ස්වයං රැකියාවකට ගැළපෙන කුකුළු පාලනය

කුකුළන් පාලනය ඕනෑම අයෙක්ට කළ හැකි රැකියාවක් ලෙස පෙනුණත්, කුකුල් පාලනයේදී ජනාවාස වලින් තරමක් ඈත තැනක් වීම වඩාත් යෝග්‍යය. ජලය සපයාගත හැකි, එහෙත් ජලයෙන් තෙත බරිත වෙන පොළවක් තෝරා ගැනීමද කුකුළු පාලනයට වැදගත්ය. කුකුළන් පාලනය ගැන දැනුමක් නැතිව ක්ෂේත්‍රයට පිවිසුනොත් කුකුළන්ගේ ලෙඩරෝග, පෝෂණය ගැන ඇති දැනුම මද කම නිසා කුකුළන් වගාවට හානි විය හැකිය. එනිසා සම්පූර්ණ දැනුමක් නැතත්, දන්නා කියන අයෙකුගෙන් සතුන් ඇතිකිරීම ගැන අසා දැන ගැනීමද කුකුළන් පාලනයට වැදගත් වේ.

 

1. කුකුළන් පාලනයේ වාසි

කුකුළු පාලනයේ ඇති මූලික වාසිය නම් අඩු කාලයකින් අස්වැන්න ලබාගත හැකි වීමයි. කුඹුරක් වපුරා අස්වනු ලැබීමට දින සීයකට වඩා බලා සිටීමට සිදුවන නමුදු දැන් කුකුළු පැටවුන් ලොකු කර එයින් මස් ලබාගන්නේ නම් දින තිහකින් වුව කුකුළන් ලොකු මහත් කළ හැකිය. අනෙක් වගා වලට සාපේක්ෂව කුකුළන් සඳහා යන්නේ අඩු ඉඩකි. නඩත්තු කිරීම සහ පාලනය සඳහා වැයවෙන අඩු කාලය සැලකූ විට රැකියාවක් කරන අයෙකුට වුව වෙනත් ආදායම් මාර්ගයක් ලෙස කුකුළන් පාලනයේ යෙදිය හැකිය.

 

2. නිදැල්ලේ ඇති කරන කුකුළන් 

මෙහි මූලික අවාසිය වන්නේ විශාල ඉඩකඩකින් ලබාගත හැකි ප්‍රතිඵල කුඩා වීමයි. නිදැල්ලේ අත හරින කුකුළන් අනෙක් වතු වලට පැන්නොත් එයිනුත් බැනුම් සහ දෝෂාරෝපණයන්ට ලක්වන්නේ කුකුළන් ඇතිකරන අයයි. ඒ නිසා ඒවායෙන් ගැලවෙන්න හොඳ කම්බි දැල් වලින් කුකුළන් ඇතිකරන ඉඩම ආවරණය කරන්නට ඕනි. ඉන් පසු කුකුළන්ට කෑම ලෙස අමතරව පිටින් කෑම දෙන්නටත් ඕනි. කොතරම් පණුවන් සහ දිරන ද්‍රව්‍ය තිබුණත් කුකුළන් පිරිසක් නිතරම කෑම සොයන විට ඒ කෑම ඉක්මනින්ම ඉවර වෙනවා. ඒ නිසා කුකුළන් සඳහා වූ විශේෂිත පෝෂණ ද්‍රව්‍ය නැතත්, අවම වශයෙන් අබලි සහල් කොටස්, ඉරිඟු, ගුල්ලන් ගැසූ ධාන්‍ය වර්ග වැනි දේවල් හෝ නිදැල්ලේ ඇතිකරන කුකුළන්ට ලබා දිය යුතු වෙනවා.

