මොනවද මේ Mind mapping කියන්නේ? කොහොමද ඒක කරන්නේ?

Mind mapping කියන්නේ ඇත්තටම මොකද්ද? ඕන නම් චිත්ත සිතියම් කියන්න පුළුවන්. ලේසියට අපි මයින්ඩ් මැප් කියලම කියමු. කොටින්ම කිවුවොත් මයින්ඩ් මැපින්ග් කියන්නේ රූප සටහන් විශේෂයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඔලුවට එන අයිඩියා එකක්, මොකක් හරි සංකල්පයක්, කරන්න ඕන වැඩක්, ඉගෙන ගන්න දෙයක් වගේ ඕනම දෙයක් රූප සටහන් විදියට විෂුවලයිස් කරගන්න ක්‍රමයක් තමයි මේ මයින්ඩ් මැපින්ග් කියන්නේ. කියන තරම් ලොකු අමාරු වැඩක් නෙවෙයි. හැබැයි මේ මයින්ඩ් මැපින්ග් ක්‍රමේට ඕනම දෙයක් වඩාත් පුළුල් චිත්‍රයක් විදියට දැකගන්න පුළුවන්. හරි, මයින්ඩ් මැපින් වලට උදාහරණයක් ගමු.

 

දැන් පැහැදිලියි නේද? ඕනම දේක ප්‍රධාන සංකල්පයේ ඉඳලා ඉස්සරහට යන දේවල් ගාණට මැප් කරගන්න පුළුවන්. මෙතනදී ව්‍යූහයක් නිශ්චිතව තියෙන්න ඕනෙද, හරි පිළිවෙලක් තියෙන්න ඕනද වගේ දේවල් ගැනවත් මුලින් හිතන්න අවශ්‍ය නෑ. හරි, මයින්ඩ් මැපින්ග් වල මූලිකාංග ඕන නම් පහළින් බලාගන්න පුළුවන්.

 

 

 

එහෙමනම් අපි කතා කරමු මයින්ඩ් මැපින් සාර්ථකව කරගන්න ටිප්ස් කීපයක් ගැන.

 

1. ටයිප්ස්

මයින්ඩ් මැප් එකක් ඕන නම් හිතට එන එන ඕනෑ හැටියකට ගහන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඔය ගොඩක් දුරට පාවිච්චි වෙන මයින්ඩ් මැප්ස් වර්ග ගැන දැනකියගෙන ඉන්න එක පාඩු නෑනේ.

 

Flow Map

ඒ කියන්නේ ක්‍රියාවලිය ඉදිරියට ගලාගෙන යන විදිය විෂුවලි පෙන්නන රූප සටහනක්. ක්‍රියාවලියක් පෙන්නන්න මේක මරු.

Multi-Flow Map

මේක ගොඩක් දුරට අර මෙන්න මේ මධ්‍ය අදහසේ ඉඳලා ඒකේ තියෙන අනු අදහස් මෙහෙම විහිදෙනවා කියලා පෙන්නන්න හොඳයි. ගොඩක් දුරට හේතුව සහ ඵලය මේකෙන් හොඳට පෙන්නන්න පුළුවන්. 

Brace Map

මේක ගොඩක් වෙලාවට ඔය අදහස් සංකල්ප මැප් කරනවට වඩා, කරුණු සාධක වගේ දේවල් මැප් කරන්න හොඳයි. ඒ කියන්නේ මෙන්න මේකේ උප කොටස් මේවා. මේ උප කොටස් තුනට අදාළ තවත් උප කොටස් මේවා වගේ දේවල් මේකෙන් පෙන්නන්න ලේසියි.

Tree Map

මේක නියම ක්ලැසික් රුක් සටහනක් වගේ නෙවෙයිද? මේකත් හොඳයි මූලික අදහසක් යටතේ තියෙන දේවල් නියමාකාරයෙන් සංවිධානය කරලා පෙන්නන්න.

Circle Maps

මේක ටිකක් වෙනස් විදියේ මයින්ඩ් මැප් එකක්. මැද න්‍යෂ්ටියේ තියෙනවා අදහසක්. ඒක වටේ එන වළලු වලින් සංකේතවත් වෙනවා ඒ ඒ වළල්ලට කලින් වළල්ලේ තියෙන අදහසට හරි කරුණට හරි සම්බන්ධ අදහසක් හරි කරුණක් හරි.

Bubble Maps

මේකත් අර ප්‍රධාන කතන්දරයක් මැද්දේ තියෙන, ඒක වටේ උප කොටස් තියෙන දෙයක් පෙන්නන්න පුළුවන් මැප් එකක්.

Double Bubble Maps

මේවා ටිකක් අර කුලක පාඩමේ ඉගෙන ගත්තු රූප සටහන් වගේත් තමයි. ඒ කියන්නේ අර උඩ කියපු බබ්ල් මැප් එකේ වගේම වුනත්, එකිනෙකට පොදු කරුණුත් මේකේ කුලක ආකාරයෙන්ම සඳහන් කරලා පෙන්නන්න පුළුවන්.

 

 

2.මධ්‍යයෙන් පටන් ගමු

හිස් කොළයක හරි හිස් අවකාශයක හරි මැද ඉඳන් තමයි වැඩේ පටන් ගන්න ඕන. ඒ කියන්නේ ප්‍රධාන කන්සෙප්ට් එකක් හරි සබ්ජෙක්ට් එක හරි මුලින්ම මැද්දෙන් ලියනවා. එතන ඉඳලා අපිට පුළුවන් අතු විහිදෙන විදියට වැඩේ කරගෙන යන්න. සමහර වෙලාවට සංකීර්ණ මයින්ඩ් මැප් එකක ඔය ප්‍රධාන සබ්ජෙක්ට් එකකට වඩා තියෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ ප්‍රධාන සබ්ජෙක්ට් එහෙන් මෙහෙන් ගිහින් සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒකට කමක් නෑ. පටන් ගැන්මක් තියෙන්න ඕනනේ. පටන් ගැන්ම තමයි මැද්දේ තියෙන ප්‍රධාන ලක්ෂ්‍යය.

 

3. අවශ්‍ය තොරතුරු හැම එකක්ම

මෙන්න මේක ඉතාම වැදගත්. මයින්ඩ් මැප් එකක් කියන්නේ සංක්ෂිප්ත සාරාංශයක් තමයි. හැබැයි ඒකේ හැම තොරතුරක්ම ඇඩ් වෙන්න ඕන. උදාහරණයක් ගමු. අපි ඔන්න අපේ ලබන අවුරුද්දේ තියෙන ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම සඳහා මයින්ඩ් මැප් එකක් හදනවා. එතකොට ඔන්න මැද්දේ තියෙන්නේ “ඉලක්ක-2021”. එතන ඉඳලා ඔන්න පළවෙනි ඉලක්කය: බර අඩු කර ගැනීම. අන්න එතකොට නිකම්ම ඕක ලියලා හරියන්නෙ නෑ. 110 -> 85 වගේ එකකින්වත් අදාළ පරාමිතිය දක්වන්න ඕන. එතනින් නතර වෙන්නත් බෑ. ඒ ගෝල් එක කොටස් වලට කඩාගන්න ඕන. මේ කාලේ වෙනකොට මෙච්චරක්, අන්න එහෙම. ඒවත් සඳහන් කරන්න ඕන.

 

4. මොනොක්‍රෝම්? ඊයා!

හරි හරි, එහෙම කිව්වට තනි පාට ඊයා වෙන්නෙ නෑ තමයි. මොකද උදාහරණයක් විදියට ගත්තොත්, දේශපාලන විද්‍යාව පාඩම් කරනකොට මයින්ඩ් මැප්ස් ගහනකොට පාට පාට පෑන් මාරු කර කර අඳින්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තනි පාට වුනත් මයින්ඩ් මැප් එකක් අවුලක් නෑ. හැබැයි පොඩ්ඩක් කලර් ලේබල් වලින් වැඩ කිඩ දාන්න පුළුවන් නම් මරු. අන්න එතකොට මයින්ඩ් මැප් එකක් තව ආකර්ෂණීය වෙනවා වගේම, ඒ හින්දම ඒක ඔළුවට හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන්. අන්න ඒ නිසා ඔය බ්‍රේන්ස්ටෝර්මින් සෙෂන් එකක මයින්ඩ් මැප් එකක් එහෙම අඳිනකොට පොඩ්ඩක් කලර්ස් පාවිච්චි කළාට කමකුත් නෑ!

 

5. ෆොටෝස්, වීඩියෝස්!

මේක නම් ඉතින් විකල්ප කාරණයක්. ඒ කියන්නේ මයින්ඩ් මැප් එකක් අතින් අඳිනවා නම්, ඒකට ෆොටෝස් අමුණන්න බැහැනේ. හැබැයි සමහර වෙලාවට කටු සටහන්, කටු රූප එහෙම අඳින එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි අලුත් මාකටින් ස්ට්‍රැටජි එකක් මයින්ඩ් මැප් එකක අඳිනවා. ඒකේ තියෙනවා ලෝයල්ටි කාඩ්ස් ගැන. අන්න එතකොට ඒ ලෝයල්ටි කාඩ් ගැන තියෙන තැන ලෝයල්ටි කාඩ් එකේ පොඩි කටු සටහනක් ගැහුවට කමක් නෑ. ඒ කියන්නේ ඒ ලෝයල්ටි කාඩ් එකේ දෙපැත්තේ ඇතුළත් වෙන්න ඕන අයිටම්ස් වගේ දේවල්.

 

හැබැයි දැන් මයින්ඩ් මැපින් වලට ඩිජිටල් ටූල්ස් තියෙනවා. අන්න එතකොට ඔය ෆොටෝස්, චිත්‍ර, වීඩියෝස් වගේ දේවලුත් ඒ මයින්ඩ් මැප් වල අන්තර්ගත කරන්න පුළුවන්. අපි කියන්නේ පුළුවන් තරම් අන්න ඒ වගේ එව්වා ඇතුළත් කරන්න කියලා. ඒකෙන් අර මයින්ඩ් මැප් එකේ පුළුල් චිත්‍රය තවත් පැහැදිලි වෙනවා.

 

6. තමන්ටද අනුන්ටද?

මෙන්න මේකත් මයින්ඩ් මැප් එකක් ගහනකොට හිතලා බලන්න ඕන කාරණාවක්. ඇත්තටම මයින්ඩ් මැප් එකක් ගහන්නේ කා වෙනුවෙන්ද? ගොඩක් දුරට තමන් වෙනුවෙන් නේ? හැබැයි අපි කියන්නේ, මයින්ඩ් මැප් එකක් ගහනකොට ඒක වෙන අයට කරන ප්‍රසන්ටේෂන් එකක් කියලා හිතාගෙන කරන්න කියලා. ඇයි? හේතුව සරලයි. අපි අපිටම මයින්ඩ් මැප් එකක් ගහනකොට අපි ඒ වෙලාවේ දන්න දේවල්, ඒ වෙලාවේ ඔලුවේ තියෙන දේවල් ඇතුළත් කරන්නෙ නෑ. හොඳම උදාහරණය තමයි අර 2021 ඉලක්කයන් ගැන ගහන මයින්ඩ් මැප් එක අපි අපි වෙනුවෙන් නම් ගහන්නේ, ඒකේ ඩෙඩ්ලයින් බ්‍රේක්ඩවුන් එකක් එහෙම සඳහන් කරන්න තියෙන ඉඩ අඩුයි. ඇයි අපි ඒක දන්නවනේ. හැබැයි තව මාස හයකින් ඔය මයින්ඩ් මැප් එක බලනකොටත් අපිට ඕක මතක තියෙයිද? නෑනේ. ආන්න ඒ නිසා හොඳම දේ තමයි මේ මයින්ඩ් මැප් එක අනික් අයට බලන්න නිර්මාණය කරන දෙයක් කියලා හිතාගෙන කරන එක.

 

7. ටූල්ස්!

ඇත්තටම මයින්ඩ් මැප් එකක් ගහන්න ඕන කරන්නේ හිස් කඩදාසියක් සහ එක පාටක හරි පාට පාට හරි පෑන් විතරයි. හැබැයි අපි උඩිනුත් කියපු විදියට දැන් ඩිජිටල් ක්‍රමේටත් මයින්ඩ් මැප්ස් නිර්මාණය කරගන්න පුළුවන්. ආන්න ඒකට ගැලපෙන වෙබ් අඩවි සේවාවන් සහ ඇප්ස් කීපයක් අපි අඳුන්වලා දෙන්න කැමතියි අවසානයට.

 

Bubbl.us 

XMind 8 

Mindomo

FreeMind 

Scapple

 

මෙව්වා ෆ්‍රීම ෆී!

 

Compendium

Freeplane

Wisemapping

Semantik

Coggle

Mindmeister