නිවසක් මිලදී ගන්නකොට සලකා බලන්න ඕන කාරණා

හිසට වහලක් කියන්නෙ ඕනම කෙනෙකුගෙ මුලික අයිතිවාසිකමක්. ඒ අතරේ ලස්සන, හිතට සැනසුම ගේන, තමන්ගේම කියල පුංචි ගෙයක් දොරක් කියන්නෙ අපි කාගෙත් හීනයක්. හැබැයි අදකාලෙ ඉඩකඩම් වල වගේම ගෙවල් හදන්න යන බඩු, බාස් කුලී වල එහෙම අධික මිල නිසා මේ හීනෙ හැබෑ කරගන්න එක ඒ තරම්ම ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ඔය ඔක්කොම කාරණා සලකල බැලුවහම නිවසක් කියන්නෙ බොහෝම පරිස්සමට ගොඩනගන්න ඕන දෙයක්. හැබැයි ඒ කරදරය විඳින්න අකමැති, එක්කෝ කාලය හරස් වෙන අය කැමතියි හදපු ගෙයක්ම එකපාර මිලට ගන්න. මේකත් හිතන තරම්ම සරල නැහැ. හදපු ගෙයක් උනත් ලොකු සල්ලියක් යට කරන නිසාත්, හැමදාම ඉන්න හිතට හරියන තැනක් වෙන්න ඕන නිසාත් මිලදී ගන්න කලින් හිතන්න ඕන සෑහෙන්න දේවල් තියෙනවා. ඉතින් අපි අද බලමු නිවසක් මිලදී ගන්න කලින් හිතල බලන්න ඕන කාරණා මොනවද කියල. හරියටම කිව්වොත් නිවසක් මිලදී ගන්න කලින් සලකා බලන්න ඕන කාරණා රාශියක් අතරින් වැදගත්ම කාරණා ටික මොනවද කියල.

 

1. මිල

මේකනෙ ඉතින් අපි කවුරුත් ගෙයක් මිලදී ගන්න කලින් ඉස්සෙල්ලම හිතන කාරණාව. මිල කීයද කියලා. අනිවාර්යයෙන්ම මිල කොච්චරක්ද කියන එක හිතලා බලන්නම ඕන. හැබැයි අමාරුවේ නොවැටී ඉන්නනම් මේ මිල ගැන ගෙවල් හොයන්න පටන් ගන්න කලින්ම තීරණය කරන්න ඕන. ඒ කියන්නෙ අපි බලන්නෙ මෙන්න මේ බජට් එක ඇතුළේ තියෙන ගෙයක් කියන එකත් ඒ මුදල ගෙවන්නේ මුදලින්ද එහෙමත් නැත්තම් බැංකු ණයක් අරගෙනද, එහෙමත් නැත්තම් දෙවිදිහටමද කියන එකත් කලින් තීරණය කරලා ඉන්න ඕන. මොකද නැත්තම් බලන්න පටන් ගත්තට පස්සෙ ගෙවල් දැකලා ආසාවට බජට් එහෙට මෙහෙට කරලා, වැඩිපුර ණයවෙලා අමාරුවේ වැටෙන්න බැරි නැහැ.

අනිත් එක තමයි ඒ ගෙවන මිලට මේ ගන්න ගේ වටිනවද කියන කාරණයත් හිතල බලන්න ඕන. පිහිටලා තියෙන ප්‍රදේශය අනුව භුමියේ වටිනාකම, ගෙදර නිමාව වගේ දේවල් අනුව ඔය කියන මිලට වටිනවද කියලත් කොච්චර හදිස්සි උනත් හොයල බලන්නම ඕන.

 

2. ආරක්ෂාව

මේක එකපාරක් නෙමෙයි. දහස් වාරයක් උනත් හිතුවට කමක් නැති කාරණාවක්. ගෙදර ආරක්ෂාව, ඒ කියන්නේ ගේ හදලා තියෙන විදිහට, දොර ජනෙල් සවිකරලා තියෙන විදිහට ගෙදර ආරක්ෂාව කොහොමද? අවට ගෙවල් පිහිටලා තියෙන විදිහට ආරක්ෂාව කොහොමද? යන එන පාරේ ආරක්ෂාව කොහොමද කියන ඔක්කොම කාරණා හොයල බලන්න ඕන. මොකද ගෙයක් දොරක් ගන්නෙ පරම්පරා ගාණක දරු මල්ලොන්ට ජීවත් වෙන්නනේ.

 

3. පිහිටීම

පිහිටීම කියන්නෙ මේ ගේ තියෙන ඉඩම පිහිටලා තියෙන ප්‍රදේශය. මේ කාරණාවත් හුඟක් වැදගත්. මොකද ගංවතුර, නායයෑම් වගේ ස්වභාවික ආපදා තත්ත්වයන්ට ලක්වෙන තැනක්ද? එච්චර ලොකුවටම නැතත් භූමියේ පිහිටීම අනුව වැහි වතුරෙන් වගේ කරදර වෙන්න පුළුවන්ද? අවට තියෙන කර්මාන්තශාලා වගේ දේවල් වලින් අනවශ්‍ය ශබ්ද වගේ කරදර ඇතිවෙන්න පුළුවන්ද? ආගමික ස්ථාන ලඟින්ම පිහිටලා තියෙනවනම් ඒ ශබ්ද දරාගන්න පුළුවන්ද වගේ කාරණා. 

ඒ වගේම මිලදී ගන්න නිවෙස පිහිටලා තියෙන භූමිය අවට තියෙන පහසුකම් වලට කොයිතරම් දුරකින්ද තියෙන්නේ කියන එකත් හොයල බලන්න ඕන. ඒ කියන්නෙ ලඟම බස් පාරට තියෙන දුර, පාසල්, රෝහල් වගේ පහසුකම්. නගරයට තියෙන දුර වගේ කාරණා.

 

4. නිවසේ සැලසුම සහ පහසුකම්

මේ කියන්නෙ ගෙදර plan එක ගැන. ඔයාගේ පවුලේ ඉන්න අය අනුව ගෙදර plan එක ගැලපෙන්නම ඕන. අවශ්‍ය කාමර, නාන කාමර ප්‍රමාණය. කුස්සියේ ඉඩකඩ, ප්‍රියසම්භාෂණ එහෙම නිතර තියෙනවනම් මිදුලේ, රූෆ් ටොප් එකේ ඉඩකඩ, දරුවන්ට සෙල්ලම් කරන්න ඉඩකඩ, ඇතුළත ආරක්ෂාව, ඒ කියන්නේ වයසක අයට, දරුවන්ට අවදානම් වෙන පඩි එහෙම ගොඩක් නැතිවීම. 

ඒ වගේම අනෙක් යටිතල පහසුකම්. නල ජලය, තෙකලා විදුලිය වගේ මූලික පහසුකම් වගේම දුරකථන පහසුකම්, අන්තර්ජාල සංඥා, උණු වතුර පහසුකම් වගේ ඕන හැමදේම හොයල බලන්න ඕන. දැනට නැතත් මිලදී ගන්නකොට හෝ ඊට පසුව ඒවා සකස් කරගන්න හරි හැකියාවක් තියෙනවද කියලත් බලන්න ඕන.

 

5. වටපිටාව

වටපිටාව කියන්නෙ අහල පහල ගෙවල් දොරවල්. වටේ පිටේ තියෙන ගෙවල් වල තාප්ප, blind wall, CCTV කැමරා වලින් කරදර තියෙනවද කියන එක හොඳට පරික්ෂා කරන්න ඕන. වටේ පිටේ මිනිස්සු මොන වගේද කියන එක අහලින් පහලින් අහල හරි දැනගන්න ඕන. ඒ වගේම ඉඩමට මායිම් වෙන කුඹුරු, දියපාරවල් එහෙම තියෙනවනම් ඒවගෙන් වෙන බලපෑම් වගේ දේවලුත් හොයල බලන්න ඕන.

 

6. නිරවුල් ඔප්පු

මේකනම් ඉතින් ආයෙත් කියන්න දෙයක් නැහැනෙ. අපි කොහොමත් බලනවනේ. හැබැයි කොච්චර බැලුවත් අපේ නොදැනුවත්කමට මඟ හැරෙන වැදගත්ම කාරණා ඕනතරම් තියෙන්න පුළුවන්. ඒ නිසා වැඩේට හොඳම ලෝයර් කෙනෙක් සම්බන්ධ කරගන්න ගණන් හිලව් ගැන නොහිතා. ඒ වගේම බැංකු ණයක් හරහා ගන්නකොට බැංකුව හරහා මේ පරීක්ෂා කිරීම් හොඳටම කෙරෙන නිසා ඒක ටිකක් වැඩිපුර හොඳයි පරිස්සමට. 

 

7. ඉතිහාසය

ඔක්කොම හොයල බැලුවට පස්සෙ නිවසේ ඉතිහාසයත් හොයන්නම ඕන. ඇයි මේ ගේ විකුණන්නේ, කලින් හිටපු අය, එයාලට මේ නිවස නිසා ඇතිවුන විශේෂ ප්‍රශ්න එහෙම තිබ්බද කියන එක. කෙලින්ම කිව්වොත් ඔය හොල්මන්, අවතාර වගේ අද්භූත සිදුවීම් එහෙම මේ නිවාස ආශ්‍රිතව දැනගන්න තියෙනවද වගේ කාරණා. මොකද ඒ වගේ හේතුවලට හදිස්සියේ විකුණන ගෙවල් ඉඩම් වලට අහුවෙන්න තියෙන ඉඩකඩ වැඩියි ලාභය ගැන හිතලා. ඒ දේවල් ලොකුවට විශ්වාස නොකලත් නික සල්ලි දීලා කරදරයක් ඇඟේ දාගන්නවට වඩා වෙන තැනක් බලන එක තමයි හොඳ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *