ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිශේෂී මංසලකුණු – 2 කොටස

ලංකාවේ සිනමා ඉතිහාසය පිළිබඳව කෙටි ලිපි මාලාවක් පළකරන්න මීට මාස දෙකකට පමණ පෙර අපි ආරම්භ කළා. නමුත් කාර්යබහුලත්වයත් එක්ක එම ලිපි මාලාව පසුගිය මාසවල පළවීම ටිකක් විතර මඟ ඇරුණා. ඒ පිළිබඳව කණගාටුව පළ කරන ගමන් අපි අදත් ලංකා සිනමා ඉතිහාසයේ සොඳුරු ඉතිහාසය සොයා යමු.

 

ලාංකේය සිනමා ඉතිහාස​යේ සුවිශේෂී මංසලකුණු

 

1. අශෝකමාලා

ලංකාවේ කතානාද සිනමා ඉතිහාසයේ පළමු චිත්‍රපටය බවට පත්වීමට ‘කඩවුණු පොරොන්දුව’ සහ ‘අශෝකමාලා’ අතර තිබුණේ තරඟයක්. නමුත් කඩවුණු පොරොන්දුව එම තරඟය  ජයග්‍රහණය කරනු ලැබුවා.මේ චිත්‍රපටයේ ඇති අනෙක් විශේෂත්වය වන්නේ ඓතිහාසික කතා පුවතක් රැගත් පළමු චිත්‍රපටය එය වීමයි. එසේම කතානායිකාවගේ නමින් චිත්‍රපටය හැඳින්වීමේ රැල්ල ආරම්භ කරන ලද්දේද අශෝකමාලා චිත්‍රපටය විසින්. විශේෂයෙන් සඳහන් කළ යුතු දේ වන්නේ අශෝකමාලා චිත්‍රපටයේ එක ගීතයක් හැර අනෙක් ගීත සියල්ලම ස්වාධීන තනුවලින් යුක්ත වීමයි.

 

2. කපටි ආරක්ෂකයා 

ඉන්දියාවේ චිත්‍රාගාරයක නිෂ්පාදන කටයුතු සිද්ධ වුවත් ලංකාවේ ස්වභාවික දර්ශන යම් තරමක් දුරට හෝ ඇතුළත් වුණු පළමු චිත්‍රපටිය ලෙස මෙය හැඳින්විය හැකියි. එසේම මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේදී අතිරේක වශයෙන්  ‘ගාන්ධි ජී’ නම් වූ වාර්තා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කොට තිබෙනවා. විරිඳු ගායනයක් ඇතුළත්වීම, සිහින දර්ශන තිබීම පමණක් නොව ඛේදාන්තයකින් අවසන් වීම ලංකාවේ සිනමාවට එක් වූයේද කපටි ආරක්ෂකයා තුළිනුයි.

 

3. සිනමාව නිසා සිදු වූ පළමු මරණය 

චිත්‍රපටිවල ප්‍රදර්ශනය කෙරුණු උද්වේගජනක දර්ශන නිසා  හෘදයාබාධවලින් මියගිය රසිකයන් පිළිබඳව අපේ රට තුළ අඩුවෙනුත්, අසල්වැසි ඉන්දියාවේ බහුල වශයෙනුත් වාර්තා වෙනවා. ‘පෙරළෙන ඉරණම’ නම් චිත්‍රපටය නැරඹීමට පැමිණි එච්. එම්. ජය අප්පු නම් සිනමා රසිකයා සිනමාහලට පිවිසෙන පෝලිමේ හිර වී මියයෑම ලාංකේය සිනමා ඉතිහාසය සිදුවූ කණගාටුදායකම මරණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

 

4. කුසුමලතා

මේ චිත්‍රපටය සඳහා ලංකා සිනමා ඉතිහාසයේ හිමිවන තැන පිළිබඳව පාර්ශව දෙකක් පරස්පර විරෝධී මත පළ කරනවා. නමුත් ඔවුන් දෙපාර්ශ්වයම මෙම චිත්‍රපටයේ සුවිශේෂීතාවය මතු කරනු ලබනවා. ඇතැම් අයට අනුව “සැඟවුණු පිළිතුර” චිත්‍රපටිය රූගත කරන දර්ශන තලයෙන් එම චිත්‍රපටය දෙමළ බසින් කුසුමලතා ලෙස රූගත කොට තිබෙනවා. ඒ නිසාම ඔවුන්ට අනුව ලංකා සිනමා ඉතිහාසයේ පළමු දෙමළ චිත්‍රපටය වන්නේ කුසුමලතායි. නමුත් අනෙක් පාර්ශවය පවසන්නේ කුසුමලතා යනු සැඟවුණු පිළිතුර චිත්‍රපටයේ හඬකැවීමක් යන්නයි. ඒ අයුරින් ගතකළ දෙමළ බසට හඬ කැවුණු පළමු සිංහල චිත්‍රපටිය විදිහට කුසුමලතා ඉතිහාසගත වෙනවා.

 

5. බණ්ඩා නගරයට පැමිණීම 

“රේඛාව” චිත්‍රපටිය තිරගත වන තෙක් ලංකාවේ එළිමහන් දර්ශන සම්පූර්ණයෙන් භාවිතා කරමින් චිත්‍රපටයක් බිහි වුණේ නැහැ. ලංකාවේ සිනමා ශිල්පීන් දිගින් දිගටම චිත්‍රපටි නිර්මාණය සඳහා ඉන්දියාව බලා ගියා. එහෙත් 1952 දී තිරගතවූ “බණ්ඩා නගරයට පැමිණීම” චිත්‍රපටය අලුත් සම්ප්‍රදායක් ආරම්භ කරනු ලැබුවා. ඒ ලංකාවේ චිත්‍රාගාරයක් තුළ සම්පූර්ණයෙන් රූගත කෙරුණු පළමු චිත්‍රපටිය බවට පත්වීමෙන්.

 

6. සැඩ සුළං

ලංකාවේ වාර්තා පිට වාර්තා වාර්තා තබමින් තිරගත වූ චිත්‍රපටයක් වන “සැඩ සුළං” වාර්තා කීපයකටම හිමිකම් කියනවා. බිම්ලා නම් හින්දි චිත්‍රපටි නිළියක් මෙම චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය රඟපා ඇති අතර භාරතයේ ගීත කෝකිලාවිය වන ලතා මංගේෂ්කාර් “ඇමැතිනිය මනෝ දර්ශනීය ලංකා” නම් ගීතය ගායනා කිරීම සුවිශේෂී කරුණක් වනවා. මීට අමතරව චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළ ටී. සෝමසේකරන් ලංකේය චිත්‍රපටයක් මෙහෙයවූ පළමු ලාංකික ද්‍රවිඩ ජාතිකයා බවට පත් වනවා.

 

7. තුෂාරා 

“තුෂාරා” චිත්‍රපටයේ මංගල දර්ශනය තිරගත වූ දා සුවිශේෂී සිදුවීමක් සිදුවුණා. එතෙක් කලක් සිනමා නිර්මාණ එළිදක්වනු ලබන මංගල දර්ශනය සඳහා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී කරවා ගනු ලැබුවේ දේශපාලනඥයෙකු හෝ සුප්‍රකට කලාකරුවෙකුයි. මේ ක්‍රමය වෙනස් කළ තුෂාරා කණ්ඩායම නරඹන්නන් අතරින් කුසපත් ඇදීමෙන් ප්‍රධාන අමුත්තෙකු තෝරාගනු ලැබුවා. එම වාසනාව හිමිවූයේ චන්ද්‍රසිරි කුලතුංග නම් ප්‍රේක්ෂකයාටයි.

 

අද ලිපිය මගිනුත් ඔබට ලංකාවේ සිනමා ඉතිහාසය පිළිබඳව මෙතෙක් අහන්නට දකින්නට නොලැබුණු තොරතුරු රාශියක් ඉදිරිපත් කරන්න හැකි වුණා කියලා අපි හිතනවා. එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *