දෙමව්පියන්ට එපාවෙන පුංචි ළමයින්ගේ අතිශයින්ම සාමාන්‍ය පුරුදු

පුංචි දරුවෝ කියන්නෙ හරිම දඟ මලුනේ. එයාල ඉන්න තැනක කිසිම වෙලාවක පාළුවක්නම් නැහැ. මොකද වයින් කරපු බෝනික්කො වගේ එක දිගට සෙල්ලම් කරන එක, දඟ කරන එක තමයි එයාල වැඩිපුරම කරන්නෙ. හැබැයි ඉතින් මේක පිටින් බලන් ඉන්න කෙනෙකුට හරිම විනෝදයක් උනාට පුංචි දරුවන්ගේ මේ සමහරක් දඟකාර පුරුදු එයාලගෙ දෙමව්පියන්ටනම් බලන් ඉන්න අමාරුයි. ඒ පුරුදු එයාලව අපහසුතාවයට පත්කරනවා වගේම තරහ ගන්වන්නත් පුළුවන්. මොකද බලන් ඉන්න අයට අලුත් උනාට ඒ දඟ වැඩ දෙමව්පියන් නිතරම් දකින දේවල්නේ.

ඉතින් ඒ විදිහට පුංචි දරුවො ඉන්න දෙමව්පියන් නිරන්තරයෙන් මුහුණ දෙන, එයාලට එපාවෙන පුංචි දරුවන්ගේ දඟ වැඩ ගැනයි මේ කතා කරන්න යන්නෙ. මොකද නොදැනුවත්කමට අපි ඒ පුරුදු නරක පුරුදු විදිහට දැක්කට පුංචි ළමයි කරන ඒ වැඩ හුඟක් දේවල් ඒ ඒ වයසට හරිම සාමාන්‍යයි. ඉතින් ඒ දේවල් කරන්නෙ ඇයි කියන එකයි, ඒ වෙලාවට දෙමව්පියෝ විදිහට අපිට කරන්න පුළුවන් මොනවද කියන එක ගැනයි කියවලම බලමුකෝ.

 

1. එකම ප්‍රශ්නය දිගින් දිගට ඇසීම

පොඩි ළමයි ඉන්න දෙමව්පියන්ට නිතර මුහුණ දෙන්න වෙන දෙයක් තමයි මේක. එකම ප්‍රශ්නය කොච්චර ඇහුවත් බබාල සෑහීමකට පත්වෙන්නෙ නැති වෙලාවල් ඕන තරම්නේ. එකම උත්තරේ දීලා එපාවෙලා නිසා අම්ම සද්ද නැතුව හිටියොත් තත්ත්වය තවත් දරුණුයි. මේ ප්‍රශ්න ඇහිල්ල අපිට වදයක් උනාට දරුවෝ ඒකෙන් විනෝදයක් වගේම අධ්‍යාපනයකුත් ලබනවා. වචන එක එක තැන් වල උච්චාරණය වෙන හැටි, ඒ ඒ ප්‍රශ්න අහන වෙනස් විදි මතක තියාගන්නව වගේම තමන්ගෙම කටහඬ එක්ක කරන ක්‍රීඩාවක් තමයි පොඩි බබාලට ඒක. ඉතින් ටිකක් කේන්ති ගියත් බොහොම ඉවසීමෙන් මේ වෙලාවට උත්තර දෙන්න ඕන. මේ ක්‍රියාව බබාගෙ කථනය දියුණු කරන්න ගොඩක් වැදගත් වෙන බව මතක තියාගෙන උත්තර දෙන්න.

 

2. එක තැනක ඉන්න බැරිකම 

අලියන්ටයි ළමයින්ටයි නලියන්ටමයි හිත කියනවනෙ. පොඩි ළමයි එක විනාඩියක්වත් එක විදිහට එකම තැනක ඉන්න කැමති නැහැ. ඒක ඉතින් එයාලට කොහොම උනත් බලන් ඉන්න අපිටනම් හිසරදයක්. විශේෂයෙන්ම ඒ බබාලගෙ දෙමව්පියන්ට. මොකද ඒ හැම ක්‍රියාවක් ගැනම එයාල අවධානයෙන් ඉන්න එපැයි. මේ දඟ වැඩේ හැබැයි එයාලට හොඳ සෞඛ්‍යමත් ජීවිතයක් හදල දෙන්න මුල ඉඳන්ම කෙරෙන උදව්වක්. බබාලා මේ විදිහට දුවලා පැනලා ඉන්න ඒකෙන් එයාලා අධිබර තත්ත්වයන්ට පත්වෙන්න තියෙන අවදානම අඩු කරනවා වගේම පුංචි කාලෙම නිවැරදිව හැදෙන මේ බර තත්ත්වය ජීවිත කාලෙ පුරාවටම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වගන්නත් උදව් වෙනවා කියල තමයි කියන්නෙ.

 

3. හැම එකටම නෑ බෑ කීම

අහන අහන හැම එකටම නෑ සහ බෑ කියන එක පුංචි බට්ටොන්ගෙ තවත් නරක පුරුද්දක්. හැබැයි ඉතින් අපිට ඒක නරක පුරුද්දක් විදිහට පෙනුනට ඒ පිටිපස්සෙ තියෙන ඇත්තම කතන්දරේ මේකයි. සාමාන්‍යයෙන් බබෙක් මේ හැමදේටම නෑ, බෑ කියන්න පටන් ගන්නේ වයස අවුරුදු 2.5ත් 3ත් අතරේ වගේ කාලෙදි. අන්න ඒ කාලෙදි එයාල ටික ටික තේරුම් ගන්නවා එයා අම්මගෙ තාත්තගෙ කොටසක් නෙමෙයි, එයා පවුලේ වෙනම අනන්‍යතාවයක් තියෙන ජීවියෙක් බව. ඒ වගේම ඒ පවුල ඇතු​ළේ එයාටම තැනක් හදාගන්න, එයාට දේවල් ප්‍රතික්‍ෂේප කරන්න එහෙම පුළුවන් බව. ඉතින් අපිට නරක පුරුද්දක් වගේ පෙනුනට ඒක එයාලගෙ වර්ධනයේම එක අවධියක්. පරිස්සමට හසුරවන්න විතරයි ඕන.

 

4. රෑ මැද්දේ ඇහැරෙන එක

අලුත උපන් බබාලනම් කොහොමත් රෑ මැද්දේ කිරි බොන්න හුඟක් වෙලාවට ඇහැරෙනවනේ. හැබැයි බබා ටික ටික වයසින් වැඩිවෙද්දි එකපාරටම රෑ මැද්දේ ඇහැරෙන්න ගන්නවනම් ඒක කේන්ති ගන්න කාරණයක්වත්, බබාගෙ අසනීපයක්වත් නෙමෙයි. එයා අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නකොට වගේම අලුත් අලුත් සංවේදනයන්ට මුහුණ දෙනකොට මේ වගේ නින්දට යෑමේ ගැටළු ඇතිවෙන්න පුළුවන්. දවසේ හවස් වරුවේ ඇතිවුන අප්‍රසන්න සිදුවීමක්, ඒ කියන්නෙ දුකක් තරහක් වගේ දෙයක් හදිසියේම බබාව ඇහැරවන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම අලුත් දේවල් ඉගෙන ගන්නකොට ඒ දේවල් වලට ඇතිවෙන කුතුහලය නිසාත් බබා ඇහැරිලා ඉන්න වැඩි කැමැත්තක් දක්වන්න පුළුවන්. ඉවසීමෙන් බබාව සන්සුන් කරලා නින්දට යවන්නයි ඕන. 

 

5. කියන දේ නාහෙට නොඇසීම  

මේකත් පුංචි බබාලා හුඟක් දෙනෙක් කරන වැඩක්. එයාලා හැම වෙලාවේම කියන දේ අහන්නෙ නැතුව තනි මතේට වැඩකරල බලන්න ආස කාලයක් එනවා. මේකත් අපිට හිසරදයක් උනාට බබාගෙ වර්ධන අවධියක්. කලින් කිව්ව වගේම බබා එයා තනි පුද්ගලයෙක් බව තේරුම් ගැනීමත් එක්ක ඇතිවෙන ලක්ෂණයක් මේක. එයා තනි තීරණ ගන්න, එයාට අවශ්‍ය දේ කරන්න පෙළඹෙනවා. කියන දේ අහගෙන ඒ විදිහටම ඉන්නවනම් හොඳ උනාට අපි ලොකු මහත් කරන්නෙ රොබෝලා නෙමෙයි නිසා මේ පුරුද්දටත් ඉවසීම ඉස්සර කරගෙන මුහුණ දෙන්නම වෙනවා. 

 

6. ක්ෂණික කෝපය

පොඩි බබාලා හිටපු ගමන් හේතුවක් නැතුව කේන්ති අරගෙන අඬන එක තවත් එක කරදරකාර වැඩක්. අඬන්නේ මොකටද කියල හිතාගන්න බැහැ වගේම ඒ අඬන එක නවත්තන්නත් හරිම අමාරුයි. මේකට එක එක හේතු තියෙන්න පුළුවන්. බඩගින්න, දුක වගේම එයාල ආස දෙයක් අරන් දුන්නෙ නැති උනහම ඇතිවෙන තරහ වගේ. ඉතින් මේ වෙලාවට ක​ළබල වෙලා බබාව නලවන්න යන එකෙන්වත් තරහ අරන් බබාට බනින ගහන එකෙන්වත් කිසිම වැඩක් වෙන්නෙ නැහැ. හොඳම වැඩේ තමයි ඒ අවස්ථාව මඟහරින එක. එක්කෝ බබාගෙ අවධානය වෙන පැත්තකට යොමු කරන්න හෝ එහෙමත් නැත්තම් අඬන එක ටිකක් නොසලකා ඉන්න පුළුවන්.

 

7. කෑම ප්‍රතික්‍ෂේප කිරීම

හොඳට කකා හිටපු ළමයා එකපාරටම කෑම ප්‍රතික්‍ෂේප කරන එකත් එපාම කරපු වැඩක්. මේකටත් එක එක හේතු තියෙන්න පුළුවන්. දත් එනකොට වගේ සෞඛ්‍යමය හේතු වගේම සෙල්ලමට තියෙන කැමැත්ත නිසාත් කෑම ගැන අවධානය අඩුවෙන්න පුළුවන්. මේ වෙලාවට කෑම කන්න බල කරන එක නුවණක්කාර වැඩක් නෙමෙයි. ඒකෙන් බබාට කෑම ගැන තියෙන කැමැත්ත නැති වෙන්න පුළුවන්. ඒ නිසා හෙමින් හෙමින් කෑමට අවධානය යොමු කරවගන්න පුළුවන් විදිහේ දේවල්, වෙනස් කෑම, ලස්සනට කෑම ඉදිරිපත් කිරීම වගේ දේවල් තමයි කරන්න ඕන. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *