදීම ඒ අනුව අලුතින්ම මේ එන්නත් මුහුණ දෙන අභියෝගයක් වෙලා.
5. එන්නතට උත්තර නොදෙන අලුත් වෛරස ප්‍රභේද…
කලකට ඉහත වසූරිය ලොව පැතිරුණා. ඒ වසූරිය නැති කරන්න ගවයින් මගින් ඇතිකරන වසූරිය ප්‍රතිදේහ පාවිච්චි කරලා සාර්ථක එන්නතක් හැදුවා. ඒත් වසූරිය සහ කොවිඩ් ගත්තාම සැකසුම වෙනස්. කොවිඩ් අයිති කොරෝනා වෛරස අලුතින් අවශ්‍ය පරිසර වලට අනුවර්තනය වෙලා ඒ අනුව පැතිරෙන්න වැඩි සමත් කමක් දක්වනවා.ඒ අනුව දැනටම ලෝකයේ විවිධ කොටස් වල පැතිරෙන කොවිඩ් වෛරස ප්‍රභේද ගණනාවක් තියෙනවා. ඉතින් යම් ආකාරයක බේතක්, එන්නතක් පැමිණියත් ඒකටත් ප්‍රතිරෝධී, ඒකටත් ආන්සර් නොකරන අලුත් වෛරස වර්ගයක් නැවත ඇතිවෙන අවදානම තියෙනවා.
6. වෙනත් රෝග සමග කොවිඩ් එන්නත
ලංකාවේ වාර්තා වුණු සීයයකට අධික මරණ වලින් වැඩි ප්‍රමාණයක් නිධන්ගත රෝග සමග රෝග වැළඳුණු රෝගීන් වෙනවා. ඒ අනුව දියවැඩියාව, අධිරුධිර පීඩනය පිළිකා තත්ත්ව, ප්‍රතිශක්ති පද්ධති දෝෂ තිබෙන අය කොවිඩ් වැළඳුනොත් එයින් මරණයට පත් වෙන්නට ඉඩ වැඩියි. ඉතින් මේ ඇතැම් රෝග තියන උදවිය කොහොමත් දවස ගාණේ බේත් බොනවා. ඒ නිදන්ගත රෝග තියෙන අයට අලුත් කොවිඩ් එන්නත් වල ප්‍රතිචාරය මොකක්ද? කලක් තිස්සේ එක එක වර්ගයේ බේත් ගන්න අයට ඇතිවෙලා තියෙන බලපෑම මොකක්ද කියලා එන්නතක් අලුතින් එද්දි අලුතින් පර්යේෂණ කරන්නට උවමනා වෙනවා.
7. බේත් කිහිපයක්, එකම රෝගයක්
කොවිඩ් සඳහා දැනටම චීනයෙන්, ජර්මනියෙන් සහ ඇමෙරිකාවෙන් එන්නත් කීහිපයක් නිකුත් වෙලා තියෙනවා. තවත් පර්යේෂණ මට්ටමේ එන්නත් සහ ඔසු ගණනාවක් තියෙනවා. ඉතින් මේ එකිනෙක අතර තියෙන තරඟය විශාලයි. චීනය, ඇමරිකාව දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ලොකු ගනුදෙනුවක් නැහැ. ඒත් කොවිඩ් තත්ත්වය සමනය වෙද්දි මුළු ලෝකයම නැවත පෙර පරිදි විවෘත කරන්නට උවමනා වෙනවා. ඉතින් විවිධ රටවලින් විවිධ තත්ත්වයන් යටතේ නිපදවූ ඔසු සහ එන්නත් වලින් ඇතිවන ප්‍රතිශක්තිය මොන ආකාර වෙයිද කියන එකත් එක්තරා විදිහක අභියෝගයක් වෙනවා.
අභියෝග හමුවේ නොසැලී විසඳුම් සොයා යෑම කියන ගතිගුණය මිනිසුන් බිලියන 9ක් තරම් විශාල ප්‍රමාණයක් පෘථිවිය තුළ පැතිරෙන්න හේතු වුණා. ඉතින් අද කොවිඩ් කියන තත්ත්වය මිනිසාට අභියෝගයක් වෙලා. ඒත් ඉක්මනින්ම ඒකට විසඳුම් අපේ විද්‍යාවෙන්, තාක්ෂණයෙන් සොයා යාවි.
Leave a Reply