 

3. නිදැල්ලේ ඇතිකිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

නිදැල්ලේ ඇතිකරන අවස්ථාවේදී බිත්තර ගන්නා කිකිළියන් ඇතිදැඩි කිරීම වඩාත් වාසිදායක වෙනවා. එයින් ඉන්දියානු ගිරිරාජ් වැනි වර්ගයක සාර්ථක පැටවු තෝරාගත්තොත් ඉන් පසු කුකුළන්ට සාත්තු කළ යුතු ප්‍රමාණයත් අඩු වෙනවා. නිදැල්ලේ ඇතිකිරීමේදී වුවත් සතුන්ට ලෙඩ රෝග ඇතිවන්නට පුළුවන්. ඒ වැනි අවස්ථාවල කෑම සමග සතුන්ට අදාළ රෝග වලට අවශ්‍ය බේත් හේත් ලබාදෙන්නට ඕනි. ඇතැම්විට එන්නත් කරන්නට සිදුවන අවස්ථාවන්ද තියෙනවා. නිදැල්ලේ ඇතිකරන කිකිළියන්ට විවිධ අනතුරු වෙන්න තියෙන හැකියාව වැඩියි. බල්ලන්, සර්පයින් සහ වෙනත් සතුන්ගෙන් ඇතිවන හිංසාවන් ආදිය ගැනත් නිදැල්ලේ කුකුළන් ඇතිකරද්දි අවධානය යොමු කරන්නට ඕනි. සතුන්ට ආහාර හැකි පමණ වගේම ජලයත් ඇති පමණ දීමෙන් සතුන්ගේ නිරෝගීකම රැකෙනවා.

 

4. ලොව ලාභම කුකුළු මස

මස් වර්ග අතුරින් චිකන් හෙවත් කුකුළු මස් තරම් ලාභදායී මසක් වෙන නැති තරම්. මුහුදින්, ගඟෙන් නොමිලයේම අල්ලා ගන්නා මාළු පවා ඇතිදැඩි කරන කුකුළන්ගේ මසට වඩා මිල වැඩිවන අවස්ථා වැඩියි. දැන් මාසයක පමණ අඩු කාලයකින් මස් ලබාගත හැකි කුකුළු විශේෂ වැඩිදියුණු කරලා තියෙනවා. ඒ වගේම කුකුළන් ඇතිකරන්නට වැයවෙන මූලික වියදම් සහ ඉඩකඩ අඩුයි. ඇමරිකාව ඇතුළු ලෝකයේ දියුණු රටවල පවා කෙතරම් ගවමස්, ඌරු මස් තිබුණත් කුකුළු මසට ඇති තැන හිමිකරගන්න ඒ කිසිම එකක් සමත් වෙලා නැහැ. ලංකාවෙත් මාළු පරිභෝජනය සාපේක්ෂව වැඩි වුවත්, බොහෝ පිරිසක් කුකුළු මස් කන්නට ප්‍රියතාවක් දක්වනවා.

 

5. කිකිළි පැටවුන් මිලදී ගැනීම

කිකිළි පැටවුන් බිහිකරගැනීම තරමක සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ දැනුම සහ තාක්ෂණය නොමැති නම් වඩාත්ම ලෙහෙසි ක්‍රමය වන්නේ පැටවුන් මිලදී ගැනීමයි. දිනක් වයසැති පැටවෙක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 40ක් වත් බර විය යුතුය. එසේම පැටවුන් සියල්ලම පෙනුමෙන් සමාන විය යුතුය. සෝමාරි පැටවුන් නැතිව වඩාත් ක්‍රියාශීලී, කඩිසර පෙනුමක් තිබෙන පැටවුන් වඩාත් නිරෝගීය. නිසි පරිදි පැටවු ප්‍රතිශක්තිකරණයට ලක් කර තිබේදැයි සොයා බැලීමත් කළ යුතුය.

 

6. කුකුළන් ඇති කිරීමේ ක්‍රම

පුරාතනයේ ගම්මාන වල නිදැලි ක්‍රමයට කුකුළන් ඇති කළ අතර දැනුදු කලාතුරකින් ඒ ක්‍රමය දක්නට ලැබේ. අප මුලින් සඳහන් කළාක් මෙන් නිදැලි ක්‍රමයට කුකුළන් ඇතිකිරීම හුදෙක් රැකියාවක් ලෙස කුකුළන් ඇතිකිරීමට යෝග්‍ය නොවේ. එය අමතර ආදායම් මාර්ගයක් ලෙස සුදුසුය. කුකුළන් ඇතිකරනු ලබන ක්‍රම තුනකි. ඒවා නම්… 

  1.     නිදැලි ක්‍රමය
  2.     අඩ සිවුම් ක්‍රමය
  3.     සිවුම් ක්‍රමය

 

7. කුකුළන් ඇතිකරන ක්‍රම ගැන තවදුරටත්

නිදැලි ක්‍රමය ඉහතින් විස්තර කර ඇති අතර අඩසිවුම් ක්‍රමය යනු කුකුළන් අප කතා කරන බසින් කියනවා නම් ගෝවා ගෙඩි මෙන් ඇතිදැඩි කිරීමේ ක්‍රමයයි. සතුන් සඳහා ඉදි කරන කූඩු කුඩාය. අහුලා කෑමට කුකුළන්ට මහන්සි වීමක් නොමැති අතර සෑම කූඩුවකටම ආහාර සහ ජලය සැපයේ. මසට සතුන් ඇතිකිරීමේදී මෙම ක්‍රමය වඩාත් යෝග්‍ය වේ. සිවුම් ක්‍රමයේදී පූර්ණ පාලනයක් සහිතව නිවාස තුළ කුකුළන් ඇති කරයි. කූඩු ඉදිකිරීම අවශ්‍ය වන අතර, තරමක වියදම වැඩිය. එහෙත් පාලනය පහසුය.

සිවුම් ක්‍රමයේම තවත් එක් දිගුවක් ලෙස ඝන ආස්තරණ ක්‍රමය ලංකාවේ ජනප්‍රිය වී ඇත. එහිදී දහයියා, පිදුරු, රටකජු පොතු, ලී කුඩු ආදිය මගින් ඝන ආස්තරණයක් සතුන්ට සපයන අතර, ඒ මගින් බිමේ ඇති තෙතමනය සහ උෂ්ණත්වය පාලනය කරගනී. මීට අමතරව තට්ටු ක්‍රමය, කැදලි ක්‍රමය, තනි කැදලි ක්‍රමය, කුකුළු නිවාස ආදී ක්‍රම කිහිපයකටම කුකුළන් අතිකරනු ලැබේ.

 

8. කුකුළු ආහාර

 

පෙර කලදී විවිධ පෝෂ පදාර්ථයන් සම්පූර්ණ වන පරිදි පළා වර්ග ආදිය මුසු කොට කුකුළු ආහාර සකස් කිරීම සිදු කරනු ලැබුවා. එහෙත් ඉන් පසු දැන් වෙළඳපොලේ කෙලින්ම ඒ ඒ කුකුළන්ගේ අවශ්‍යතාවන්ට අදාළ සියළු පෝෂ පදාර්ථ ඇතුළත් කුකුළු ආහාර වර්ග මිලදී ගන්නට තිබෙනවා. එසේම දැන් විවිධ කුරුළු ලෙඩරෝග පිණිස තැනූ රසායනික දේද පහසුවෙන් වෙළඳපොලෙන් මිලදී ගත හැකියි. යම් අයෙක් රසායන ද්‍රව්‍ය වලට අකමැති නම් පාවිච්චි කළ නොහැකි වුවද ලාභ අපේක්ෂාවෙන් කුකුළු පාලනය කරන්නේ නම් සතුන් සමූහයේ පෝෂණය සහ නිරෝගීතාවය වාසිදායක අන්දමින් පවත්වාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදිය යුතුය.

 

ඉඩ තිබෙන වත්තක් තිබේ නම් උත්සාහයක් දැරීමට වටිනා ස්වයං රැකියා යෙදවීමකි කුකුළු පාලනය. ඒ සඳහා යම් කැපකිරීමක් කළ යුතු වුවත් හුරු වුවහොත් කුකුළු පාලනය කදිම ආදායම් මඟක් ද විය හැකිය. බෞද්ධ ආගමික වටපිටාව නිසා ඇතැම් නිවෙස්වල දරුවන් සහ ස්ත්‍රීන් මසට සතුන් ඇතිදැඩි කිරීමට තවමත් දැඩි විරෝධතාවයක් දක්වයි. කුඩා ව්‍යාපාරයක් ලෙස කුකුළන් ඇතිකිරීමට අදහසක් ඇත්නම් අවට සහ පවුලේ අයගේ අදහස්ද සලකා බැලිය යුතුය. එවිට විරෝධතා නිසා පසුව සිදුවිය හැකි විශාල අලාභයන් අවම කරගත හැකිය. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *