ලෝකයේ පූජනීය ගංගා ගැන වැඩිදෙනෙක් නොදන්නා කරුණු

ලෝකයේ බොහොමයක් මිනිස් ශිෂ්ටාචාර ඇතිවෙන්නේ ගංගා ආශ්‍රිතව. මේ නිසාම තමන්ට ජීවය ලබා දීපු ගංගා පූජනීයත්වයෙන් සලකන්න ආදි මානවයා පුරුදු වුණා. මොකද තමන්ගෙ ජනපදයේ පැවැත්ම තීරණය කළේ ලැබෙන ජල මූලාශ්‍ර අනුව. උදාහරණයක් විදිහට වර්තමානයේ පූජනීයත්වයෙන් නොසැලකුවත් නයිල් නදිය පුරාණ ඊජිප්තු වැසියන්ගේ ජීවිතයට ප්‍රබල බලපෑමක් එල්ල කළා. කාලය ගතවෙද්දී සංවිධානාත්මක ආගම් වටා ගොනු වෙද්දී පවා ගංගාවල බලපෑම මිනිසාගෙන් බැහැර වුණේ නැහැ. අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ අදටත් පූජනීයත්වයෙන් සලකන ගංගා කීපයක් පිළිබඳවයි.

 

1. ජෝර්දාන් ගඟ

යුදෙව් සහ කිතුණු ආගම්වල ජෝර්දාන් ගඟ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගන්නවා. ශුද්ධ වූ බයිබලයට අනුව දෙවියන් වහන්සේ විසින් ඉශ්රායෙල් ජනතාව පොරොන්දු දේශය කරා යන ගමනේදී ජෝර්දාන් ගඟ තරණය කරනු ලැබුවා. ඊටත් වඩා ජෝන්ද බැප්ටිස්ට් විසින් ජේසු ස්වාමි දරුවන්ම බෞතීස්ම කරන ලද්දේ ජොර්දාන් ගංගාවේදී. මේ නිසා අද පවා යුරෝපයේ රාජකීයයන් සහ ධනවතුන් තමන්ගේ දරුවන් බෞතීස්ම කිරීම සඳහා ජෝර්දාන් ගඟේ ජලය ගෙන්වනු ලබනවා.

 

2. ඕසුන් ගඟ

නයිජීරියානු ගෝත්‍රික ඇදහීම් වල ඕසූන් ගඟ ප්‍රධාන තැන උසුලනු ලබනවා. ඔවුන්ට අනුව දුරාතීතයේ දී කාන්තාවක් මෙම ගඟ බවට පත්ව තිබෙනවා. ඇයව කෝපයට පත් කිරීම නිසා ගඟ සැඩ වීම මෙන්ම ගංවතුර තත්ත්ව ඇතිවන බවත් ඔවුන් විශ්වාස කරනවා. මේ ජන ඇදහිලි නිසාම ඕසූන් ගඟ ආශ්‍රිතව බොහෝ ප්‍රදේශ රක්ෂිත ලෙස නම් කොට තිබෙනවා. මෙහි වාර්ෂිකව ආගමික උත්සව පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් කැප වුණු පූජා ස්ථානයක් ද ඉදිකොට තිබෙනවා.

 

3. ටුරාග් ගඟ

බංග්ලාදේශයේ ප්‍රධාන ගංගාවක් වන බුරිගංගාහි අතු ගංගාවක් වන ටුරාග් ගඟ පෝෂණය වන්නේ බන්ග්ෂී නම් තවත් ගංගාවකින්. ටබිල්ග් ජමාත් ඉස්ලාම් ආගමික ව්‍යාපාරය ඩකා නගරයෙන් ආරම්භ වුවත් එහි වාර්ෂික සම්මේලනය සිදු කරනු ලබන්නේ ටුරාග් ගඟ ආශ්‍රිතවයි. හජ් වන්දනාවට පසුව ලෝකයේ වැඩිම ඉස්ලාම් බැතිමතුන් පිරිසක් එක්රැස්වන ස්ථානය ලෙස මෙය සැලකෙනවා. ඉස්ලාම් දහම අනුව මෙම බැතිමතුන් ටුරාග් ගඟට වන්දනාමාන නොකළත්, ඒ සඳහා ගෞරවාදර දක්වනවා.

 

4. සිබීට් ගඟ

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා ප්‍රදේශය ආශ්‍රිතව ගලායන මෙම ගඟ ලෝකයේ පවතින අතිශයින්ම පිරිසිදු ගඟක් ලෙස සැලකෙනවා. ඊට හේතු වන්නේ මේ ගඟ තවමත් මිනිසාගේ තර්ජනයට ලක් නොවූ වනාන්තර පද්ධති මැඳින් ගලා යෑමයි. මෙම ගඟ ආසන්නයේ ඉන්දුනීසියානු කුමාරවරු දෙදෙනෙකුගේ සොහොන් පිහිටා ඇති අතර ඔවුන් වර්තමානයේ දෙවියන් බවට පත් ඇති බව ඉන්දුනීසියානුවන් විශ්වාස කරනවා. එසේම වාර්ෂිකව ගඟට ගෞරවය දක්වන උත්සවයකුත් පවත්වනු ලබනවා.

 

5. කාවේරි ගඟ 

ඉන්දියාවේ පවතින ශුද්ධවූ ගංගා හතෙන් එකක් වන කාවේරි ගඟ දකුණු ඉන්දියානුවන්ගේ වන්දනාවට ලක් වන්නේ  “කාවේරි අම්මා” දිව්‍යාංගනාව විදිහටයි. වර්තමානයේ තමිල්නාඩුවේ කෘෂිකර්මාන්තය සහ විදුලි ජනනය කටයුතු සඳහා වැඩි දායකත්වයක් කාවේරි ගඟ ලබාදෙනවා. නමුත් මෙම ගඟේ ජලය භාවිතා කිරීමේ අයිතිය පිළිබඳව තමිල්නාඩුව සහ අසල්වැසි ප්‍රාන්ත නොනවතින අරගලයක නිරත වෙනවා.

 

6. යමුනා ගඟ 

ගංගා නදියේ අතු ගංගාවක් වන නමුත්, ගඟෙහි විශාලත්වය නිසාම යමුනා ගඟ තනි ගංගාවක් ලෙස සලකනු ලබනවා. හින්දු ආගම තුළ යමුනා ගඟ දේවත්වයෙන් සැලකෙන අතර ඇයව සැලකෙන්නේ සූර්ය දේව රාජයාගේ දියණිය ලෙසයි. එසේම යමදේව රාජයාගේ සහෝදරිය වන ‘යමි’ ලෙසත් ඇයව හඳුන්වනු ලබනවා. හින්දු බැතිමතුන් විශ්වාස කරන පරිදි යම් පුද්ගලයෙකුගේ දෙපා යමුනා ගඟේ ජලයෙන් පාරිශුද්ධත්වයට පත්වුණු පසු ඔහුගේ පව් සෝදා හැරී යනවා 

 

7. ගෝමතී ගඟ 

වාශිෂ්ඨ නම් සෘෂිවරයාගේ දියණිය වන ගෝමතී ගංගාවක ස්වරූපයෙන් මිනිස් ලොවට පැමිණි බව හින්දු විශ්වාස තුළ කියවෙනවා. මේ ගංගාවත් ගංගානම් ගඟේ තවත් එක් අතු ගංගාවක්. චන්ද්‍ර දින දර්ශනයට අනුව ගණනය කෙරෙන ඒකදශී නම් දිනයේ ගෝමතී නදියෙන් ස්නානය කිරීමෙන් සියලු පව් දුරු වන බවත් ඔවුන් විශ්වාස කරනවා. කෙසේ නමුත් මේ කෙතරම් විශ්වාස තිබුණත් ගෝමතී ගඟත් ඉන්දියාවේ අනෙකුත් ගංගා සේම විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා දූෂණයට ලක් වී තිබෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *