කස්ටඩ් වලින් වෙනස් වෙන ඩෙසර්ට්ස් හදමුද? ඔන්න අපෙන් රෙසිපි 7ක්ම

ඩෙසර්ට් කලාවේ විශේෂ තැනක් ගන්න කස්ටඩ් වලින් රසම රස ඩෙසර්ට් රෙසිපි ටිකක් අරගෙනයි ආවේ. කස්ටඩ් හදන්න නොදන්නා අයත් ඔන්න බලන්න ලස්සනට හදාගන්න හැටි. ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න එකම විදියට නැතුව වෙනස් ක්‍රම වලට කස්ටඩ් හදාගන්න ඉගෙනගන්න එන්න මේ පැත්තට.

 

1. වයිට් චොක්ලට් කස්ටඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වයිට් චොක්ලට් ග්‍රෑම් 200
  2. ෆ්‍රෙශ් ක්‍රීම් 550ml
  3. බිත්තර කහමද 8
  4. වැනිලා තේ හැඳි 2
  5. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප  2
  6. සීනි කෝප්ප 1/2
  7. කෝන්ෆ්ලා මේස හැඳි 4
  8. ස්ට්‍රෝබෙරි සිරප් කෝප්ප 1 1/2
  9. කුඩුකරගත් බටර් කේක් කෝප්ප 2
  10. කපාගත් ස්ට්‍රෝබෙරි ස්වල්පයක්

 

  • චොක්ලට් ටික බෝල් එහෙකට ග්‍රේට් කරගන්න. ඩෙසර්ට් කප්ස් අරගෙන ස්ට්‍රෝබෙරි සිරප් එක දාලා ෆ්‍රීස් කරගන්න. 
  • වෙනම භාජනයකට ෆ්‍රෙශ් ක්‍රීම්, ෆ්‍රෙශ් මිල්ක් හා වැනිලා දාලා අඩු ගින්දරේ රත් කරගන්න. උතුරනකල් තියාගන්න අවශ්‍ය නෑ. රත් වුණාම ඇති. 
  • වෙනම බෝල් එකකට බිත්තර කහමද  කෝන්ෆ්ලා හා සීනි දාලා විස්ක් කරගන්න. සීනි දිය වෙනකල් හොඳට විස්ක් කරලා උණු කරගත් කිරි එකට මේ ටික එකතු කරන්න. හැඳිගාමින් ටික ටික එකතු කරන්න. 
  • බිත්තර එකතු කරගත්තට පස්සෙ ආයේ ලිපේ තියලා පොඩ්ඩක් රත් කරගන්න. මේක හැමවෙලේම හැඳිගාමින් ඉන්න ඕනේ. නැත්තන් කැටිගැහෙන්න බලනවා මේ කස්ටඩ් එක. 
  • හොඳට රත් උනාම ලිපෙන් ඉවත් කරලා මේක වයිට් චොක්ලට් බෝල් එකට දාලා චොක්ලට් ටික දියකරගන්න. චොක්ලට් ටික හීනියට ග්‍රේට් කරලා ගත්තම කස්ටඩ් එකේ රස්නෙන් ඉක්මණින් චොක්ලට් දියවෙනවා. 
  • ස්ට්‍රෝබෙරි සිරප් එක දාලා ෆ්‍රීස් කරගත් ඩෙසර්ට් කප්ස් වලට කස්ටඩ් මිශ්‍රණය දාගන්න. උඩින් කුඩුකරගත් කේක් ලේයර් එකක් දාගන්න. ඊට උඩින් කපාගත් ස්ට්‍රෝබෙරි ටිකක් දාලා, කූල් කරලා පිළිගන්වන්න. 

 

2. ලෙමන්පෆ් කස්ටඩ් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලෙමන්පෆ් බිස්කට් 25ක් පමණ
  2. කිරි කෝප්ප 2
  3. කස්ඩට් පව්ඩර් මේස හැඳි 2
  4. සීනි මේස හැඳි 3
  5. වැනිලා තේ හැඳි 1
  6. දෙහි ස්වල්පයක්
  7. මුද්දරස්පලම් ස්වල්පයක්
  8. ග්‍රේට් ​කරගත් චොක්ලට් ටිකක්

 

  • කිරි කෝප්ප එකක් සාස්පානකට දාගන්න. හොඳට රත්කරගන්න. උතුරන්න දෙන්න එපා. රත්වෙනකොට මේකට සීනි ටික දාලා හැඳිගාන්න. 
  • අනික් කිරි කෝප්පෙට කස්ටඩ් පව්ඩර්  දාලා මිශ්‍ර කරගන්න. කැටි නැතිවෙන්න දියකරගන්න. දැන් මේ කස්ටඩ් මිශ්‍රණය ලිපේ තියෙන කිරි මිශ්‍රණයට දාලා හැඳිගාන්න. කැටිගැහෙන්න නොදී හොඳට හැඳිගාන්න. උකු වේගෙන එනකොට වැනිලා හා දෙහි ටික දාලා දිගටම හැඳිගාන්න. ලිපෙන් බාලත් හොඳට හැඳිගාන්න. 
  • බෝල් එකකට බටර් ටිකක් දාලා බිස්කට් ලේයර් එකක් දාලා කස්ටඩ් ලේයර් එකක් දාගන්න. මුද්දරස්පලම් ටිකක් ඉහගන්න. උඩින් චොක්ලට් ටිකක් ඉසගන්න. 
  • නැවත බිස්කට් හා කස්ටඩ් ලේයර්ස් කිහිපයක් දාලා අන්තිමට උඩින් චොක්ලට් හා මුද්දරස්පලම් දාලා සරසගන්න. මේක කූල් කරලා කෑමට ගන්න. 

 

 

3. කස්ටඩ් බ්‍රෙඩ් පුඩින්

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 2
  2. පාන්පෙති 10
  3. සීනි කෝප්ප 1/2
  4. වැනිලා තේ හැඳි 1
  5. බිත්තර 3
  6. කපාගත් කජු ටිකක්
  7. මුද්දරස්පලම් ස්වල්පයක්

 

කැරමල් එකට

 

  1. සීනි මේස හැඳි 3
  2. වතුර මේස හැඳි 1
  3. බටර් මේස හැඳි 1

 

  • කැරමල් එක හදාගන්න භාජනයකට බටර් ටිකක් ගාලා ලිපේ තියන්න. රත්වෙනකොට සීනි මේස හැඳි 3 දාලා ටිකක් තියල හැඳිගාන්න. වතුර ටිකත් දාලා හැඳිගානකොට මේක දුඹුරු පැහැයට හැරෙයි. ටිකකින් ලිප ඕෆ් කරගන්න. මේ කැරමල් එක පුඩින් එක හදන භාජනයට දාලා වටේට කරකවල තවරගන්න. 
  • පාන් පෙති පොඩියට කපාගන්න. කිරි වලට සීනි කෝප්ප ½ දාලා කලවම් කරන්න. සීනි හොඳට දියවුනාම කිරි ටික පාන් වලට දාලා පැත්තකින් තියන්න. 
  • වෙනම බෝල් එකකට බිත්තර ටික කඩලා වැනිලා දාලා විස්ක් කරගන්න. දැන් මේකත් පාන් මිශ්‍රණයට වක්කරගන්න. දැන් මේ සම්පුර්ණ මිශ්‍රණය පුඩින් හදන බෝල් එකට දාලා උඩින් කපාගත් කජු හා මුද්දරස්පලම් ඉහගන්න. 
  • අවන් එක ප්‍රී හීට් කරලා පුඩින් බෝල් එක බස්වන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන ඒකෙන් භාගෙකට වතුර පුරවන්න. දැන් ට්‍රේ එකට පුඩින් බෝල් එක දාලා සෙල්සියස් 180°ට විනාඩි  40-45ක් බේක් කරගන්න. 

 

4. ෆෘට් සැලඩ් විත් කස්ටඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

ෆෘට් සැලඩ් එක සඳහා

 

  1. කපාගත් කොළ ඇපල් ගෙඩි ½
  2. කපාගත් රතු ඇපල් ගෙඩි ½ 
  3. කපාගත් අඹ ගෙඩි 1
  4. කපාගත් ඇඹුල් කෙසෙල් ගෙඩි 2
  5. කපාගත් මිදි ස්වල්පයක්
  6. දොඩම් ගෙඩි1
  7. කජු ස්වල්පයක්
  8. තව ඔයාලා කැමති පළතුරු
  9. දෙහි යුෂ කෝප්ප 1
  10. රස අනුව ලුණු
  11. මික්ස් ෆෘට් කෝඩියල් කෝප්ප 1
  12. සීනි මේස හැඳි 2
  13. සාදාගත් ජෙලි කෝප්ප 1

 

කස්ටඩ් එක සඳහා

 

  1. කිරි 500 ml
  2. කස්ටඩ් මේස හැඳි 3
  3. සීනි මේස හැඳි 5
  4. වැනිලා ස්වල්පයක්

 

  • කෝඩියල් වලට සීනි, ලුණු හා දෙහි යුෂ දාලා කලවම් කරගන්න. දැන් මේ හදාගත් ඩ්‍රෙසින් එක ෆ්‍රිජ් එකට දාන්න. 
  • වෙනම බෝල් එකකට පළතුරු ටික දාලා කලවම් කරගන්න. මේකට කපාගත් ජෙලි ටිකත් දාගන්න. මේකත් ටික වෙලාවක් ෆ්‍රිජ් එකේ දාලා තියලා අරන් සැලඩ් ඩ්‍රෙසින් එක දාලා කලවම් කරන්න. නැවත ෆ්‍රිජ් දාගන්න. 
  • කස්ටඩ් එක හදාගන්න භාජනයකට කිරි ටික දාගන්න. ඒකෙන් කෝප්ප 1/4ක් වගේ වෙන් කරගෙන ඒකට කස්ටඩ් පව්ඩර් ටික දියකරගන්න. 
  • ඉතිරි කිරි ටික ලිපේ තියලා හැඳිගාන්න. සීනි ටික දාගන්න. අඩු ගින්දරේ හැඳිගාන්න. ටිකකින් කස්ටඩ් මිශ්‍ර කරගත් කිරි ටික දාලා කැටි නැතිවෙනකල් හැඳිගාන්න. ටිකෙන් ටික තික් මිශ්‍රණයක් එනකල් හැඳිගාන්න. බුබුළු දානකොට ලිපෙන් බාගන්න. ලිපෙන් බාලා මේක නිවෙනකල් හැඳිගාන්න. 
  • ඩෙසර්ට් කප්ස් අරගෙන හදාගත් සැලඩ් එකෙන් ටිකක් දාලා කස්ටඩ් මිශ්‍රණයෙන් ටිකක් දාගන්න. නැවත සැලඩ් ටිකක් දාගන්න. ඔයවගේ කප් එක පිරෙනකල් දාලා ෆ්‍රිජ් එකේ තියල කූල් උනාම පිළිගන්වන්න. 

 

5. ජෙලි කස්ටඩ් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාට 4කින් සාදාගත් ජෙලි
  2. කිරි කෝප්ප 2
  3. කස්ටඩ් මේස හැඳි 2
  4. වැනිලා ස්වල්පයක්
  5. සීනි කෝප්ප 1/2

 

  • ජෙලි සාදන විට පැකට් එකේ සඳහන් වතුර ප්‍රමාණයට වඩා අඩුවෙන් දමා ජෙලි ටික සාදාගන්න. හොඳට සෙට් උනාම කොටු කපාගන්න. 
  • කිරි කෝප්ප 1/4කට කස්ටඩ් ටික දියකරගන්න. ඉතිරි කිරි ලිපේ තියලා සීනි දාලා හැඳිගාන්න. ටිකකින් දියකරගත් කස්ටඩ් ටික දාලා හැඳිගාන්න. වැනිලා ටික දාගන්න. දැන් උකු වෙනකල් නොකඩවා හැඳිගාන්න. බුබුළු දානකොට
  • ලිපෙන් බාලා හැඳිගාන්න. නිවෙනකල් හැඳිගාන්න. 
  • පුඩින් බෝල් එකට බටර් ටිකක් ගාලා කපාගත් ජෙලි ටික කලවම් කරල අතුරගන්න. දැන් මේක විනාඩි 20ක් ෆ්‍රිජ් එකේ තියලා අරගෙන හොඳට නිවුණු කස්ටඩ් එක දාලා නැවත ෆ්‍රිජ් එකේ දාලා සෙට් වෙන්න තියන්න. 

 

6. එග්ලස් වැනිලා කස්ටඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරි කෝප්ප 2
  2. ෆ්‍රෙශ් ක්‍රීම් 100ml
  3. වැනිලා ස්වල්පයක්
  4. සීනි කෝප්ප 1/4
  5. කෝන්ෆ්ලා මේස හැඳි 2

 

  • කස්ටඩ් ටික කිරි කෝප්ප 1/4ක කලවම් කරගන්න. 
  • වෙනම භාජනයකට ඉතිරි කිරි, කෝන්ෆ්ලා, ෆ්‍රෙශ් ක්‍රීම් හා වැනිලා දාලා කලවම් කරගන්න. මේක ලිපේ තියලා මද ගින්නෙ හැඳිගාන්න. 
  • ටිකකින් ගින්දර අඩු කරලා සීනි ටික එකතු කරන්න. ඊළඟට කස්ටඩ් ටික දාලා දිගටම හැඳිගාන්න. තික් වේගෙන එනකොට අඩිය අල්ලන්න නොදී අඩු ගින්දරේ හොඳට හැඳි ගාන්න. කස්ටඩ් එක කැටිගැසෙමින් බුබුළු දානකොට ලිපෙන් බාගන්න. හොඳට හැඳිගාන්න.
  • බටර් ගාගත් බෝල් එකකට කස්ටඩ් එක දාලා නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ දාගන්න. කැමති නම් උඩින් කපාගත් කජු ටිකක් ඉසගන්න. 

 

7. ස්ටීම්ඩ් කස්ටඩ් ඩෙසර්ට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 5
  2. සීනි ග්‍රෑම් 250
  3. වැනිලා ස්වල්පයක්
  4. එළවළු තෙල් කෝප්ප 1/4
  5. කිරි කෝප්ප 1/2
  6. පාන් පිටි ග්‍රෑම් 250
  7. කස්ටඩ් පව්ඩර් මේස හැඳි 2
  8. බේකින් පව්ඩර් තේ හැඳි 2
  9. බේකින් සෝඩා තේ හැඳි 1/2
  10. ලුණු පින්ච් එකක්

 

  • බිත්තර, සීනි සහ වැනිලා එකට බීට් කරගන්න. 
  • පිටි වලට කස්ටඩ් පව්ඩර්, බේකින් පව්ඩර්, බේකින් සෝඩා සහ ලුණු දාලා 3 පාරක් හලාගන්න. 
  • කිරි හා තෙල් ටික වෙන භාජනයක කලවම් කරගන්න. බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික දාලා කලවම් කරගන්න.
  • ඊළඟට කිරි මිශ්‍රණයෙන් ටික ටික දාලා කලවම් කරගන්න. 
  • දැන් මේ කස්ටඩ් මිශ්‍රණය හොඳට විස්ක් කරගන්න. බේකින් ට්‍රේ එකට බටර් ගාලා මේ බැටර් එක දාගන්න. මේක විනාඩි 30ක් ස්ටීම් කරගන්න. කූරක් ගහල බලල මැද තෙතයි නම් තව ටිකක් වෙලා ස්ටීම් කරගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *