ලී වලින් කරන්න පුළුවන් මේ අපූරු ආට් වලින් අමතර ගාණක් හොයාගන්නත් පුළුවන්

අපිට ඉතින් සාමාන්‍යයෙන් වඩු වැඩ, වඩු බාස් කිව්වහම ඒ තරම් ලොකුවට දැනෙන්නෙ නෑනේ. ඒ නිසා තමයි වඩු වැඩ වලට එහෙම ලොකු අගයක් අපේ රටේ නොදෙන්නේ. හැබැයි ඉතින් වෙන රටවල ගත්තහම වඩු වැඩ ඉස්කෝලේ විෂයක් විදියටත් උගන්නනවා. ඔය වුඩ්වර්කින්, වුඩ්ක්‍රාෆ්ටින් වගේ නම් වලින් කියන්නේ ඒවා තමයි. හරි. දැන් ඔය ලී වැඩ කිව්වහම අපි හිතන්නේ අටුව කඩලා පුටුව හදන එක, ලෑලි ගාණට මිම්මට අරගෙන ඇණ ගහලා මේසයක් හදන එක, ජනේල උළුවහු හදන එක වගේ සීන් ගැන විතරයිනේ. එක්කෝ ඕන නම් වැඩිම කැටයම් ගැන හිතයි. හැබැයි ලී වලින් කරන්න පුළුවන් මැජික් වැඩ එතනින් ඉවර වෙන්නෙ නෑ. පොඩ්ඩක් යූටියුබ් එක පැත්තේ ගිහින් බැලුවත් ඔය ලී වලින් කරන්න පුළුවන් නානාවිධ ආට් වර්ග ගැන හොයා ගන්න පුළුවන්.

 

ඇත්තටම මේ ගැන හොයාබලන එකේ මේ වෙලාවේ තියෙන විශේෂත්වය මොකද්ද? සරලයි. අපි හැමෝටම මේ වෙලාවේ අමතර ආදායම් මාර්ගයක් එහෙම තියෙනවා නම් සුපර්. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ ලී වලින් කරන්න පුළුවන් විවිධ ආට් වර්ග ගැන හොයලා බලලා, එව්වා විනෝදෙටත්, ආදායම් මාර්ගයක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න.

 

1. Woodturning

ලේත් මැෂින් එක ගැන අහලා තියෙනවද? හරි ලියවන පට්ටලේ ගැන? ආන්න ඒක තමයි මේ වුඩ්ටර්නින් වල තියෙන ප්‍රධානතම උපාංගය. ලේත් එකක නැතිනම් ලියවන පට්ටලේක සිද්ධ වෙන්නේ යම් දෙයක් ඒකට හයි කරලා අධි වේගෙන් කරකැවෙන එක. උදාහරණයක් විදියට කිවුවොත් ලී කොට කෑල්ලක් හයි කරනවා ලියවන පට්ටලේ මැද්දට. දැන් ඕක වේගෙන් කරකැවෙන කොට අපි නියනක් අරගෙන කරකැවෙන කොට කෑල්ලේ පෘෂ්ටයට ප්‍රවේසමෙන් ලං කරනවා. ආන්න එතකොට කොට කෑල්ල ඒ නියන අල්ලන හැඩේට ගානට කැපීගෙන යනවා. මෙන්න මේ විදියට සමමිතිකව අපිට ලී කොට කෑල්ල අපිට ඕන හැඩේකට හැඩගස්වා ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි වුඩ්ටර්නින්!

 

 

2. Wood carving

හිතලා බලන්න නිකම්ම ලී කෑල්ලක් ඇතුළේ මොන වගේ ආට් එකක් හැංගිලා තියෙන්න පුළුවන්ද කියලා. සමහර විට ඒ ජාතික වීරයෙක්ගේ උඩුකය ප්‍රතිමාවක් වෙන්න පුළුවන්, සමහර වෙලාවට ඒක බෙන්ස් කාර් එකක් වෙන්න පුළුවන්, සමහර වෙලාවට ඒක භූමි දර්ශනයක් වුනත් වෙන්න පුළුවන්. ආන්න ඒක ලී කෑල්ල පොතු ගහලා, කපලා, කොටලා මතු කරගන්න එක තමයි නිර්මාණ ශිල්පියෙක්ට කරන්න පුළුවන් වෙන්නේ. ඒකට තමයි වුඩ් කාර්වින් කියලා කියන්නේ. මෙතනදී ඕන නම් ලී කොට කෑල්ලකින් සම්පූර්ණ අනුරුවක්, ප්‍රතිමාවක් වගේ දෙයක් නිර්මාණය කරන්නත් පුළුවන්. එහෙම නැතිනම්, ලී කොට කෑල්ල ඇතුළේ යම් කිසි නිර්මාණයක් කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේකට නම් සෑහෙන දියුණු පරිකල්පන ශක්තියක් සහ ශිල්පීය හැකියාවක් ඕන. ඒක පළපුරුද්දෙන් හොයාගන්න පුළුවන්.

 

 

 

3. Wood burning

වුඩ් බර්නින් කියන්නේ මොකද්ද? නමේ හැටියට නං ලී පුච්චලා කරන මොකක් හරි එකක් වෙන්න ඕනනේ. නැද්ද? ඇත්තටම මේකට තව නමක් තියෙනවා. ඒ තමයි පයිරෝග්‍රැෆි (Pyrography). සරලවම කිවුවොත් ඒකෙන් කියන්නේ ලී හෝ වෙනත් පෘෂ්ටයක් මත ප්‍රවේසමෙන් ගින්දර හෝ රත් වුණු දෙයක් පාවිච්චි කරගෙන පිළිස්සීමක් කරලා, අන්න ඒ පිළිස්සුණු පැල්ලම් ආට් එකක් විදියට යොදාගැනීම. දැකලා තියෙනවද ඔය පාරවල් අයිනෙත් විකුණන්න තියෙන ලි ඵලකයක කලු පාටට වගේ ඇඳලා තියෙන ආට්? ඒ ඇඳලා නෙවෙයි, පුච්චලා. මේවා ලස්සනට බිත්තියේ එල්ලන්න, මේසයක් උඩ තියාගන්න එහෙම පුළුවන්.

 

මේ වැඩේට අර බවුත් එකක් වගේ පේන්න තියෙන වුඩ් බර්නින් ටූල්ස් ගන්න ඕන. ආරම්භයට එකකින් පටන් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ වුඩ් බර්නින් නිර්මාණය කරන්න ගැලපෙන ලී ඵලකයක් හොයාගන්නත් ඕන. එතන ඉඳන් තියෙන්නේ තමන්ගේ ආට් හැකියාව සහ නිර්මාණශීලීත්වය තමයි.

 

 

 

4. Wood wall art

නිකමට හිතන්න ඔය වැඩක් නෑ කියලා විසි කරන, නැතිනම් දිරන්න දාලා තියෙන, නැතිනම් දරට යන ලී කෑලි ගැන. විශේෂයෙන්ම ලී මෝලක් පැත්තට ගියොත් ඔය වගේ ලී කෑලි අපිට ගෝනි ගාණට ගේන්න පුළුවන් පොඩි ගාණක් දීලා. ඔය ලී කෑලි කීපයක් නං නිකම් ගේන්නත් පුළුවන්, කාටවත් වැඩක් නැති නිසා. හැබැයි හිතන්න අපිට ඕකෙන් කරන්න පුළුවන් ආට් එකක් ගැන. ඔන්න අපි ඒ ලී කෑලි පුළුවන් තරම් සමාන කොටස් වලට කපා ගන්නව. දැන් තියෙන්නේ අර බිත්තියක් ගඩොල් වලින් බඳිනවා වගේ මේ ලී කෑලි ටික එකලස් කරන්න. අන්න එතනදී පොඩ්ඩක් නිර්මාණශීලීත්වය තියෙන්න ඕන. එක්කට එකක් වෙනස් ලී කෑලි වෙනස්ම රටාවක් එන විදියට එක් තැන් කරන්න. දැන් ඉවර වෙලා බලන්න බිත්තියක එල්ලන්න හරි සවි කරන්න හරි පුළුවන් අපූරු මොසැයික් ලී ආට් එකක් නිර්මාණය වෙලා නැද්ද කියලා!

 

 

 

5. Engraving

එන්ග්‍රේවින් කිව්වහම අමුතුයි වගේ නම් අපිට කියන්න පුළුවන් කැටයම් කපනවා කියලා. ඔව්, මේ කියන්න යන්නේ අපි හැමෝම දන්න ක්ලැසික් කැටයම් කලාව ගැන තමයි. අපිට කැටයම් කලාව සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තියෙනවනේ. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට අපි දකින්නේ සාම්ප්‍රදායික මල්වැල්, ලියවැල්, හංස පූට්ටු වගේ එකම කැටයම් සෙට් එකක්. හැබැයි ඔය කැටයම් කලාව අපිට තවත් නිර්මාණශීලීව පාවිච්චි කරන්න බැරිද? ඕන නම් ලී ඵලකයක කැටයම් කපලා, ඒක ලස්සනට එල්ලන්න, මේසේ උඩ තියන්න පුළුවන්. එහෙම නැතිනම් ලී වලින් නිමැවුණු මිටියක්, පැන්සල් රඳවනයක්, බුක් මාක් එකක් වගේ දෙයක් සියුම්ව කැටයක් කරලා, ඒකේ වටිනාකම වැඩි කරගන්නත් පුළුවන්.

 

 

 

6. Wood crafting

මේක නම් ඉතාම සරලයි. ලී වලින් මොනවා හරි හදන එක ගැන තමයි මේ කියන්නේ. ඉතින් එහෙමනම් ඒක ඇයි ලිස්ට් එකට ඇවිත් තියෙන්නේ? හේතුව, අපි මෙතන කතා කරන්නේ සරලවම මේසයක්, පුටුවක් හදන එක නොවෙන නිසා. ඒ වෙනුවට වඩාත් නිර්මාණශීලීව, අපිට විවිධ ගෘහභාණ්ඩ, විසිතුරු දේවල්, සිහිවටන වගේ දේවල් ලී වලින් හදන්න පුළුවන්. ඇත්තටම ලී වලින් නිකම්ම හදන පැන්සල් රඳවනයකට වඩා, නිර්මාණශීලී විදියට හදන්න පුළුවන් වෙනස් විදියේ පැන්සල් රඳවනයක් ගැන හිතමු. ඔන්න ඒකේ පැන්සල් උල් කරන්න කටර් එකකුත් අපි හයි කරනවා. එහෙම නැතිනම් පෑන් රඳවනයේ පැත්තකින් පුංචි පහේ දිනදර්ශනයක් හයි කරනවා. ඕන නම් වුඩ් බර්නින් වගේ නිර්මාණ ක්‍රමයක් පාවිච්චි කරලා දින දර්ශනයේ ඉලක්කම් නිර්මාණය කරන්න පුළුවන්. ආන්න ඒ වගේ වුඩ් ක්‍රාෆ්ට් නිර්මාණයකට ඉතාම ඉහළ මිලක් ලබාගන්නත් පුළුවන්.

 

 

 

7. Wood Resin art

මෙන්න මේකත් හරිම විශ්වකර්ම වැඩ කරන්න පුළුවන් අපූරු ආට් එකක්. ලී ගැන අපි දන්නවා. රෙසීන ගැන දන්නවද? රෙසීන් කියන්නේ අතිශයින් ඝන ද්‍රව්‍යයක් බවට පත් වෙන්න පුළුවන්, දියරමය ස්වභාවයෙන් තියෙන දෙයක්. ගස් වල මැලියම් දැකලා තියෙනවනේ. ඒවා ගස් වලින් ගලනකොට දියරමය ස්වභාවයකින් තිබ්බත්, වාතයට නිරාවරණය වෙලා ක්‍රමයෙන් ඝන වුනාට පස්සේ ආයෙ ගල් වගේ තමා. රෙසීන් වල මෙන්න මේ ගුණය උපයෝගී කරගෙන නිර්මාණ ශිල්පියෝ රෙසීන් විවිධ නිර්මාණ බවට හැඩගස්වනවා. ආන්න ඒකට ලීත් උපයෝගී කරගෙන කරන්න පුළුවන්. ඒක නිසා මේකත් අපි ලිස්ට් එකට ගන්නවා.

 

අපි හිතමු ඔය ස්වභාවයෙන්ම දිරා ගිය පෙනුමක් තියෙන ලී කොටයක් ගැන. දැන් අපි ඔය ලී කොටේ අර දිරා ගිය පෙනුම මැද්දට එන විදියට ලෑලි බවට පත් කරගෙන, හතරැස් හැඩේකට තියාගන්නවා. දිරා ගියපු පෙනුම තියෙන කොටස දෙකට කපලා, මැද්දේ හිස්තැනක් තියෙන විදියට ලී ටික එකලස් කරගන්න පුළුවන්. දැන් ඔය මැද්දේ තියෙන හිස් තැන අපිට එපොක්සි රෙසීන් වලින් පුරවන්න පුළුවන්. ඒකට පාටක් එහෙමත් දාන්න පුළුවන්. දැන් ඕක ඝන වුණාට පස්සේ බලන්න, අපූරු කොෆී ටේබල් එකක උඩ පෘෂ්ටය හැදිලා නැද්ද කියලා!

 

මේ වගේම වඩාත් කුඩා ප්‍රමාණයේ නිර්මාණ වුනත් කරන්න පුළුවන් ලී සහ රෙසීන් යොදාගෙන.

 

 

 

පේනවනේද ලී කර්මාන්‍තයෙන් කොයි තරම් ආටිස්ටික් දේවල් කරන්න පුළුවන්ද කියලා. පටන් ගැන්මෙදී වියදම් විතරක් වෙන්න පුළුවන්. හැබැයි තමන්ට නිර්මාණශීලී වෙන්න පුළුවන් තරමට, ලී නිර්මාණ වලට විශේෂ වෙළඳපොලකුත් හැදෙයි. තමන්ගේ විනෝදාංශයෙන් අමතර ආදායමකුත් ලැබෙයි.